October 1, 2026

ආණ්ඩුව හොදම එකෙන් කෙලවා ගනී! Sinopec ඩොලර් බිලියන 3.7ක්නෑ! Adani ඩොලර් මිලියන 400 ව්‍යාපෘතියෙන් ඉවතට, ප්‍රතිපත්ති අස්ථාවරත්වය හා නිලධාරිවාදය ගැන ආයෝජකයන්ගෙන් චෝදනා!

0
2026 Investment Climate Statements Sri Lanka

2022 දරුණු ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ස්ථාවර වෙමින් පසුගිය වසරේ සියයට 5ක වර්ධනයක් වාර්තා කළද, රට තුළ ආයෝජනය කිරීම තවමත් අභියෝගාත්මක බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම ආයෝජන පරිසර වාර්තාව 2026 Investment Climate Statements: Sri Lanka පෙන්වා දී තිබේ. (සම්පූර්ණ වාර්තාව පහලින් කියවිමට හැක. ඩොබින්ට බෑ ඉංග්‍රීසි දන්න අය සදහා පමණී.)

ආර්ථිකය යථා තත්ත්වයට ආවත් ආයෝජකයන්ට තවමත් සැකයි!

“2026 Investment Climate: Sri Lanka” වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දේශපාලන ස්ථාවරත්වය ධනාත්මක කරුණු ලෙස සඳහන් කරන අතරම, විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට බාධාවන ගැටලු රැසක්ද හඳුනාගෙන ඇත.

විශේෂයෙන් අනපේක්ෂිත ප්‍රතිපත්ති වෙනස්කම්, නිලධාරිවාදී ප්‍රමාදයන්, නියාමන අවිනිශ්චිතතාව, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු සහ ව්‍යාපෘති සම්බන්ධ තීරණ ආපසු හැරවීම ආයෝජකයන් මතුකරන ප්‍රධාන ගැටලු අතර වන බව වාර්තාව සඳහන් කරයි.

දේශපාලන ස්ථාවරත්වයක් — ඒත් ආයෝජකයන් තවමත් ප්‍රවේශමෙන්

2024 අවසානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය (NPP) ලැබූ පුළුල් මැතිවරණ ජයග්‍රහණ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට දායක වූ බව අමෙරිකානු වාර්තාව පිළිගනී.එමෙන්ම 2023–2027 කාලය සඳහා වන අමෙරිකානු ඩොලර් බිලියන 3ක IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහන (EFF) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට NPP ආණ්ඩුව දක්වන කැපවීම ආයෝජක විශ්වාසයට සහායක් වී ඇති බවද සඳහන් වේ.

එහෙත් රටේ වෙළෙඳපොළ විවෘතභාවය සහ ආර්ථිකය තුළ රාජ්‍යයේ භූමිකාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබෙන “මිශ්‍ර පණිවුඩ” හේතුවෙන් ඇතැම් ආයෝජකයන් තවමත් ප්‍රවේශම් සහගත ස්ථාවරයක සිටින බව වාර්තාව පෙන්වා දෙයි.

FDI ඩොලර් බිලියන 1.06යි

2025 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් පමණක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1කට ආසන්න අගයකි.

වාර්තාව අනුව, නැගී එන ආර්ථිකයන්හි සාමාන්‍ය FDI ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ත් 4ත් අතර මට්ටමක පවතින බැවින් ශ්‍රී ලංකාවේ මට්ටම ඊට සැලකිය යුතු ලෙස පහළය.

නිෂ්පාදන, වරාය සංවර්ධනය, සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය හා BPO සහ දේපළ වෙළෙඳාම් 2025දී වැඩිම විදේශ ආයෝජන ආකර්ෂණය කරගත් ක්ෂේත්‍ර අතර වේ.

ආයෝජකයා එනකොට නිලධාරිවාදී බාධක!

රජය විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට කැමැත්ත ප්‍රකාශ කළද, ඒ සඳහා අවශ්‍ය ආයතනික හැකියාව තවමත් සීමිත බව වාර්තාවේ තක්සේරුවයි.

විශේෂයෙන් ආයෝජන මණ්ඩලය (BOI) සැබෑ “One-Stop Shop” සේවාවක් ලෙස ක්‍රියා කිරීමට අපහසු වී ඇති බවත්, විවිධ රාජ්‍ය ආයතන අතර බලතල බෙදී පැවතීම නිසා අනුමැති ලබාගැනීම දිගු ක්‍රියාවලියක් බවට පත්ව ඇති බවත් එහි සඳහන් වේ.ආයෝජකයන් BOI සමඟ ස්ථාවර හා විවෘත සංවාදයක් පවත්වාගෙන යාමේදීද අභියෝග වාර්තා කර ඇති බව සඳහන්ය.

අනවශ්‍ය නියාමන ක්‍රියාමාර්ග, නීතිමය අවිනිශ්චිතතාව සහ නිලධාරි පද්ධතියේ ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාව තවත් ප්‍රධාන බාධක ලෙස හඳුනාගෙන තිබේ.

Sinopec ඩොලර් බිලියන 3.7 තවමත් හිරවෙලා

වාර්තාවේ වැඩි අවධානයක් යොමුකර ඇති කරුණක් වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම FDI ව්‍යාපෘතිය වීමට නියමිත Sinopec සමාගමේ ඩොලර් බිලියන 3.7ක හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතියයි.2025 ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක එම ව්‍යාපෘතිය අවසන් එකඟතාවකට ගෙන ඒමට කැපවීම ප්‍රකාශ කර තිබුණද, 2026 ජූනි වනවිටත් රජය සහ Sinopec අතර පවතින එකඟ නොවීම් හේතුවෙන් එය ඉදිරියට ගොස් නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රමාදය පිළිබඳව මීට පෙරද වාර්තා වූ අතර, මුල් ටෙන්ඩර් කොන්දේසි වෙනස් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මතභේද පවතින බව වාර්තා වී තිබුණි.

Adani ඩොලර් මිලියන 400ත් අහිමි වෙයි

ඉන්දියාවේ Adani Green Energy සමාගම උතුරු ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිතව තිබූ මෙගාවොට් 484ක, ඩොලර් මිලියන 400ක සුළං විදුලි ව්‍යාපෘතියෙන් 2025 පෙබරවාරි මාසයේදී ඉවත් වීමද වාර්තාව විශේෂයෙන් සඳහන් කරයි.

අමෙරිකානු වාර්තාව එය සඳහන් කරන්නේ කලින් ලබාදී තිබූ කොන්ත්‍රාත්තුව නැවත සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් උත්සාහයන් පිළිබඳ පසුබිම තුළය.

ඊට අමතරව China Harbour Engineering Company සමඟ පාවෙන LNG පර්යන්තයක් සඳහා පැවති සාකච්ඡාද 2025 දෙසැම්බර් මාසයේදී, ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබූ දිනට ඉතා ආසන්නයේදී අවසන් වූ බව වාර්තාව සඳහන් කරයි.

“ව්‍යාපාර කිරීම තවමත් අමාරුයි”

සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම තවමත් අපහසු බව ආයෝජකයන් පවසන බව අමෙරිකානු වාර්තාව සඳහන් කරයි. ව්‍යාපෘති ආපසු හැරවීම, ප්‍රතිපත්ති හා නියාමන වෙනස්කම්, තීරණ ගැනීමේ ප්‍රමාදය, ඉහළ ගනුදෙනු පිරිවැය සහ විනිවිදභාවය පිළිබඳ ගැටලු ඔවුන් මතුකරන ප්‍රධාන කරුණු අතර වේ.

ලංකා විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය බලශක්ති ව්‍යවසායන්හි අකාර්යක්ෂමතාව කර්මාන්ත සඳහා තරගකාරී මිලකට බලශක්තිය ලබාගැනීමටද බාධාවක් වන බව වාර්තාවේ සඳහන්ය.

එසේ වුවද, ශ්‍රී ලංකාව බොහෝ ආර්ථික ක්ෂේත්‍රවල සියයට 100ක විදේශ හිමිකාරිත්වයට අවසර ලබාදෙන අතර ආයෝජන ආරක්ෂාව සහ ලාභ හා ප්‍රාග්ධනය නැවත විදේශගත කිරීම සඳහා නීතිමය පහසුකම් පවතින බවද වාර්තාව ධනාත්මක කරුණක් ලෙස සටහන් කරයි.

ඒ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවෙන් මතුවන ප්‍රධාන කරුණ වන්නේ, ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයේ ප්‍රගතියක් පෙනී ගියද එය විශාල පරිමාණ විදේශ ආයෝජන ගලා ඒමකට පරිවර්තනය කිරීම සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය, වේගවත් තීරණ ගැනීම, නියාමන ප්‍රතිසංස්කරණ සහ වඩා විනිවිද පෙනෙන ක්‍රියාපටිපාටි තවදුරටත් අවශ්‍ය බවයි.

Sri Lanka – United States Department of State

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed