තරුණ අනාගතයට සැලැස්මක් නැහැ! ජනතා ණය බරට සහනයක් නැහැ! Gen Z අමතක කළ අයවැයක්!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
ඉදිරිපත් කර ඇති අයවැයෙන් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදී නොමැති බවත්, විශේෂයෙන් Millennial සහ Gen Z පරම්පරාවල තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අයවැය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ලෝකය තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යමින් තිබුණද, ශ්‍රී ලංකාව එම ගමනට සාපේක්ෂව මන්දගාමී තත්ත්වයක පසුවන බව අබේවර්ධන මහතා පැවසීය. නව තාක්ෂණය ඔස්සේ තරුණ පරපුරට රැකියා සහ ආදායම් මාර්ග උත්පාදනය කරගැනීමට අවශ්‍ය ක්‍රමවේද අයවැයෙන් යෝජනා කර නොමැති බවට ඔහු චෝදනා කළේය.
2028 ණය ගෙවීම් සහ සංචිත ඉලක්ක ගැන ප්‍රශ්න
2028 වසර වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා ඉහළ නැංවිය යුතු බව අබේවර්ධන මහතා සඳහන් කළේය. එම කාලය වන විට ජාත්‍යන්තර ආයතන වෙත ඩොලර් බිලියන 3.5ත් 4ත් අතර ණය ගෙවීමට සිදුවන බවද ඔහු පැවසීය.
එහෙත් එම ණය ගෙවන්නේ කෙසේද යන්න හෝ අදාළ සංචිත ඉලක්කය සපුරාගන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් අයවැයෙන් ඉදිරිපත් කර නොමැති බව ඔහුගේ විවේචනය විය.
රට මුහුණදෙන ආර්ථික අභියෝග පිළිබඳ සත්‍ය මහජනතාවට පැවසීමත්, දේශපාලන පක්ෂ එක්ව විසඳුම් සෙවීමත් අවශ්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේ සිට අවධාරණය කළ බවද ඔහු සඳහන් කළේය.
2015දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල අඩුකරමින්, වැටුප් ඉහළ නංවමින් සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ආර්ථිකය මෙහෙයවූ බව අබේවර්ධන මහතා පැවසීය.
2022 ආර්ථික අර්බුදය හමුවේද වික්‍රමසිංහ මහතා ආර්ථික පරිවර්තන සැලසුම්, ණය ගෙවීමේ ක්‍රමවේද සහ ජාත්‍යන්තර සබඳතා ඔස්සේ රට ස්ථාවර කිරීම සඳහා කටයුතු කළ බව ඔහු ප්‍රකාශ කළේය. එහෙත් 2024 දේශපාලන වෙනසෙන් පසු එම ඉලක්ක ඉදිරියට ගෙනයන පැහැදිලි සැලැස්මක් දක්නට නොමැති බවට ඔහු චෝදනා කළේය.
IMF සම්බන්ධ කමිටුව ගැනත් විවේචන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දක්වමින් අබේවර්ධන මහතා පැවසුවේ, එවැනි වැඩසටහන් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ අනෙකුත් අදාළ ආයතන අතර සාකච්ඡා කර අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපියක් අත්සන් කිරීම ඔස්සේ ක්‍රියාත්මක වන බවයි.
ඒ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කර තිබීම ආණ්ඩුව තුළ මතභේද පවතින බවට ලකුණක් ලෙස ඔහු අර්ථකථනය කළේය.
වැටුප ණයට ගෙවන රාජ්‍ය සේවකයන්ට පිළිතුර කුමක්ද?
රාජ්‍ය සේවකයන් දැඩි ණය බරක් යටතේ ජීවත්වන බවත්, වැටුපෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් ණය වාරික වෙනුවෙන් වැයවන තත්ත්වයක් ඇති බවත් අබේවර්ධන මහතා පැවසීය.
විදුලිය, ජලය සහ දුරකථන බිල්පත් ඇතුළු දෛනික වියදම් පියවාගැනීම ඔවුන්ට බරපතළ ගැටලුවක් වී ඇති බව සඳහන් කළ ඔහු, එම පීඩනය අඩුකිරීමට අයවැයෙන් ලැබෙන සහනය කුමක්දැයි ප්‍රශ්න කළේය.
සාමාන්‍ය ජනතාවද රන් ආභරණ සහ වෙනත් දේපළ උගස් තබමින්, පෞද්ගලික ණය හා සීට්ටු ණය ලබාගනිමින් ජීවන වියදම් පියවාගන්නා බව ඔහු සඳහන් කළේය. ඇතැමුන්ගේ උගස් භාණ්ඩ සින්නවෙමින් තිබෙන බවත්, ඒවා නිදහස් කරගැනීමට අවශ්‍ය ආර්ථික පරිසරය අයවැයෙන් නිර්මාණය කර නොමැති බවත් ඔහු පැවසීය.
රාජ්‍ය හා පෞද්ගලික අංශවල උගස් තබා ඇති දේපළවල සමස්ත වටිනාකම රුපියල් ට්‍රිලියන තුනක් පමණ වන බවද අබේවර්ධන මහතා සිය ප්රකාශයේදී සඳහන් කළේය.
මෙවැනි පසුබිමක අයවැය යෝජනා ජනතාවගේ සැබෑ ජීවන අර්බුදයට පිළිතුරු ලබාදිය යුතු බව අවධාරණය කළ ඔහු, ඉදිරිපත් කර ඇති අයවැයෙන් එවැනි සහනයක් නොලැබෙන බවට චෝදනා කළේය.
අයවැය පිළිබඳ සවිස්තර විශ්ලේෂණයක් එක්සත් ජාතික පක්ෂය විසින් පසුදින ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
