November 17, 2026

අයවැයේ ඉලක්කම් ලස්සනයි; පවුල්වල ජීවිත අමාරුයි! රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතුයි!

0
Sinhala Parliament Budget Editorial Graphic

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

රාජ්‍යයේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා ජනතාවගේ ජීවන තත්ත්වය සහ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතු බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි.

2027 අයවැය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් එම සාමූහිකය පවසන්නේ, ආණ්ඩුව රාජ්‍ය ආදායම් සහ වියදම් අතර සමතුලිතතාව වැඩිදියුණු කිරීමට ප්‍රමුඛත්වය ලබාදී තිබුණද, සාමාන්‍ය ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සහ ජීවනෝපාය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවයි.

ඇතිකරගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වය 2027 වසරේදී ආර්ථික පරිවර්තනයක් දක්වා මෙහෙයවීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළ බව සාමූහිකය පෙන්වා දෙයි. එහෙත්, එම ප්‍රකාශයේ සඳහන් පරිදි 2026 ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 8.2ක් වන පසුබිමක, අපේක්ෂිත පරිවර්තනය ජනතාවගේ දෛනික ජීවිතයට සහනයක් ගෙන එන්නේ කෙසේදැයි පැහැදිලි කළ යුතු බව එය කියා සිටී.

සාමූහිකයේ විවේචනය වන්නේ, පසුගිය වසර දෙක තුළ අනුගමනය කළ රාජ්‍ය මූල්‍ය ගිණුම් යථා තත්ත්වයට පත් කිරීම කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්තිය මෙවර අයවැයෙන්ද ඉදිරියට ගෙන ගොස් ඇති බවය. එම ක්‍රියාවලියේදී ආර්ථික දත්ත හා සංඛ්‍යාලේඛනවලට ලැබෙන අවධානය පුරවැසියන්ගේ යහපැවැත්මට ලැබී නොමැති බව එය චෝදනා කරයි.

රාජ්‍ය සේවක වැටුප් හා දීමනා වැඩි කිරීම සමස්ත ජනතාවට ලැබෙන සහනයක් ලෙස ඉදිරිපත් කළ නොහැකි බවද සාමූහිකය පවසයි. රාජ්‍ය සේවයෙන් පිටත සිටින පෞද්ගලික අංශයේ සේවකයන්, ස්වයං රැකියාවල නිරතවන්නන් සහ අවිධිමත් ආදායම් ලබන පවුල් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට පැහැදිලි විසඳුම් අවශ්‍ය බව එය අවධාරණය කරයි.

බදු ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වමින් දිනන දකුණ සාමූහිකය කියා සිටින්නේ, ඉහළ ආදායම් ලබන පුද්ගලයන් සහ ආයතන වෙතින් සාධාරණ දායකත්වයක් ලබාගැනීමට වඩා පාරිභෝගිකයන් මත පැටවෙන වක්‍ර බදු කෙරෙහි රජය වැඩි වශයෙන් රඳා පවතින බවයි. එවැනි බදු ව්‍යුහයක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වල පීඩනය වැඩි කරන අතර ආදායම් විෂමතාව අඩු කිරීමටද ප්‍රමාණවත් දායකත්වයක් නොදක්වන බව එහි අදහසයි.

අයවැයෙන් යෝජිත රුපියල් ට්‍රිලියන දෙකක ප්‍රාග්ධන ආයෝජනය පිළිබඳවද සාමූහිකය ප්‍රශ්න මතු කරයි. එම ප්‍රතිපාදනවලින් බහුතරයක් මහාමාර්ග ඉදිකිරීම් සඳහා වෙන්කර ඇති බවට එය ප්‍රකාශ කරන අතර, එවැනි වියදම්වල ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවගේ ආදායම් සහ ජීවනෝපාය වෙත ළඟාවන ආකාරය පැහැදිලි කළ යුතු බව පවසයි.

ඉන්ධන, විදුලිය සහ ජලය වැනි අත්‍යවශ්‍ය සේවාවල මිල ගණන් සම්බන්ධයෙන්ද සාමූහිකය විවේචන ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නංවා පාඩු සහ අනවශ්‍ය වියදම් අවම කිරීම වෙනුවට ඒවායේ බර පාරිභෝගිකයා මත පැටවීම පිළිගත නොහැකි බව එය කියා සිටී.

එම ප්‍රතිපත්තිය ගෘහස්ථ වියදම් ඉහළ නංවනවාට අමතරව ව්‍යාපාරවල නිෂ්පාදන පිරිවැයද වැඩි කරන බව සාමූහිකයේ අදහසයි. ජනතාවගේ සහ ව්‍යාපාරවල මිලදී ගැනීමේ හැකියාව දුර්වල වීමෙන් දේශීය වෙළෙඳපොළේ ඉල්ලුම පහළ ගොස් නිෂ්පාදනය සහ රැකියා අවස්ථා සීමා විය හැකි බව එය අනතුරු අඟවයි.

රජයේ ආර්ථික ප්‍රවේශය “ඉල්ලුම විනාශ කිරීමේ” මාර්ගයක් ලෙස හඳුන්වන සාමූහිකය, ඊට විකල්පයක් ලෙස සැපයුම් පාර්ශ්වය ශක්තිමත් කළ යුතු බව යෝජනා කරයි. දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම, සැපයුම් දාම කාර්යක්ෂම කිරීම, නිෂ්පාදන වියදම් අඩු කිරීම සහ අපනයන ධාරිතාව පුළුල් කිරීම එහි ප්‍රධාන යෝජනා වේ.

වැට් බදු අනුපාතය යම් ප්‍රමාණයකින් අඩු කිරීම හෝ තෝරාගත් භාණ්ඩ කිහිපයක් බද්දෙන් නිදහස් කිරීම පමණක් ජනතාව මුහුණ දෙන සමස්ත ආර්ථික පීඩනයට ප්‍රමාණවත් විසඳුමක් නොවන බවද එය පවසයි.

“රාජ්‍යයේ මූල්‍ය ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. නමුත් එය ගොඩනැගිය යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ කිරීමෙන් නොව, ධනය උත්පාදනය කරන, රැකියා බිහි කරන, ආයෝජන දිරිගන්වන සහ පුරවැසියාගේ ක්‍රය ශක්තිය ආරක්ෂා කරන ආර්ථිකයක් ගොඩනැගීම තුළිනි,” යනුවෙන් දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *