November 18, 2026

“NPP සීල් එක ගහලා රාජපක්ෂලාගේ මර්දන පනත් ගේන්න හදන්න එපා” PSTA, PTA සහ OCA මර්දන පනත් වහා ඉරා දමනු!

0
PARLIMET_PRO

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

PSTA, PTA සහ OCA මර්දන පනත්වලට එරෙහිව පාර්ලිමේන්තුව අසල දැවැන්ත විරෝධතාවක් – ජන අරගල ව්‍යාපාරයෙන් ආණ්ඩුවට දැඩි අවවාදයක්!

කොළඹ – 2026 නොවැම්බර් 04

“රාජ්‍ය ත්‍රස්තවාදී PSTA – PTA පනත් ඉරා දමනු! ජනතාව අපරාධකරුවන් කරන OCA ඉරා දමනු!” යන තදබල සටන් පාඨ මුල් කරගනිමින්, ජන අරගල ව්‍යාපාරය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන ක්‍රියාකාරීන් විසින් සංවිධානය කරන ලද දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද (04) පස්වරු 12.00ට පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ දී ආරම්භ විය.

රට තුළ ක්‍රියාත්මක කිරීමට සැරසෙන ජනතාද්‍රෝහී මර්දනකාරී පනත්වලට සහ ආණ්ඩුවේ ජනපීඩාකාරී ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙහිදී ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා මාධ්‍ය වෙත දැඩි අදහස් දැක්වීමක් සිදු කළේය.

ආණ්ඩුව සහ විපක්ෂය ජනතාව අමතක කර ඇත – වසන්ත මුදලිගේ

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මහතා මෙසේ සඳහන් කළේය:

“අපි අද පාර්ලිමේන්තුව ළඟට ආවේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අරගෙන. අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ආණ්ඩුවයි විපක්ෂයි දෙකටම අද රටේ ජනතාවගේ ප්‍රශ්න අදාළ නැහැ. ඒගොල්ලෝ පාර්ලිමේන්තුව ඇතුළේ සුපුරුදු විදිහටම තමන්ගේ ගොඩ වැඩි කරගන්න කුලල් කා ගන්නවා. හැබැයි අද වෙද්දි ජනතාවගේ කර මුලටම බදු ගහලා ජනතාව කබලෙන් ළිපට ඇදලා දාලා ඉවරයි. ඒ අස්සේ ආණ්ඩුව PSTA – OCA වගේ ජනතාද්‍රෝහී මර්දන පනත් සම්මත කරගන්න ලෑස්ති වෙනවා.”

පොලිස් බලතල තවත් තීව්‍ර කරමින් සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කිරීමට මෙම නීති මගින් උත්සාහ දරන බව හෙළි කළ ඔහු, අනුර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය බලයට පත්වූයේ මෙවැනි දේ කිරීමට දැයි දැඩි ලෙස ප්‍රශ්න කළේය. රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ පාලන සමයන්හිදී ජනතා විරෝධය හමුවේ හකුළා ගැනීමට සිදුවූ මර්දන අණපනත් වත්මන් ආණ්ඩුව විසින් “NPP සීල් එක ගසා” එක දිගට සම්මත කරමින් සිටින බවත්, ආණ්ඩුව සහ විපක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් එකම තැන්හි සිටිමින් ජනතාවට එරෙහි සංවිධානාත්මක අපරාධයක නිරත වන බවත් ඔහු අවධාරණය කළේය.

ප්‍රතිපත්ති කණපිට හරවන දැවැන්ත මහජන බලයක් ගොඩනගනවා

ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය යොදාගනිමින් මර්දන පනත් හරහා රටේ “ඩෙඟා නැටීමට” උත්සාහ කළහොත්, පෙර පැවති පාලනවලට අත්වූ ඉරණමම අත්වනු ඇති බවට මුදලිගේ මහතා රජයට අනතුරු ඇඟවීය.

“ආණ්ඩුව හිතනවනං තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මර්දන අණපනත් සම්මත කරගෙන මේ රටේ ඩෙඟා නටන්න පුලුවන් කියලා ඒක හීනයක් විතරයි. ඔහොම හිතාගෙන ආව රාජපක්ෂලා ඇතුළු කල්ලිවලට අන්තිමට වුණේ හකුළගෙන යන්න. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා PTA – PSTA – OCA ඇතුළු ජනතාද්‍රෝහී පනත් වහාම හකුළාගත යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනතාව පීඩාවට පත් කරමින් ධනකුවේරයන් සනසන මෙම කොල්ලකාරී ආර්ථිකයට සහ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ඉදිරියේදී දැවැන්ත මහජන බලයක් ගොඩනගා ආණ්ඩුවේ ප්‍රතිපත්ති කණපිට හරවන බවටද ඔහු මෙහිදී දැඩි පණිවිඩයක් ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *