September 30, 2026

අධිකරණයේ සැරිසරන ‘HE’ අවතාරය! “HE කිව්වා මට …” “HE තමයි මේක බලන්න කිව්වේ..”

0
Faiszer Musthapha

“HE කිව්වා මට…” — ජනපතිගේ නම භාවිත කරමින් අධිකරණ කටයුතුවලට බලපෑම් කරන බවට ෆයිසර් මුස්තාපාට චෝදනා

ජනාධිපතිවරයාගේ නම සහ තමන්ට පැවරී ඇති බව කියන විශේෂ රාජ්‍ය තාන්ත්‍රික භූමිකාව ඉදිරියට දමමින් අධිකරණ ක්‍රියාවලීන් හා නීතිමය කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදුකරන බවට ජනාධිපති නීතිඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ ඇතැම් පාර්ශ්ව අතර බරපතළ කතාබහක් මතුව ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම චෝදනාවල විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා හැඳින්වීමට භාවිත කරන “HE” (His Excellency) යන යෙදුම ද අදාළ සංවාදවලදී භාවිත වූ බවට එම ආරංචි මාර්ග ප්‍රකාශ කිරීමය.

අනෝජන් බේරාගැනීමේ මෙහෙයුමෙන් පසු මතුවූ කතාබහ

මෙම සිදුවීම් පිළිබඳ කතාබහ මතුවන්නේ සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා ආරම්භ වූ විශේෂ නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමෙන් අනතුරුවය.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අනෝජන්ගේ නඩුවට නීති සහාය ලබාදීමට එකඟ වී ඇති බවය. ඔවුන් දෙදෙනා තම පෞද්ගලික වියදමින් සෞදි අරාබියට ගොස් එරට නීතිඥයන් සහ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද එකඟ වී තිබූ බව වාර්තා විය.

මෙම මෙහෙයුමේ තවත් අදියරක් ලෙස මුස්තාපා සහ කුමරප්පෙරුම මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් හමුවී අනෝජන් වෙනුවෙන් මානුෂීය මැදිහත්වීමක් ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවද වාර්තා විය.

“ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා කිව්වා…”?

මේ අතර, මුස්තාපා විදේශගතව සිටි කාලසීමාවේදී ඔහුගේ කනිෂ්ඨ නීතිඥයන් කිහිපදෙනෙකු අධිකරණය ආශ්‍රිත කටයුතුවලදී ඔහු “ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා” බව අවධාරණය කරමින් විවිධ ඉල්ලීම් හෝ මැදිහත්වීම් සිදුකළ බවට අධිකරණ ආරංචි මාර්ග චෝදනා කරයි.

එම චෝදනාවලට අනුව ඇතැම් අවස්ථාවලදී “ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ෆයිසර් මුස්තාපා පැවසුවා” යන අදහස ඇතිවන ආකාරයේ ප්‍රකාශද ඉදිරිපත් කර ඇති බව කියැවේ.

“HE තමයි මේක බලන්න කිව්වේ”

විදේශ සංචාරයෙන් පසුව මුස්තාපා අධිකරණ හා නීති උපදේශන කටයුතු කිහිපයකට සහභාගී වූ අවස්ථාවලදීද ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් අදහස් දැක්වූ බවට එම ආරංචි මාර්ග තවදුරටත් චෝදනා කරයි.

“HE කිව්වා මට…” සහ “HE තමයි මේක බලන්න කිව්වේ…” වැනි ප්‍රකාශ ඔහු විසින් සිදුකළ බවට නීති ක්ෂේත්‍රයේ ඇතැම් පාර්ශ්ව අතර කතාබහක් පවතින බව එම ආරංචි මාර්ග කියයි.ජනාධිපති ධුරයේ බලය හෝ සමීපත්වය පෙන්වමින් අධිකරණ ක්‍රියාවලියකට බලපෑම් කිරීමට ඒ අනුව ෆයිසර් උත්සහ ගන්නා බවයි අනාවරණය වි ඇත්තේ.

විනිසුරුවරුන් සහ නීතිඥයන් අතර අපහසුතාවක්?

මෙවැනි තත්ත්වයක් හේතුවෙන් ඇතැම් විනිසුරුවරුන්, නීතිඥයන් සහ අධිකරණය ආශ්‍රිත නීති වෘත්තිකයන් අතර අපහසුතාවක් මතුව ඇතැයිද අප වෙත අදහස් දැක්වූ ආරංචි මාර්ග පවසයි.

අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මෙහිදී මතුවන මූලික කරුණ වන්නේ නඩුවකට සම්බන්ධ නීතිඥයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු තමන්ට විධායකයේ ඉහළම තැනින් උපදෙස් ලැබෙන බවට හැඟීමක් ඇතිකරන්නේ නම් එය අදාළ නඩුවේ අනෙක් පාර්ශ්වයන්ට සහ අධිකරණ නිලධාරීන්ට කෙසේ බලපාන්නේද යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *