ආර්ථිකයේ රතු එළි දැල්වෙයි! වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.2ට පනී! රුපියල 6.3%කින් පහළට!
External Sector Performance – August 2026 යනුවෙන් ශ්‍රි ලංකා මහා බැංකුව අද එනම් සැප්තැම්බර් 30 වැනිදින නිකුත් කර ඇති වාර්තාවට අනුව වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.2ට ඉක්මවා ගොස් රුපියල 6.3%කින් පහළ බැස ඇති බව අනාවරණය වේ.
ඉන්ධන බිල 61.6%කින් ඉහළට — සංචාරක ආදායම 10%කින් පහළට — සේවා ගිණුමේ අතිරික්තයත් හැකිළෙයි
2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම මාස හතරක අඛණ්ඩ හිඟයකින් පසු ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළද, වසරේ මුල් මාස අටේ සමස්ත දත්ත දෙස බැලීමේදී රටේ විදේශ අංශය තවමත් සැලකිය යුතු පීඩනයකට මුහුණ දෙමින් සිටින බව පෙනී යයි.ඒ අතරින් වඩාත් කැපී පෙනෙන කරුණ වන්නේ වෙළෙඳ හිඟය දැවැන්ත ලෙස පුළුල් වීමයි.
2025 ජනවාරි–අගෝස්තු කාලයේ ඩොලර් බිලියන 4.3ක් වූ සමුච්චිත වෙළෙඳ හිඟය, 2026 එම කාලය වනවිට ඩොලර් බිලියන 7.2ක් දක්වා ඉහළ ගොස් තිබේ.එනම් වසරක් තුළ වෙළෙඳ හිඟයට තවත් ඩොලර් බිලියන 2.9ක් පමණ එකතු වී තිබේ.
ඉන්ධන ආනයන බිල 61.6%කින් ඉහළට
විදේශ විනිමය පිටතට ගලා යාමේ තවත් ප්‍රධාන මාර්ගයක් බවට ඉන්ධන ආනයනය පත්ව තිබේ.2026 ජනවාරි සිට අගෝස්තු දක්වා ඉන්ධන ආනයනය සඳහා පමණක් ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් වැය කර ඇත.එය 2025 එම කාලයට සාපේක්ෂව සියයට 61.6ක දැවැන්ත වැඩිවීමකි.
අගෝස්තු මාසයේ මාසික ඉන්ධන ආනයන වියදම අඛණ්ඩව සිව්වන මාසයටත් පහළ ගොස් තිබීම යම් සහනයක් වුවද, වසරේ මුල් මාස අටේ සමස්ත ඉන්ධන බිල විදේශ අංශයට එල්ල වී ඇති පීඩනය පැහැදිලි කරයි.
වාහනවලට මාස අටෙන් ඩොලර් බිලියන 1.68ක්
මේ අතර මෝටර් රථ ආනයනය සඳහාද විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වී තිබේ.පෞද්ගලික සහ වාණිජ වාහන ආනයනය සඳහා අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 189ක් වැය වී ඇති අතර, ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටේ සමස්ත වියදම ඩොලර් බිලියන 1.684ක් දක්වා ඉහළ ගොස් ඇත.
අගෝස්තු මාසයේ වාහන ආනයන වියදම වසරකට පෙරට සාපේක්ෂව 24.2%කින් අඩු වී තිබුණද, වසරේ සමස්ත වාහන ආනයන බිල තවමත් විදේශ විනිමය ඉල්ලුමට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.
සංචාරක පැමිණීම් පහළට — ආදායමත් 10%කින් අඩුවෙයි
රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක ක්ෂේත්‍රයේ දත්තද මිශ්‍ර චිත්‍රයක් පෙන්වයි.2026 අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම් වාර්ෂික පදනමින් 3.3%කින් පහළ ගොස් තිබේ. ජනවාරි–අගෝස්තු සමස්ත කාලයේදීද සංචාරක පැමිණීම් 2%කින් අඩු වී ඇත.
අගෝස්තු මාසයේ සංචාරක ආදායම 2.1%කින් ඉහළ ගියද, ජනවාරි–අගෝස්තු සමුච්චිත සංචාරක ආදායම 10%කින් පහළ ගොස් ඩොලර් බිලියන 2.1ක් වී තිබීම විශේෂ අවධානයට ලක්වන කරුණකි.
සේවා ගිණුමේ අතිරික්තයත් 21.4%කින් හැකිළෙයි
සේවා අංශයෙන් ලැබෙන විදේශ විනිමය ශක්තියද පෙර වසරට සාපේක්ෂව දුර්වල වී තිබේ.අගෝස්තු මාසයේ සේවා ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 220ක් වූ අතර එය වසරකට පෙරට සාපේක්ෂව 24.4%ක අඩුවීමකි.ජනවාරි–අගෝස්තු කාලයේ සමුච්චිත සේවා ගිණුම් අතිරික්තයද 21.4%කින් පහළ ගොස් ඩොලර් බිලියන 2.1ක් වී තිබේ.
ජංගම ගිණුම තවමත් හිඟයේ
අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 133ක ජංගම ගිණුම් අතිරික්තයක් ලැබුණද, එය වසරේ සමස්ත චිත්‍රය වෙනස් කිරීමට ප්‍රමාණවත් වී නැත.2026 ජනවාරි සිට අගෝස්තු දක්වා ජංගම ගිණුම තවමත් ඩොලර් මිලියන 291ක සමුච්චිත හිඟයක පවතී.
මැදපෙරදිග ගැටුම උග්‍ර වීමත් සමඟ ඇති වූ බාහිර පීඩන මෙම තත්ත්වයට බලපා ඇති බව අදාළ දත්ත පෙන්වා දෙයි.
ආනයන මිලත් අපනයන මිලට වඩා වේගයෙන් ඉහළට
රටේ වෙළෙඳ කොන්දේසිද අහිතකර දිශාවකට ගමන් කර තිබේ.අපනයන මිල ගණන්වලට වඩා වේගයෙන් ආනයන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් 2026 අගෝස්තු මාසයේ වෙළෙඳ කොන්දේසි වාර්ෂික පදනමින් පිරිහී ඇත.
ජනවාරි–අගෝස්තු කාලය සැලකීමේදීද 2025 එම කාලයට සාපේක්ෂව වෙළෙඳ කොන්දේසි පිරිහී තිබේ.මෙයින් සරලව පෙනෙන්නේ රට ආනයනය කරන දේ සඳහා සාපේක්ෂව වැඩි මිලක් ගෙවීමට සිදුවන අතර අපනයනවලින් ලැබෙන මිල එම වේගයෙන් වැඩි වී නොමැති බවයි.
රුපියලත් 6.3%කින් අවප්‍රමාණය වෙයි
විදේශ අංශයේ මෙම පීඩනය මධ්‍යයේ 2026 සැප්තැම්බර් අවසානය වනවිට ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වසර ආරම්භයේ සිට 6.3%කින් අවප්‍රමාණය වී තිබේ.
අනෙක් අතට, අගෝස්තු අවසානයේ දළ නිල විදේශ සංචිත ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබීම ධනාත්මක ලකුණකි. එහෙත් එම සංචිත අගයට චීන මහජන බැංකුව සමඟ ඇති swap පහසුකමද ඇතුළත් වන අතර, මහ බැංකුවේ විදේශ විනිමය මිලදී ගැනීම්ද සංචිත ඉහළ යාමට සහාය වී තිබේ.
එසේම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආර්ථිකයට ප්‍රබල සහනයක් ලබාදී ඇත. ජනවාරි–අගෝස්තු කාලයේ ප්‍රේෂණ 19.8%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 6.1ක් වී තිබේ.
එබැවින් අගෝස්තු මාසයේ ජංගම ගිණුම් අතිරික්තය සහ සංචිත ඉහළ යාම වැනි ධනාත්මක ලකුණු තිබුණද, වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.2 දක්වා පුළුල් වීම, ඉන්ධන ආනයන බිල 61.6%කින් ඉහළ යාම, සංචාරක ආදායම 10%කින් පහළ යාම, සේවා ගිණුම් අතිරික්තය හැකිළීම සහ රුපියල 6.3%කින් අවප්‍රමාණය වීම යන දත්ත රටේ විදේශ අංශයට තවමත් සැලකිය යුතු අවදානම් සහ පීඩන පවතින බව පෙන්වා දෙයි.
External Sector Performance – August 2026 | Central Bank of Sri Lanka
