September 19, 2026

2/3 බලයෙන් මාධ්‍ය මර්දන වගන්ති සම්මත කිරීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වනු ඇත!

0
Supreme Court determination on Media Professionals Bill

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් අදාළ ගැටලුකාරී වගන්ති වහාම ඉවත් කරන ලෙසත්, තුනෙන් දෙකේ බලය යොදාගනිමින් මාධ්‍ය නිදහසේ ගෙල සිරකිරීමේ අත්තනෝමතික උත්සාහයෙන් වහාම ඉවත් වන ලෙසත් අපි රජයට සහ සමස්ත පාර්ලිමේන්තුවට තරයේ බලකර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් දිනන දකුණ සාමූහිකය අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සාමුහිකය පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෑල්ලු කරමින්, 2/3 බලයෙන් මාධ්‍ය මර්දන වගන්ති සම්මත කිරීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වනු ඇති බවයි.

මාධ්‍ය නිවේදනය.
2026-09-08

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෑල්ලු කරමින්, 2/3 බලයෙන් මාධ්‍ය මර්දන වගන්ති සම්මත කිරීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වනු ඇත.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව (S.C.S.D. 27/2026) ප්‍රකාෂයට පත් කොට තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය යටතේ ජනමත විචාරණයකට මෙම පනත් කෙටුම්පත යොමු කිරීම අවශ්‍ය නොවන බව අධිකරණය තීන්දු කළේය.
කෙසේ වෙතත්, එහි අඩංගු නිශ්චිත වගන්ති තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය (සමානාත්මතාවයේ අයිතිය) සහ 14(1)(උ) වගන්තිය (වෘත්තියක නියැලීමේ නිදහස) සමඟ අනනුකූල (ගැටෙන සුළු) බව ප්‍රකාශ විය.

එම නිසා, දක්වා ඇති කාරක සභා අවස්ථා සංශෝධන හෝ ඉවත් කිරීම් නොමැතිව එම වගන්ති සම්මත කරන්නේ නම්, 84(2) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

පනත් කෙටුම්පතේ සෙසු සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව තීරණය විය.

දිනන දකුණ සාමූහිකය ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොසලකා හරිමින්, පනත් කෙටුම්පත තුල අන්තර්ගත ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර බලය යොදාගනිමින් සම්මත කරගැනීමේ අවධානමක් පවතින බවයි.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන වගන්ති එලෙසම සම්මත කරගැනීමට ආණ්ඩුව හෝ කිසියම් පාර්ශ්වයක් ක්‍රියා කරන්නේ නම්, එය මෙරට භාෂණයේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට එරෙහිව එල්ල කෙරෙන මාරාන්තික ප්‍රහාරයක් බව දිනන දකුණ සාමූහිකයේ දැඩි විශ්වාසය වන අතර එවැනි උත්සාහයක් අප පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ප්‍රකාශ කර සිටියි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එකඟත්වයෙන් යුතුව තීන්දු කරන ලද්දේ මෙම පනත් කෙටුම්පතේ 3(i), 4(o) සහ 5(4)(b) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති ‘නීතිය ඉදිරියේ සමානාත්මතාවය’ සහ 14(1)(උ) වගන්තියෙන් තහවුරු කර ඇති ‘කැමති වෘත්තියක නියැලීමේ මූලික නිදහස’ සෘජුවම උල්ලංඝනය කරන බවයි.

අධිකරණය පැහැදිලිවම පෙන්වා දී ඇත්තේ:

  1. මාධ්‍යවේදීන්ගේ කාර්යක්ෂමතාව තක්සේරු කරමින් ඔවුන් ‘ප්‍රතීතනය’ (accredit) කිරීමේ නීතිමය නිර්වචනයක් නොමැති අපැහැදිලි බලය (3(i) වගන්තිය) හරහා ස්වාධීන මාධ්‍යවේදීන්ට බාධා පැමිණවිය හැකි බවත්, එය වහාම ඉවත් කළ යුතු බවත්ය.
  2. සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම “නිරීක්ෂණය සහ පාලනය” (4(o) වගන්තිය) කිරීමට ආයතනයට බලය පැවරීම අනර්ථකාරී හා අනවශ්‍ය වාරණයක් බවත්, එම බලතල ආයතනයේ ලියාපදිංචි සාමාජිකයන්ට හා සිසුන්ට පමණක් සීමා විය යුතු බවත්ය.
  3. පාර්ලිමේන්තු පාලනයකින් තොරව නීති සෑදීමට අතුරු පාලක සභාවට ලබා දී තිබූ අසීමිත හා අත්තනෝමතික බලය (5(4)(b) වගන්තිය) ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්ය.
    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල කිරීම සඳහා පැහැදිලි සංශෝධන සහ ඉවත් කිරීම් නියම කර තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව අනිසි ලෙස අවභාවිත කරමින්, තුනෙන් දෙකක යාන්ත්‍රික බහුතරයකින් මෙම මූලික අයිතිවාසිකම් විරෝධී වගන්ති සම්මත කරගැනීමට පෙළඹෙන්නේ නම් ඉන් පහත බරපතළ විපාක සමාජයට අත්විදින්නට සිදුවනු ඇත.

එමගින් මාධ්‍ය නිදහස බලපත්‍ර ක්‍රමයක් තුළ සිරවීම සිදුවනු ඇත.

ආණ්ඩුවේ හෝ පාලක කල්ලියේ අනුමැතිය නොලබන ස්වාධීන මාධ්‍යවේදීන්ට, යුක්තිය වෙනුවෙන් පෙනී සිටින විමර්ශනාත්මක ලේඛකයන්ට සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිය වෘත්තියේ නියැලීමේ අවකාශය අහිමි කිරීමේ “නෛතික කඩතුරාවක්” එමගින් නිර්මාණය වන්නේය.

එසේම මෙම පනත් කෙටුම්පතේ සදහන් විධිවිධාන මගින් විකල්ප හා පුරවැසි මාධ්‍ය මර්දනයට ඉඩ සලසනු ඇත.
සමාජ මාධ්‍ය, යූටියුබ් නාලිකා සහ විකල්ප ධාරාවේ හඬවල් “ප්‍රමිතීන් අධීක්ෂණය කිරීම” නමැති මුවාවෙන් අත්තනෝමතික ලෙස දඩයම් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලත් යාන්ත්‍රණයක් ගොඩනැගනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස හඳුනාගත් විධිවිධාන, පාර්ලිමේන්තු බහුතරයේ බලහත්කාරයෙන් නීතිගත කිරීම යනු රටේ අධිකරණ පද්ධතිය සහ ව්‍යවස්ථාපිත ආරක්ෂක වළලු ප්‍රසිද්ධියේ කෙලෙසීමක් ලෙස අප සලකනු ලබයි.

පාර්ලිමේන්තු බහුතරය යනු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වනසා දැමීමට ලබාදුන් වරමක් නොවේ. ‘වරලත් මාධ්‍යවේදීන්’ බිහිකිරීමේ ව්‍යාජ ලේබලය යටතේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකර ගැනීමේ මෙම උපායශීලී උත්සාහය පරාජය කළ යුතුය.

එබැවින්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් අදාළ ගැටලුකාරී වගන්ති වහාම ඉවත් කරන ලෙසත්, තුනෙන් දෙකේ බලය යොදාගනිමින් මාධ්‍ය නිදහසේ ගෙල සිරකිරීමේ අත්තනෝමතික උත්සාහයෙන් වහාම ඉවත් වන ලෙසත් අපි රජයට සහ සමස්ත පාර්ලිමේන්තුවට තරයේ බලකර සිටිමු.

එමෙන්ම, මෙම අන්තරායකාරී ක්‍රියාවලියට එරෙහිව පෙළගැසෙන ලෙස සියලුම මාධ්‍ය සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් දිනන දකුණ සාමූහිකය ඉතා සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටියි.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

අධිකරණය විසින් දක්වා ඇති සංශෝධන සහ විශේෂ බහුතර අවශ්‍යතාවලට යටත්ව, මෙම තීන්දුව පාර්ලිමේන්තු විවාදයට මග පාදයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ අභියෝගයට ලක් කරන ලද ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය නම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ප්‍රකාශයට පත්කල අතර කථානායක ජගත් වික්‍රමරත්න අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අධිකරණය විසින් වගන්ති කිහිපයක් ව්‍යවස්ථාමය විධිවිධානවලට පටහැනි බව සොයා ගත් බවයි.

3(1) වගන්තිය අපැහැදිලි සහ 12(1) සහ 14(1)(g) වගන්තිවලට පටහැනි බව සලකනු ලැබූ අතර, 84(2) වගන්තිය යටතේ විශේෂ බහුතරයකින් සම්මත කිරීම අවශ්‍ය වේ. වගන්තිය මකා දැමුවහොත් අනනුකූලතාවය ඉවත් කරනු ලැබේ.


4(o) වගන්තිය 12(1) සහ 14(1)(g) වගන්තිවලට පටහැනි බව සොයා ගන්නා ලද අතර, අධිකරණය විසින් යෝජනා කරන ලද පරිදි සංශෝධනය නොකළහොත් විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ හැකිය.


5(4b) වගන්තිය 12(1) වගන්තියට පටහැනි බව තීන්දු කරන ලද අතර 84(2) වගන්තිය යටතේ විශේෂ බහුතරයක් අවශ්‍ය වේ. උපදෙස් පරිදි සංශෝධනය කළහොත් අනනුකූලතාවය ඉවත් කරනු ලැබේ.


පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට තීරණය කරන ලදී.අධිකරණය විසින් දක්වා ඇති සංශෝධන සහ විශේෂ බහුතර අවශ්‍යතාවලට යටත්ව, මෙම තීන්දුව පාර්ලිමේන්තු විවාදයට මග පාදයි.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත by poornima

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed