November 17, 2026

“රට යළි බංකොලොත්භාවය කරා යනවා” GSP+ අහිමි වීමේ අවදානමක්! රුපියලේ පිරිහීමෙන් ජනතාවට තවත් බරක්!

0
LKA_EC

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට සංකෝචනයක් සිදුවෙමින් තිබෙනවා. 2025 දෙවැනි කාර්තුවේ පැවති 5.8%ක වර්ධනය, 2026 දෙවැනි කාර්තුව වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා පමණක් නොව, 2008 වසරේ පැවති ආර්ථික ප්‍රමාණයට වඩා 2%ක අඩුවීමක්ද අද වන විට පෙන්නුම් කරන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කළා.

ඊට අමතරව, මාසයෙන් මාසය ඉහළ යන උද්ධමනය හමුවේ ජනතාවගේ ඉතිරි කිරීමේ හැකියාව මෙන්ම මුදල්වල වටිනාකමද ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතිනවා. ජූනි මාසයේ 6.3%ක් ලෙස පැවති උද්ධමනය අගෝස්තු වන විට 8% දක්වාත්, ආහාර උද්ධමනය 8.5% දක්වාත් ඉහළ ගොස් තිබේ. උද්ධමනයේ දරුණු බව නිසා අවුරුදු නවයක් ගතවන විට ජනතාවගේ වත්කම්වලින් 50%ක්, එනම් අඩක්ම, අඩුවී යාමට නියමිතයි.

වත්මන් රජය බලයට පත්වන විට, 2024 ඔක්තෝබර් මාසයේදී රුපියල් 293ක් ලෙස පැවති ඩොලරයක වටිනාකම අද වන විට රුපියල් 337 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය රුපියලේ අගය රුපියල් 45කින් පමණ පහත වැටීමකි. මේ හේතුවෙන් ඉන්ධන, පරිප්පු, ලූනු, සීනි සහ පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෑම ඩොලරයකටම අමතරව රුපියල් 45ක් වැය කිරීමට සිදුව තිබේ. එමෙන්ම මෙරට විදේශ ණය ගණනය කිරීමේදීද මේ වැඩිවීම දැඩි ලෙස බලපායි.

ආර්ථිකය කුඩා වීම, උද්ධමනය සහ විදේශ විනිමය අර්බුදය හමුවේ නව රැකියා උත්පාදනය ඇහිරී ඇති අතර, පවතින රැකියා රැකගැනීමද දුෂ්කර වී තිබෙනවා. අධ්‍යාපනය ලැබූ උගත් තරුණ පිරිස අතර විරැකියාව 43%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය ආසියාවේ ඉහළම තරුණ විරැකියා අනුපාතය ලෙස සටහන් වෙනවා.

මෙරට වයස අවුරුදු 10–24 අතර පිරිස ලක්ෂ 50ක් වන අතර, රැකියා නොමැති උපාධිධාරීන්ගෙන් 50%ක් පමණ රට අත්හැර යාමට අපේක්ෂා කළද, බටහිර රටවල සංක්‍රමණික සීමා නිසා එයද අද අඩපණ වී තිබේ.

පසුගිය වසර දෙක තුළ මෙරටට කිසිදු මහා පරිමාණ විදේශ ආයෝජනයක් පැමිණ නැත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව, ආයතන අතර සම්බන්ධීකරණය දුර්වල වීම, නිතර වෙනස් වන අපැහැදිලි ප්‍රතිපත්ති සහ අශුභවාදී බදු ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාව ආයෝජන සඳහා අහිතකර පරිසරයක් ලෙස හඳුන්වා දී තිබේ.

ගිය වසරේ ඉදිරිපත් කළ අයවැයෙන් වෙන් කළ මුදල්වලින් මේ වසරේ මැද වන විට වියදම් කර ඇත්තේ 16.7%ක් පමණක් වන අතර, සැප්තැම්බර් වන විට වියදම් කර ඇත්තේ 28%ක්, එනම් හතරෙන් පංගුවක් පමණි.

මැයි මාසයේදී රුපියලේ අගය දැඩි ලෙස පහළ යෑම හමුවේ මහ බැංකුව ඩොලර් මිලියන 211කට වැඩි ප්‍රමාණයක් ශුද්ධ පදනමින් විකුණා තිබේ. එය මාස 22කට පසු වාර්තා වූ පළමු මාසික ශුද්ධ ඩොලර් විකිණීම බව සඳහන් වේ.

එසේම, ‘දිට්වා’ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වෙන් කළ රුපියල් බිලියන 500ක මුදලින් මෙතෙක් වියදම් කර ඇත්තේ 8%ක් වැනි කුඩා ප්‍රතිශතයකි. මෙයට බලපාන ප්‍රධානම සාධකය වී ඇත්තේ මුදල් හිඟයකට වඩා අදාළ ආයතනවල පවතින අකාර්යක්ෂමතාව සහ දුර්වලතාවයි.

ගම් මට්ටමේ කුඩා ව්‍යාපෘති 100ක් පමණ හඳුනාගෙන, ජන ජීවිතයට සෘජුව බලපාන ක්ෂේත්‍ර සඳහා මුදල් වෙන් කරනවා වෙනුවට රජය මහාමාර්ග සංවර්ධනය සඳහා වසර තුනකට රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කර තිබෙනවා. ටයිල්, වාහන සහ සිමෙන්ති වැනි දේ සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කර ඇති අතර, ඉන් පොදු ජනතාවට කිසිදු සහනයක් ලැබෙන්නේ නැත. මෙයින් ප්‍රතිලාභ හිමිවන්නේ මහා පරිමාණ සමාගම් කිහිපයකට පමණයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය 14%කින් සහ පතල් ක්ෂේත්‍රය 17%කින් වර්ධනය වී තිබුණද, සාමාන්‍ය ජනතාවට බලපාන ක්ෂේත්‍ර ගණනාවක් පහත වැටී ඇත. වී ගොවිතැනේ 15%ක අඩුවීමක් දක්නට ඇත. ඇඟලුම් කර්මාන්තය 1.4%කින්ද, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය 61%කින්ද, සමුද්‍ර ධීවර කර්මාන්තය 10%කින්ද, තේ කර්මාන්තය 2%කින්ද අඩුවී තිබෙනවා. මෙය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පෙන්නුම් කරන දැඩි අවදානම් තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය.

ලෝක බැංකු වාර්තාවලට අනුව ලංකාවේ දැඩි දරිද්‍රතාවය 30% දක්වා ඉහළ ගොස් ඇති අතර, ලෝක ආහාර වැඩසටහනට අනුව මෙරට මිලියන හයක ජනගහනයකට දවසට එක් පෝෂණදායී ආහාර වේලක් පවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් වර්තමානයේ උද්ගතව තිබේ. 18%ක වැට් (VAT) බද්ද වැනි වක්‍ර බදු නිසා දුප්පත්, පොහොසත් සියලුදෙනා එක ලෙස පීඩාවට පත්ව සිටිනවා.

2020 වසරේ සිට 2025 ජනවාරි මාසය දක්වා වාහන ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර තිබුණා. නමුත් 2025 වසරේදී කිසිදු සැලැස්මක් නොමැතිව, සුනාමියක් වගේ නැවත එය විවෘත කළා. ලෝකයේ අතිසුඛෝපභෝගී වාහන, එනම් බ්‍රිතාන්‍ය මහ රැජිණ භාවිත කළ රෝල්ස් රොයිස් වර්ගයේ වාහන පවා කිසිදු තහනමකින් තොරව මෙරටට ගෙන ඒමට අවස්ථාව ලබාදුන්නා.

රජය මින් විශාල බදු ප්‍රමාණයක් අපේක්ෂා කළත්, අපේක්ෂිත වාහන ලියාපදිංචියක් සිදු නොවුණු නිසා රජයට මින් දැඩි පාඩුවක් සිදුවුණා. එපමණක් නොව, අපේ රට සතුව තිබූ විශාල විදේශ සංචිත ප්‍රමාණයක් විදෙස් රටවලට ඇදී ගියා. මින් රට සතුව තිබූ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපට අහිමි වුණා.

මොනවාද මේ විදේශ විනිමය? අපේ රටේ විදේශ සංචිත ගොඩනැගීමට තිබුණු මුදල්. මේ මුදල්වලින් තමයි අපේ සංචිත වැඩි කරගන්නේ. අවුරුද්දේ අවසානය වන විට අපට විදේශ ණය ගෙවීම සඳහා මේ විදේශ සංචිත අවශ්‍ය වෙනවා. ඩොලර් ඉතිරි කරගැනීමට තිබුණු ප්‍රධාන ක්‍රමය තමයි මේක. ඒ සියල්ල නැති වුණා.

දැන් ඒ ආදායම අඩු වෙනවා. ඒ කියන්නේ සදාකල් එයින් යැපෙන්න බැහැ. එය නිශ්චිත, ස්ථිර ආදායම් මාර්ගයක් නොවෙයි. 2025දී මේ වාහන ආනයනයෙන් රේගුවට ලැබුණු ආදායම රුපියල් බිලියන 2,551ක්. නමුත් 2026 සැප්තැම්බර් වන විට එය බිලියන 2,000 දක්වා අඩු වෙනවා. එන අවුරුද්දේ ඊටත් වඩා අඩු වෙනවා. ඇයි? අලුත් වාහන ලියාපදිංචි කිරීම 15කින් අඩුවෙලා නිසා.

කෙසේ නමුත්, මෙවැනි තත්ත්වයක් යටතේ රට දැවැන්ත ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන වාතාවරණයක් තුළ, නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයෙන් මේ දැවෙන ප්‍රායෝගික ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය, දොස්තර රාජිත සේනාරත්න මහතා

වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ පවතින අසාර්ථකත්වය සහ නොහැකියාව හේතුවෙන් රට යළිත් 2022 වසරේ මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදය හා බංකොලොත්භාවය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙනවා.

පාලකයන්ගේ නොහැකියාව වසාගැනීමට ත්‍රස්තවාදී පනත් හරහා විරෝධතා මර්දනය කිරීමේ ප්‍රවණතාවක් මතුව තිබෙනවා. මෑතකදී විහාරමහාදේවි උද්‍යානයේ සහ අනුරාධපුර ප්‍රදේශයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව පොලිසිය සහ ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ප්‍රහාර අප දැඩි ලෙස හෙළා දකිනවා.

මේ මර්දනකාරී වැඩපිළිවෙළ නිසා GSP+ බදු සහනය පවා අහිමි වී, ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන ක්ෂේත්‍රය දැඩි අනතුරකට ලක්වීමේ අවදානමක්ද දැන් මතුව තිබෙනවා. එසේම රටේ සමස්ත පොදු ණය තත්ත්වය අතිශය භයංකාර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් ට්‍රිලියන 29.5ක් වූ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය මේ වන විට ට්‍රිලියන 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 18 සිට ට්‍රිලියන 19 දක්වා වැඩි වී තිබේ. ට්‍රිලියන 11.5ක් වූ විදේශ ණය ප්‍රමාණය මේ වන විට ට්‍රිලියන 12.7ක් දක්වා ඉහළ ගොස් ඇත.

විවිධ බදු වර්ග 12ක් ඉහළ නැංවීම හේතුවෙන් මෙරට මධ්‍යම පන්තිය 72% සිට 57% දක්වා පහත වැටී තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම බදු ගෙවන රටක් ලෙස මේ වන විට ජාත්‍යන්තර වාර්තා අතරට එක්ව තිබෙනවා.

උද්ධමනය ආසියාවේ ඉහළම රටවල් අතරට පැමිණ ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 75%ක් පමණ මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇත. මීට අමතරව, කොටස් වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 171ක ආයෝජන ඉවත් කරගෙන ඇති අතර, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක්ද රටින් ඉවත්ව යමින් පවතිනවා. මෙය අතිශය කණගාටුදායක තත්ත්වයක් බව සිහිපත් කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ අඩුව තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඉන්ධන මිල ගණන් වත්මන් පාලනය යටතේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා රට භාරදෙන විට රුපියල් 320ට තිබුණු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය අද රුපියල් 424 දක්වා, රුපියල් 104කින් වැඩිව තිබෙනවා. රුපියල් 377ට තිබුණු ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය අද රුපියල් 490යි.

රුපියල් 304ක්ව තිබුණු ඩීසල් ලීටරය රුපියල් 397 දක්වා, රුපියල් 90කින් වැඩිවෙලා. රුපියල් 3,690ට තිබුණු ගෑස් සිලින්ඩරය අද රුපියල් 4,365යි. රුපියල් 292ට තිබුණු ඇමෙරිකානු ඩොලරයේ මිල රුපියල් 330 ඉක්මවා ඉහළ ගිහින්.

මේ ආර්ථික දත්ත සහ අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීමට නිසි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළහොත්, ඉදිරි මාස කිහිපය තුළ රට යළිත් 2022 වසරේ අත්දැකපු අඳුරු ආර්ථික අගාධයට සහ බංකොලොත්භාවයට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *