September 22, 2026

CLA සභාපතිවරයා 22A නඩු විභාගය පිළිබඳ වාර්තාව නිකුත් කරයි! ප්‍රධාන ක්‍රියා පටිපාටික ගැටළු 4ක් මතු කරයි! මෙන්න වාර්තාව!

0
Commonwealth-Lawyers-Association

පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරු, ශ්‍රී ලංකාවේ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගවලින් පැන නගින ක්‍රියා පටිපාටික සාධාරණත්වය, විනිවිදභාවය සහ මහජන විශ්වාසය පිළිබඳව ගැටළු කිහිපයක් මතු කර තිබේ.

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වන සංශෝධනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පවත්වන ලද නඩු විභාගය නිරීක්ෂණය කිරීමට සහ අදාළ පාර්ශ්ව හමුවීමට පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු (Steven Thiru) මහතා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය පිළිබඳ වාර්තාව මේ වනවිට එළිදක්වා තිබේ.

කරුණු රැසක් ඇතුලත් එම වාර්තාව හරහා Steven Thiru මහතා පෙන්වා දි ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කරුණුවලදී, විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය, විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ පාර්ශ්වයන්ට තම කරුණු ඉදිරිපත් කිරීමට ලබාදෙන අවස්ථාව ඇතුළුව අධිකරණ තීරණ ලබාගන්නා ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසයක් පැවතීම විශේෂයෙන් වැදගත් වන බවයි.

කරුණු 38ක් ඔස්සේ තමන්ගේ නිරික්ෂණය Steven Thiru මහතා විග්‍රහ කර තිබේ. එම සම්පූර්ණ වාර්තාව පහත කියවිමට හැකි අතර මේ එහි සිංහල පුවතයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු මහතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරන ක්‍රියාදාමයන් නිරීක්ෂණය කිරීමට සහ අදාළ පාර්ශ්වයන් හමුවීමට ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ වාර්තාව.

අනෙකුත් කරුණුවලට අමතරව, ආණ්ඩුවේ ශාඛා ත්‍රිත්වය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය (ලැටිමර් හවුස් – Latimer House) මූලධර්ම (2003) වලට අනුකූලව ස්වාධීන හා කාර්යක්ෂම නීති වෘත්තියක් මගින් පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතාවට සේවය සැලසෙන බව සහතික කරමින් පොදුරාජ්‍ය මණ්ඩලය පුරා නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (‘CLA’) ප්‍රමුඛ අරමුණ වේ.

ලැටිමර් හවුස් මූලධර්ම අනුව, “ස්වාධීන, අපක්ෂපාතී, අවංක හා දක්ෂ අධිකරණයක් පැවතීම නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට, මහජන විශ්වාසය ගොඩනැගීමට සහ යුක්තිය පසිඳලීමට අත්‍යවශ්‍ය වේ”.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ඉදිරි පියවරක් ලෙස, විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය දක්වන කැපවීම මත, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති නඩු කටයුතු නිරීක්ෂණය කිරීමටත් අදාළ පාර්ශ්ව හමුවීමටත් මම එම සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වන ව්‍යවස්ථාවට යෝජිත සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු හැටහතක් (67) විය යුතු බවටත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු හැටපහක් (65) විය යුතු බවටත් විධිවිධාන සලසයි. අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් යෝජිත සංශෝධනය තවදුරටත් දක්වන්නේ, අගවිනිසුරුවරයා අවුරුදු හැටහතක වයස සම්පූර්ණ කරන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත්වූ දින සිට වසර හයක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනය විශ්‍රාම යාමේ දිනය විය යුතු බවයි.

මෙම ශ්‍රී ලංකා සංචාරය සිදුකරන ලද්දේ, මෙම නඩු කටයුතු නිරීක්ෂණය කරන ලෙස CLA හි සභාපතිවරයා ලෙස මගෙන් ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් 2026 අගෝස්තු 31 දිනැති ලිපියක් මඟින් කරන ලද ආරාධනයකට අනුවය.

මෙම කරුණෙහි මතු වන ගැටලු පිළිබඳවත්, අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිය පසිඳලීම කෙරෙහි ඇති මහජන විශ්වාසයට අදාළ පුළුල් කරුණු පිළිබඳවත් මනා අවබෝධයක් ලබාගැනීමේ අරමුණින්, නීතිඥ ප්‍රජාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමට මෙම සංචාරය CLA සංගමයට අවස්ථාවක් ලබා දුන්නේය.

මෙම සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ ශ්‍රී ලංකා කවුන්සිල සාමාජික, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මා සමඟ සහභාගී විය. ඔහුගේ නොමසුරු ආගන්තුක සත්කාරය පිළිබඳව මම ඔහුට කෘතඥ වන අතර, සංචාරය පුරා ඔහු ලබාදුන් වටිනා සහයෝගයට ස්තූතිවන්ත වෙමි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් පෙත්සම් 67ක් ගොනු කර තිබුණි. මෙම පෙත්සම්වල වගඋත්තරකරු වන්නේ ශ්‍රී ලංකා නීතිපතිවරයාය. මෙම පෙත්සම්වලට විරුද්ධව අතරමැදි පෙත්සම්කරුවන් 27 දෙනෙකු පෙනී සිටියහ.

මෙම පෙත්සම් 2026 සැප්තැම්බර් 1 සහ 2 යන දිනවලදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ, විනිසුරු අචල වෙන්ගප්පුලි, විනිසුරු අර්ජුන ඔබේසේකර, විනිසුරු සම්පත් බී. අබේකෝන් සහ විනිසුරු කේ. එම්. ජී. එච්. කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරන ලදී.

2026 සැප්තැම්බර් 1 වන දින පැවති පළමු දින නඩු කටයුතුවලට සහභාගී වීමට මට නොහැකි විය. 2026 සැප්තැම්බර් 2 වන දින දෙවන දින නඩු විභාගයට මම සහභාගී වීමි. මෙම කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණයේ චාරිත්‍රානුකූල අධිකරණ ශාලාවේදී (අංක 501 අධිකරණ ශාලාව) පැවති අතර ඒවා මහජනතාවට විවෘතව පැවතුණි.

අගවිනිසුරුවරයා නඩුවෙන් ඉවත් විය යුතු (recusal) බවටත්, දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 17 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් (full bench) මඟින් පෙත්සම් විභාග කළ යුතු බවටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෝසම් ගොනු කර තිබුණි. මෙම මෝසම් 2026 සැප්තැම්බර් 1 වන දින ඉහත කී පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙම කරුණ විභාග කිරීමට අධිකරණයට අධිකරණ බලය ඇති බව හැර, මෝසම් ප්‍රතික්ෂේප කිරීම සඳහා කිසිදු හේතුවක් ප්‍රකාශ නොකළ බව මට දැනගන්නට ලැබිණි.

පෙත්සම් විභාගය 2026 සැප්තැම්බර් 1 වන දින පෙ.ව. 10.30 සිට ප.ව. 10.45 දක්වාත්, 2026 සැප්තැම්බර් 2 වන දින පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වාත් පැවැත්විණි. පළමු දිනයේදී කරුණු දැක්වීම පෙත්සම්කරුවන් විසින් පමණක් සිදු කරන ලදී. දෙවන දිනයේදී, ඉතිරි පෙත්සම්කරුවන්, අතරමැදි පාර්ශ්වකරුවන් සහ අවසානයේ වගඋත්තරකරු වෙනුවෙන් සොලිසිටර් ජනරාල්වරයා විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. කරුණු දැක්වීම් සවිස්තරාත්මක වූ අතර විනිසුරුවරුන්ගෙන් බාධා කිරීම් සිදුවූයේ ඉතා අල්ප වශයෙනි.

අතරමැදි පාර්ශ්වකරුවන්ගේ සහ වගඋත්තරකරුගේ කරුණු දැක්වීම් අවසානයේ, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිප දෙනෙකු එම කරුණුවලට වාචිකව පිළිතුරු (oral reply) ලබාදීම සඳහා නැගී සිටියහ. කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් විසින් තවදුරටත් වාචික කරුණු දැක්වීම් නොකළ යුතු බවට අගවිනිසුරුවරයා නියෝග කළ නමුත්, 2026 සැප්තැම්බර් 3 වන දින ප.ව. 3.00 වන විට එම කරුණු දැක්වීම් සඳහා ලිඛිත පිළිතුරු ගොනු කිරීමට අවසර ලබා දුන්නේය. පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු වාචික පිළිතුරු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඉල්ලා දිගින් දිගටම පෙරැත්ත කළද, අගවිනිසුරුවරයා එම ඉල්ලීමට එකඟ නොවීය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(2) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් සම්බන්ධයෙන් තීරණය කර එහි නිගමනය 2026 සැප්තැම්බර් 8 වන විට ප්‍රකාශයට පත් කළ යුතු බව සැලකිය යුතුය. එබැවින් නඩු කටයුතු අවසන් කිරීමේ සැලකිය යුතු හදිසි අවශ්‍යතාවක් පැවතුණි.
ක්‍රියාපටිපාටික සාධාරණත්වය සහ අවධානය යොමු විය යුතු අනෙකුත් කරුණු

එසේ වුවද, මා විසින් නිරීක්ෂණය කරන ලද සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතැම් සාමාජිකයින් විසින්ද මතු කරන ලද කනස්සල්ලට කරුණු කිහිපයක් පවතී. මෙම කරුණු ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවීමේදී මතුවූ ක්‍රියාපටිපාටික සාධාරණත්වය (procedural fairness) පිළිබඳ ගැටලුවලට සම්බන්ධ වන අතර, ඒවා අධිකරණයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් ඇති කළ හැකිය.

ක්‍රියාපටිපාටික සාධාරණත්වය යනු අධිකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ මූලික අංගයකි. ක්‍රියාපටිපාටික සාධාරණත්වයෙන් බැහැරවීමක් හේතුවෙන් නීතිමය ප්‍රතිවිපාක (තීරණයක වලංගුභාවයට වන බලපෑම ඇතුළුව) ඇති වන්නේද යන්න අදාළ තත්ත්වයන් සහ අදාළ නීතිය මත අනිවාර්යයෙන්ම රඳා පවතී. එබැවින්, විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කමක් ඇති නඩු විභාගවලදී ක්‍රියාපටිපාටික සාධාරණත්වය පිළිබඳ සාධාරණ සැකයක් ඇති කළ හැකි කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමත්, ස්ථාපිත මූලධර්මවලින් බැහැරවීමක් සිදුවන්නේ නම් ඒ සඳහා යුක්තිසහගත හේතු තිබීමත් අතිශයින් වැදගත් වේ.

අවධානය යොමු විය යුතු පළමු කරුණ වන්නේ අගවිනිසුරුවරයා නඩුවෙන් ඉවත් විය යුතු බවට කරන ලද ඉල්ලීමයි. යෝජිත සංශෝධනයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වනුයේ වත්මන් අගවිනිසුරුවරයා බව පෙන්වා දෙමින්, පෙත්සම්කරුවන් විසින් ඇතිවිය හැකි ‘ස්වාර්ථ ඝට්ටනයක්’ (conflict of interest) මතු කරන ලදී. එම පසුබිම මත, පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් විභාග කළ යුතු බව ඔවුහු තර්ක කළහ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ස්වාර්ථ ඝට්ටනයක් මත විනිසුරුවරයෙකු නඩුවෙන් ඉවත් වීම බරපතල කාරණයකි; මක්නිසාද යත් එය අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ මූලික අවශ්‍යතාව හා බැඳී පවතින අතර, පක්ෂග්‍රාහී බවක් ඇති විය හැකි බවට වන සාධාරණ බියක පෙනුම (perception of a reasonable apprehension of bias) පිළිබඳවද අදාළ වන බැවිනි. එබැවින්, විශේෂයෙන්ම මෙවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කමකින් යුත් කරුණකදී, එවැනි ගැටලුවක් මතු කරන ඉල්ලීමක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ කරුණු පැහැදිලි කිරීමට ප්‍රමාණවත් වන අයුරින් ඊට පිළිතුරු සැපයීම වැදගත් වේ. ප්‍රමාණවත් තරම් පැහැදිලි හේතු දැක්වීමක් නොමැති විට, අපක්ෂපාතීත්වය සහ ක්‍රියාපටිපාටික සාධාරණත්වය පිළිබඳ සැක සංකා ඉතිරි වීමේ අවදානමක් පවතී. මෙම නිරීක්ෂණය මගින් අගවිනිසුරුවරයා ඇත්ත වශයෙන්ම පක්ෂග්‍රාහී වූ බවක් හෝ නඩුවෙන් ඉවත් වීමේ ඉල්ලීම නිසැකවම නිවැරදි එකක් බවක් අදහස් නොකෙරේ; ඒ වෙනුවට එයින් අවධාරණය කෙරෙන්නේ එවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලකින් සහ විනිවිදභාවයකින් කටයුතු කිරීමේත්, එය ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතු දැක්වීමේත් ඇති වැදගත්කමයි.

අවධානය යොමු විය යුතු දෙවන කරුණ වන්නේ, සේවයේ නියුතු සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් මඟින් පෙත්සම් විභාග කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමයි. විනිසුරු මඩුලු පත්කිරීම සම්බන්ධ බලතල අගවිනිසුරුවරයා සතු බව පිළිගැනේ. කෙසේ වෙතත්, එම බලතල ක්‍රියාත්මක කිරීම අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල සහ නීතිමය මූලධර්මවලට අනුකූල විය යුතු අතර, එය අත්තනෝමතික හෝ අහේතුක බවක් නොපෙන්විය යුතුය. මෙවැනි පෙත්සම් වැනි තීරණාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කමක් ඇති කරුණුවලදී විශාල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ සුවිශේෂී නඩු තීන්දුවක් වන කේසවානන්ද භාරතී එදිරිව කේරළ ප්‍රාන්තය (Kesavananda Bharati v. State of Kerala, AIR 1973 SC 1461) නඩුව ඇතුළුව අනෙකුත් පොදු නීති (common law) අධිකරණ බලප්‍රදේශවල මෙයට උදාහරණ පවතී.

එබැවින්, මෙම පෙත්සම්වල පවතින විශේෂිත තත්ත්වයන් හමුවේ, පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීමේ තීරණය යුක්තිසහගත කළ හේතු තිබුණේද යන ප්‍රශ්නය පැනනගී. හේතු ප්‍රසිද්ධියේ දැකගත නොහැකි පසුබිමක, මෙම තීරණය විනිසුරු මඩුලු පත්කිරීමේ ක්‍රියාවලිය සහ අධිකරණයේ ආයතනික අපක්ෂපාතීත්වය කෙරෙහි පවතින මහජන විශ්වාසය පිළිබඳ ප්‍රශ්න මතු කිරීමට ඉඩ ඇත. මෙයින් පමණක්ම විනිසුරු මඩුල්ල පත්කිරීම නීති විරෝධී බවක් තහවුරු නොවේ. කෙසේ වෙතත්, පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීමට සාධාරණ හේතු නොමැති වීම, අනෙකුත් විනිසුරුවරුන් යටි අරමුණු සහිතව බැහැර කරන ලදැයි යන මතය තහවුරු වීමට හේතු විය හැකි අතර, එය තීරණ ගැනීමේ ක්‍රියාවලියට හානි පමුණුවයි.

මෙයට සමීපව බැඳී ඇති අනෙක් කරුණ නම්, අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුළත් නොවීමයි. මෙම නඩු විභාගයේ ව්‍යවස්ථාමය වැදගත්කම සැලකිල්ලට ගැනීමේදී මෙය විශේෂයෙන් කැපී පෙනේ. ජ්‍යෙෂ්ඨත්වය යනු විනිසුරු මඩුල්ලක් පත්කිරීම සඳහා තීරණාත්මක එකම සාධකය නොවුනද, මෙවැනි වැදගත්කමක් ඇති කරුණකදී විනිසුරු මඩුල්ලේ සංයුතිය, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් කිහිප දෙනෙකු ඇතුළත් කර නොමැති විට, සාධාරණ ලෙස මහජන පරීක්ෂාවට ලක්විය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙල පහත පරිදි වේ:
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන
විනිසුරු යසන්ත කෝදාගොඩ
විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්
විනිසුරු ශිරාන් ගුණරත්න
විනිසුරු ජනක් ද සිල්වා
විනිසුරු අචල වෙන්ගප්පුලි
විනිසුරු මහින්ද සමයවර්ධන
විනිසුරු අර්ජුන ඔබේසේකර
විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා
විනිසුරු මේනකා විජේසුන්දර
විනිසුරු සම්පත් බී. අබේකෝන්
විනිසුරු එම්. සම්පත් කේ. බී. විජේරත්න
විනිසුරු කේ. එම්. ජී. එච්. කුලතුංග

එබැවින්, මෙම පෙත්සම් විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට, විනිසුරු අචල වෙන්ගප්පුලි මහතාට වඩා ක්ෂණිකව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් සිටි විනිසුරුවරුන් සිව්දෙනා වන විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්, විනිසුරු ශිරාන් ගුණරත්න සහ විනිසුරු ජනක් ද සිල්වා යන මහත්වරුන් ඇතුළත් කර නොතිබීම කැපී පෙනේ.

මෙම කරුණෙහි සුවිශේෂී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කම සැලකිල්ලට ගත් කල, විනිවිදභාවය සහ මහජන විශ්වාසය සුරැකීම උදෙසා, විනිසුරු මඩුල්ලේ සංයුතිය තීරණය කළ පදනම විනිවිදභාවයකින් යුතු සහ පැහැදිලිව හඳුනාගත හැකි එකක් විය යුතුය. මෙම නිරීක්ෂණය මගින් පත්කරන ලද විනිසුරුවරුන් පෙත්සම් විභාග කිරීමට සුදුසුකම් නොමැති අය බවක් අදහස් නොකෙරේ; ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් විනිසුරු මඩුල්ලෙන් බැහැර කිරීමට හේතු වූ පසුබිම කෙරෙහි දැඩි අවධානය යොමු විය යුතු බව අවධාරණය කෙරේ.

අවධානය යොමු විය යුතු සිව්වන කරුණ නම්, අතරමැදි පාර්ශ්වකරුවන්ගේ සහ වගඋත්තරකරුගේ වාචික කරුණු දැක්වීම්වලින් අනතුරුව වාචිකව ප්‍රතිචාර දැක්වීමට (oral submissions in reply) අගවිනිසුරුවරයා විසින් අවසර ලබා නොදීමයි. කෙසේ වෙතත්, නියමිත කාලසීමාව තුළ ලිඛිතව පිළිතුරු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ට අවසර දෙන ලදී.

මෙහිදී පැනනගින ප්‍රශ්නය නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණුවල ස්වභාවය සහ සංකීර්ණත්වය මෙන්ම අතරමැදි පාර්ශ්වකරුවන් සහ වගඋත්තරකරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද දීර්ඝ වාචික කරුණු දැක්වීම් සැලකිල්ලට ගැනීමේදී, පෙත්සම්කරුවන්ට ලිඛිතව පිළිතුරු දීමට ලබාදුන් අවස්ථාව ක්‍රියාපටිපාටික සාධාරණත්වයේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වූයේද යන්නයි. වාචිකව පිළිතුරු දීමේ අයිතිය, ලිඛිත පිළිතුරක් සමඟ හෝ නැතත්, මූලික ක්‍රියාපටිපාටික සාධාරණත්වයේ කාරණයක් ලෙස (මෙහිදී පෙත්සම්කරුවන්ට) නඩු කටයුතුවලදී සාමාන්‍යයෙන් ලබාදෙන අවස්ථාවකි; එබැවින් නඩුවේ තත්ත්වයන් සලකා බලන විට මෙම අයිතිය අහිමි කිරීම අසාමාන්‍ය එකකි. නඩු විභාගයේ පළමු දින රාත්‍රී 10.45 දක්වා වාචික තර්ක ශ්‍රවණය කිරීමට අධිකරණය සූදානම්ව සිටි හෙයින්, දෙවන දිනයේ ප.ව. 5.30 න් පසුව වුවද එම වාචික පිළිතුරු ශ්‍රවණය කිරීමට අවකාශ තිබුණි. මේ සම්බන්ධයෙන්, පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ තමන් සියලු දෙනාම වාචිකව පිළිතුරු දැක්වීමට අදහස් නොකරන බවයි; එබැවින් දෙවන දිනයේදීම ඔවුන්ගේ කරුණු දැක්වීම්වලට සවන් දීමට ඉඩකඩ තිබුණි.
ඉන්පසු සිදුකළ හමුවීම් සහ මැදිහත්වීම්

2026 සැප්තැම්බර් 2 වන දින නඩු කටයුතු අවසන් වීමෙන් පසු, අධිකරණයෙන් පිටතදී මාධ්‍යවේදීන් පිරිසක් මා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූහ. ඔවුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්, නඩු කටයුතු පිළිබඳ මගේ නිරීක්ෂණ සහ අධිකරණයේ රැඳී සිටි කාලය තුළ මගේ අවධානයට ලක් වූ කරුණු පිළිබඳ සාරාංශයක් මම ලබා දුනිමි. මගේ අදහස් දැක්වීම් එම නිරීක්ෂණවලට පමණක් සීමා වූ අතර, පෙත්සම්වල ගුණදොස් (merits) හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසාන තීරණයක් දීමට නියමිත කරුණු පිළිබඳව කිසිදු නිගමනාත්මක මතයක් ප්‍රකාශ කිරීමට උත්සාහ නොකළෙමි. කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීමේ වැදගත්කම සහ අධිකරණය දුර්වල කිරීමේ ඇති අන්තරායන් මම අවධාරණය කළ අතර, අධිකරණයෙන් යුක්තිය පතන නඩුකරුවන්ගේ අවසාන ආරක්ෂක බලකොටුව වන්නේ අධිකරණය බව පෙන්වා දුනිමි.

අනතුරුව, අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජන විශ්වාසය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව අදාළ රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට මම උත්සාහ කළෙමි.

ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය කෙරෙහි ඇති මහජන විශ්වාසය රැකගැනීම සහ ශක්තිමත් කිරීමේ වැදගත්කම සාකච්ඡා කිරීම සඳහා 2026 සැප්තැම්බර් 4 වන දින හමුවීමේ අරමුණින්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මහතා සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා වෙත මම අදහස් දැක්වීමක් යොමු කළෙමි.

තමන් 2026 සැප්තැම්බර් 3 වන දින කොළඹ නොසිටින බැවින් හමුවීමට නොහැකි බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මට දන්වා සිටියේය. මේ සඳහා ඔහු නම් කිරීමට කැමති වෙනත් අයෙකු මට හමුවිය හැකිදැයි මම විමසුවෙමි. එවැනි විධිවිධාන සැලසීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළද, මගේ සංචාරය අවසන් වීමට පෙර මට ඒ පිළිබඳ වැඩිදුර ප්‍රතිචාරයක් නොලැබුණි.

මීට අමතරව, 2026 සැප්තැම්බර් 3 වන දින හමුවීමට අවස්ථාවක් ඉල්ලා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය ද මම සම්බන්ධ කර ගතිමි. කනගාටුවට කරුණක් නම්, එම ඉල්ලීමටද මට ප්‍රතිචාරයක් නොලැබීමයි.

කෙසේ වෙතත්, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට මට හැකි විය. අපගේ සාකච්ඡාවට අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීමේ වැදගත්කම ඇතුළත් විය. හමුව අතරතුර, ඔහු පාරිසරික ගැටලු සහ දේශගුණික යුක්තිය (climate justice) පිළිබඳ කරුණු කෙරෙහිද උනන්දුවක් පළ කළේය. එවැනි කරුණු සම්බන්ධයෙන් සුදුසු පරිදි උපදෙස් සහ සහාය ලබා දීමට CLA සතුව කැපවූ ‘දේශගුණික යුක්තිය පිළිබඳ කමිටුවක්’ ඇති බව මම ඔහුට දැනුම් දුනිමි.

මම 2026 සැප්තැම්බර් 3 වන දින සාකච්ඡා සහ මගේ සංචාරය නිමා කළෙමි.

එමෙන්ම 2026 සැප්තැම්බර් 3 වන දින, 2026 සැප්තැම්බර් 2 දින වාචිකව පිළිතුරු දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර නොදීමේ තීරණය ඇතුළු කරුණු කිහිපයක් දක්වමින්, නඩු විභාගයෙන් පසු ලිඛිත දේශන ගොනු නොකරන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය. ඊට අමතරව, තවත් පෙත්සම්කරුවන් කිහිප දෙනෙකුද ඒ ආකාරයෙන්ම ලිඛිත දේශන ගොනු නොකරන බව වාර්තා විය. මෙම වර්ධනය සිදුවූයේ මෙම වාර්තාවේ අරමුණ සඳහා නිරීක්ෂණය කරන ලද වාචික නඩු විභාගයෙන් පසුව බැවින්, එය ඉහත දක්වා ඇති නිරීක්ෂණවලින් වෙන්ව මෙහි සටහන් කරනු ලැබේ.
නිගමනය

අධිකරණයේ ස්වාධීනත්වයේ වැදගත්කම විසුවලිංගම් සහ පිරිස එදිරිව ලියනගේ සහ පිරිස, [1983] 1 Sri L.R. 203 නඩුවේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නිරීක්ෂණ මගින් මනාව පැහැදිලි වේ. එහි පහත සඳහන් කොටස විශේෂයෙන් අදාළ වේ:
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන අපේක්ෂාවන් එහි අගනා ප්‍රවේශිකාවේ දක්වා ඇත. නීතියේ ආධිපත්‍යය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වන අතර අධිකරණයේ ස්වාධීනත්වය සහ මූලික මානව හිමිකම් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හා අත්‍යවශ්‍ය ලක්ෂණ වේ. ඉතා අගනා ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් රැකගත හැක්කේ ස්වාධීන අධිකරණයක් තුළින් පමණක් වන අතර එවැනි අධිකරණයක් පැවතීම එම අයිතිවාසිකම් සඳහා පූර්ව කොන්දේසියක් බව ඉතිහාසය අපට කියා දෙන පාඩමකි. ස්වාධීන අධිකරණයක් හරහා ක්‍රියාත්මක වන නීතියක් නොමැතිව නිදහස් සමාජයක් පැවතිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට තම ක්‍රියාවන් පවා පරීක්ෂාවට ලක් කළ හැකි ස්වාධීන අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යාම සහ එය ආරක්ෂා කිරීම ආඩම්බරයක් විය යුතුය, එසේ විය යුතුමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණකරු ලෙස කටයුතු කිරීමට ස්වාධීන අධිකරණයකට ඇති අධිකාරී බලය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා වේ.”

සමාලෝචනයක් ලෙස දක්වන්නේ නම්, මෙම නඩු විභාගය පැවැත්වුණේ අතිශයින් සීමිත ව්‍යවස්ථාපිත කාලරාමුවක් තුළ වන අතර ඊට සැලකිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කමක් ඇති ගැටලු ඇතුළත් විය. මෙම වාර්තාවේ දක්වා ඇති නිරීක්ෂණ මගින් පෙත්සම්වල ගුණදොස් පිළිබඳව හෝ අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමට නියමිත කරුණු පිළිබඳව ස්ථිර නිගමනයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකෙරේ. කෙසේ වෙතත්, ක්‍රියාපටිපාටික සාධාරණත්වය, විනිවිදභාවය සහ යුක්තිය පසිඳලීම කෙරෙහි ඇති මහජන විශ්වාසය රැකගැනීම උදෙසා මනා පරීක්ෂාවට ලක්විය යුතු ක්‍රියාපටිපාටික කරුණු කිහිපයක් මගේ අදහස අනුව මෙමඟින් හඳුනාගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කරුණුවලදී, විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය, විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ පාර්ශ්වයන්ට තම කරුණු ඉදිරිපත් කිරීමට ලබාදෙන අවස්ථාව ඇතුළුව අධිකරණ තීරණ ලබාගන්නා ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසයක් පැවතීම විශේෂයෙන් වැදගත් වේ.

අධිකරණය සහ යුක්තිය පසිඳලීම කෙරෙහි එවැනි විශ්වාසයක් පවත්වා ගැනීම අධිකරණය හමුවේ සිටින පාර්ශ්වයන්ට පමණක් නොව, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමටත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය රැකගැනීමටත් මූලික වශයෙන් වැදගත් වේ.


ස්ටීවන් තිරු (Steven Thiru)
සභාපති
පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය
2026 සැප්තැම්බර් 7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *