September 27, 2026

GOTAGOGAMA ප්‍රහාරයේ නඩුව අලුත් හැරවුමක: මහින්දට අධිචෝදනා නැහැ — 31කට චෝදනා 327ක්!

0
GOTAGOGAMA

විමර්ශන සාක්ෂි ප්‍රමාණවත් නැතැයි නීතිපති තීරණය කරයි — ජොන්ස්ටන්, දේශබන්දු ඇතුළු පිරිසකට මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා; නඩුව විභාගයට Trial-at-Bar විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

2022 මැයි මාසයේ ‘අරගලය’ උණුසුම් වූ සමයේ ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග නව අදියරකට පැමිණ තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අධිචෝදනා ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ, විමර්ශකයන් විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රහාරය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් නොවන බව නීතිපතිවරයා විසින් තීරණය කිරීමත් සමඟය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 34 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නිර්දේශ වී තිබේ. ඒ සඳහා ඇසින් දුටු සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි සහ ප්‍රහාරය සිදුවූ ස්ථානයේ වීඩියෝ දර්ශන පිළිබඳ විශේෂඥ විශ්ලේෂණ යොදාගෙන ඇති බව සඳහන්ය.

එම පිරිසෙන් තිදෙනෙකු මේ වනවිට මියගොස් ඇත. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, දේශපාලන ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් සහ හිටපු වෘත්තීය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ යන අයයි.

ඒ අනුව ඉතිරි සැකකරුවන් 31 දෙනාට එරෙහිව චෝදනා 327ක් යටතේ කොළඹ මහාධිකරණයේ එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම එම චෝදනා අතර වේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, අමල් පුෂ්පකුමාර ද සිල්වා, අජන්ත ලියනගේ, මහින්ද කහඳගම සහ ‘අරාබි වසන්ත’ ලෙස හඳුන්වන අසංක නාලක විජේසිංහ ද අධිචෝදනා ගොනු කිරීමට නියමිත පිරිස අතර සිටින බව සඳහන් වේ.

මේ අතර නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් (Trial-at-Bar) පත් කරන ලෙස නීතිපති පරින්ද රණසිංහ මහතා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව Sunday Times වාර්තා කර තිබේ.

2022 මැයි 9 වැනිදා ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ‘අරගලය’ සමයේ සිදුවූ ප්‍රධානතම සිදුවීම් අතරින් එකක් වූ අතර, එදින ඇතිවූ සිදුවීම් පසුව රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට ද පසුබිම සැපයීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *