PTA වෙනුවට එන PSTB ගැන බරපතළ අනතුරු ඇඟවීමක්! “කමිටුව එකඟ වූ දේ පනතේ වෙනස් කරලා”
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වාදීමට යෝජිත රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTB) දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආකාරයෙන්ම සම්මත වුවහොත්, PTA යටතේ මතුවූ දීර්ඝ කාලීන රඳවා තැබීම් සහ බලතල අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ ගැටලු නව නීතිය යටතේද නැවත මතුවිය හැකි බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ (BASL) හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අනතුරු අඟවා තිබේ.
යෝජිත නීතිය සමාලෝචනය කළ කමිටුවේ BASL නියෝජිතයා ලෙසද කටයුතු කළ සාලිය පීරිස් පවසන්නේ, එම කමිටුවේදී එකඟතාවකට පැමිණි ඇතැම් වැදගත් ආරක්ෂණ ප්රතිපාදන සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අතර “ප්රධාන වෙනස්කම්” පවතින බවයි.
විශේෂයෙන්ම සැකකරුවන්ට ඇප ලබාදීම සහ රඳවා තැබීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධ ප්රතිපාදන එලෙස වෙනස් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
“කමිටුව දැනුවත් කළේවත් නෑ”
සාලිය පීරිස්ගේ ප්රකාශයට අනුව, පනත් කෙටුම්පත සකස් කිරීමේදී කමිටුව තුළ ප්රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් ඔහු බහුතර මතයට එකඟ වී නැත.
ඒ, “ත්රස්තවාදය” යන්නට ලබාදී ඇති අතිශය පුළුල් අර්ථ දැක්වීම, පරිපාලනමය රඳවා තැබීම සඳහා අමාත්යාංශ ලේකම්වරයෙකුට බලය ලබාදීම සහ සංවිධාන තහනම් කිරීමේ බලය අධිකරණ අධීක්ෂණයකින් තොරව ක්රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙනි.
ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ රඳවා තැබීම සඳහා අවසර ලබාදීම අමාත්යාංශ ලේකම්වරයෙකුට නොව අධිකරණ නිලධාරියෙකුට පැවරිය යුතු බවයි. එමෙන්ම සංවිධානයක් තහනම් කිරීම වැනි බරපතළ තීරණද අධිකරණ අධිකාරියක් යටතේ සිදුවිය යුතු බව ඔහු පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, වෙනත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කමිටුව තුළ එකඟතාවක් පැවති බවද ඔහු කියයි.
ඒ අතර රඳවා තැබිය හැකි කාලය සීමා කිරීම සහ සැකකරුවෙකුට එරෙහිව ප්රමාණවත් කරුණු නොමැති අවස්ථාවක මහේස්ත්රාත්වරයෙකුට ඇප ලබාදීමේ බලය තිබිය යුතු බවට වූ එකඟතාව ප්රධාන වේ.
නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පත පරීක්ෂා කිරීමේදී එම කරුණු සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් සිදුකර ඇති බව සාලිය පීරිස් පවසයි.
“මෙම වෙනස්කම් ගැන හෝ ඒවා සිදුකිරීමට හේතු වූ කරුණු ගැන කමිටුව කිසිදු අවස්ථාවක දැනුවත් කළේ නැහැ.”
එම වෙනස්කම් සිදුකළේ කවුරුන්ද, කුමන පාර්ශ්වයක මැදිහත්වීමෙන්ද, නැතහොත් ඒවා සිදුකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවද කමිටු සාමාජිකයන් දැනුවත් කර නොමැති බව ඔහු සඳහන් කරයි.
සභාපතිට ලිපියකුත්
මේ සම්බන්ධයෙන් පියවර ගනිමින්, පනත් කෙටුම්පත කමිටු වාර්තාවෙන් වෙනස් වී ඇති ස්ථාන පැහැදිලි කරමින් තමන් කමිටුවේ සභාපතිවරයා වෙත ලිඛිතව කරුණු දක්වා ඇති බවද සාලිය පීරිස් පවසයි.
අදාළ කමිටුවට නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්යාංශය, පොලිසිය සහ ත්රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීන් මෙන්ම ජනාධිපති නීතිඥවරුන්, නීතිඥවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුද ඇතුළත් වී තිබේ.
සැකකරුවාට එරෙහිව කරුණු නැතත් රිමාන්ඩ්?
සාලිය පීරිස්ගේ ප්රධාන අනතුරු ඇඟවීම වන්නේ, පනත් කෙටුම්පත වත්මන් ආකාරයෙන් නීතියක් බවට පත්වුවහොත් දීර්ඝ කාලීන රඳවා තැබීමේ ක්රමවේදය නව නමක් යටතේ තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩ ඇති බවයි.
ඊටත් වඩා බරපතළ කරුණක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ PST නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවෙකුට එරෙහිව ප්රමාණවත් කරුණු නොමැති අවස්ථාවක පවා, ඔහු හෝ ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයෙකුට සිදුවිය හැකි තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමයි.
එවැනි නීතිමය තත්ත්වයක් නිර්මාණය වුවහොත්, PTA සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ මතු වූ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, දීර්ඝ රඳවා තැබීම් සහ බලතල අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ චෝදනා නැවත මතුවිය හැකි බව ඔහුගේ අදහසයි.
“PTA යටතේ සිදුවූ ආකාරයටම බලයේ සිටින දේශපාලනඥයන්, පොලිසිය සහ ආරක්ෂක බලධාරීන් විසින් PSTA අනිසි ලෙස භාවිත කිරීම වැළැක්විය නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇත.”
යනුවෙන් සාලිය පීරිස් අනතුරු අඟවා තිබේ.
ඒ අනුව PTA වෙනුවට නව නීතියක් ගෙන ඒමේදී නම පමණක් වෙනස් කිරීම වෙනුවට, රඳවා තැබීම, ඇප, අධිකරණ අධීක්ෂණය සහ විධායක බලතල සම්බන්ධයෙන් ප්රමාණවත් නීතිමය ආරක්ෂණ තිබේද යන්න පනත් කෙටුම්පත පිළිබඳ ඉදිරි විවාදයේ ප්රධාන ප්රශ්නයක් බවට පත්ව තිබේ.
