ලෝක බැංකුව අනුරගේ ජොකා ඔලුවෙන් ගලවයි! ආර්ථිකයට බරපතළ අනතුරු ඇඟවීමක්! GDP ඉහළ ගියත් ජනතාව තවමත් අර්බුදයෙන් ගොඩ ඇවිත් නෑ! උද්ධමනය 8%යි, වැටුප් 2019ටත් වඩා 12%ක් පහළයි, විදේශ ගිණුමත් යළි හිඟයක!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර තත්ත්වයට ළඟා වෙමින් වැදගත් සන්ධිස්ථානයක් ළඟා කරගෙන තිබුණත් මෙම ප්රකෘතිමත් වීම තවමත් අසම්පූර්ණ සහ අසමාන ස්වභාවයක් ගන්නා බව ලෝක බැංකුව අද (06) ප්රකාශයට පත් කළේය.Sri Lanka Development Update : From Recovery to Transformation යනුවෙන් නිකුත් කල වාර්තාවේ සදහන් කර ඇත්තේ ආර්ථික අර්බුදයෙන් පසු යළි පිබිදීම මන්දගාමී වීම සහ ඵලදායිතාව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් 2027 වර්ෂයේදී ආර්ථික වර්ධන වේගය සියයට 4.2 ක් දක්වා තවත් මන්දගාමී වනු ඇති බවයි.(සම්පූර්ණ වාර්තාව බලන්න)
සම්පූර්ණ වාර්තාවෙන් ලංකාවේ ආර්ථිකය පදනම් කරගත් කොටස් උපුටාගෙන ඇත.
ශ්රී ලංකාව 2022 දරුණු ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගෙන ඇතත්, එය තවමත් සම්පූර්ණ ආර්ථික ප්රකෘතියක් නොවන බවත්, සාමාන්ය ජනතාවගේ ජීවන තත්ත්වය අර්බුදයට පෙර පැවති මට්ටමට තවමත් පැමිණ නැති බවත් ලෝක බැංකුවේ නවතම Sri Lanka Development Update – October 2026: From Recovery to Transformation වාර්තාව පෙන්වා දෙයි. මෙම වාර්තාව 2026 සැප්තැම්බර් 25 දක්වා ප්රකාශිත දත්ත මත පදනම් වී ඇත.
වාර්තාව අනුව 2026 පළමු අර්ධයේ සැබෑ GDP වර්ධනය 4.7%ක් වුවද, එම වර්ධනය පිටුපස ඇති දුර්වලතා ගණනාවක් දැඩි අවධානයට ලක්ව තිබේ. GDP මට්ටම යළි 2018 මට්ටමට පැමිණ තිබුණද කාර්මික නිෂ්පාදනය සහ ආයෝජන තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළය. කෘෂිකාර්මික නිෂ්පාදනයද 2026 පළමු අර්ධයේ 0.6%කින් හැකිළී තිබේ. තේ නිෂ්පාදනය 3.3%කින්, රබර් නිෂ්පාදනය 4.7%කින් සහ මුහුදු මත්ස්ය නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇති බව වාර්තාව සඳහන් කරයි.
උද්ධමනය මාස පහකදී 2.2% සිට 8% දක්වා
ආර්ථිකයේ වඩාත්ම අවදානම් සංඥාවක් ලෙස ලෝක බැංකුව පෙන්වා දෙන්නේ මිල පීඩනය නැවත වේගයෙන් ඉහළ යාමයි. ප්රධාන උද්ධමනය 2026 මාර්තු මාසයේ 2.2% සිට අගෝස්තු වනවිට 8% දක්වා ඉහළ ගොස් තිබේ. එය මහ බැංකුවේ 5% ±2 ප්රතිශත ලක්ෂ්ය ඉලක්ක සීමාවද ඉක්මවා යාමකි.
ආහාර, ප්රවාහන, බලශක්ති හා ඉන්ධන මිල සහ රුපියලේ අවප්රමාණය මෙයට ප්රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ. මූලික උද්ධමනයද අගෝස්තුවේ 5.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා මහ බැංකුව ප්රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 100කින් 8.75% දක්වා ඉහළ දැමීමට සිදුව තිබේ.
ඩොලර් ගලා ඒමට වඩා පිටතට යන පීඩනය වැඩිවෙයි!
තවත් දැඩි අනතුරු ඇඟවීමක් ඇත්තේ ශ්රී ලංකාවේ විදේශ අංශය සම්බන්ධයෙනි. 2025 ජනවාරි–ජූලි කාලයේ ඩොලර් බිලියන 1.67ක ජංගම ගිණුම් අතිරික්තයක් පැවති නමුත්, 2026 එම කාලයේ එය ඩොලර් මිලියන 387ක හිඟයක් බවට හැරී තිබේ.
2026 මාර්තු සිට ජූලි දක්වා ආනයන 30.1%කින් ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේ පමණක් ඉන්ධන ආනයන වියදම වසරකට පෙරට සාපේක්ෂව 68%කින් ඉහළ ගොස් තිබේ. වාහන ආනයනයද දැඩි ලෙස ඉහළ ගොස් ඇත. ඒ අතර සේවා අපනයන 22.4%කින් පහළ ගොස් ඇති අතර සංචාරක ක්ෂේත්රයේ දුර්වලතාව එයට බලපා තිබේ.
රුපියලද ජූනි දක්වා කාලයේදී 8%ක පමණ අවප්රමාණයකට ලක්වී පසුව කොටසක් යථා තත්ත්වයට පැමිණ තිබේ. එනම්, 2022 අර්බුදයේ මූලික ගැටලුවක් වූ විදේශ විනිමය පිටතට ගලායාමේ පීඩනය යළි නොසලකා හැරිය නොහැකි මට්ටමකට පැමිණෙමින් ඇති බව වාර්තාවෙන් පෙනී යයි.
රජයේ ආදායමෙන් 46%ක් පොලී ගෙවන්න!
රජයේ බදු ආදායම ඉහළ ගොස් තිබුණද එහි තවත් අඳුරු පැත්තක් ලෝක බැංකුව හෙළි කරයි. 2025දී රජයේ සමස්ත ආදායමෙන් 46%ක් ණය පොලී ගෙවීමට වැය වී තිබේ. අර්බුදයේ උච්චතම අවධියේ තිබූ 80%කට ආසන්න මට්ටමෙන් එය පහළ ගොස් තිබුණද, තවමත් මෙය දැවැන්ත බරකි.
මධ්යම රජයේ ණය 2025 අවසානයේ GDP හි 91.6%ක් ලෙස පැවති අතර, ඉහළ ණය බර රජයට සංවර්ධන වියදම් වැඩි කිරීමට ඇති ඉඩ සීමා කරන බවද ලෝක බැංකුව කියයි.
සංවර්ධනයට වෙන් කළ මුදල් වියදම් කරන්නත් බැරිවෙලා
වඩාත් කැපී පෙනෙන දුර්වලතාවක් වන්නේ ප්රාග්ධන වියදම් ක්රියාත්මක කිරීමේ අසමත්කමයි. 2026 වසරේ මැද වනවිට සමස්ත ප්රාග්ධන අයවැයෙන් වැය කර තිබුණේ 16.7%ක් පමණි.
Cyclone Ditwah ප්රතිසංස්කරණ සඳහා වෙන් කළ රුපියල් බිලියන 500කින් මධ්ය වසර වනවිට නිකුත් කර තිබුණේ 8%ක් පමණි. ලෝක බැංකුව විශේෂයෙන් පෙන්වා දෙන්නේ මෙය මුදල් නොමැතිකම නිසා ඇති වූ තත්ත්වයක් නොව, ව්යාපෘති තෝරාගැනීම, ප්රසම්පාදනය සහ ක්රියාත්මක කිරීමේ රාජ්ය යාන්ත්රණයේ දුර්වලතා නිසා ඇති වූ තත්ත්වයක් බවයි.
ආර්ථිකය “හොඳයි” කිව්වත් ජනතාව තවමත් දුප්පත්
සාර්ව ආර්ථික දත්තවලින් පෙනෙන ප්රකෘතිය සහ ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය අතර විශාල පරතරයක්ද වාර්තාව හෙළි කරයි.
2025දී දුප්පත්කම 16.9%ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2023දී පැවති 20.7%ට වඩා අඩු වුවද, 2019දී පැවති 11.5%ට වඩා තවමත් බෙහෙවින් ඉහළය. වඩාත් බරපතළ කරුණ වන්නේ සැබෑ වැටුප් 2019 මට්ටමට වඩා 12%ක් පහළින් පැවතීමයි. ශ්රම බලකා සහභාගීත්වයද 2019ට වඩා ප්රතිශත ලක්ෂ්ය 3කින් පමණ අඩුය.
එමෙන්ම ළමා වර්ධන බාධා (child stunting) තවමත් ඉහළ මට්ටමක පැවතීම අර්බුදයේ බලපෑම දුප්පත් සහ අවදානමට ලක්වූ පවුල් අතර දිගුකාලීනව පැවතිය හැකි බවට අනතුරු අඟවන සංඥාවක් ලෙස වාර්තාව සඳහන් කරයි.
ආයෝජන නැත්නම් ඉදිරි වර්ධනයත් හිරවෙයි
ලෝක බැංකුවේ පුරෝකථනය අනුව 2026දී GDP වර්ධනය 4.4%ක්, 2027දී 4.2%ක් සහ 2028දී 4%ක් දක්වා ක්රමයෙන් මන්දගාමී විය හැකිය. 2026 උද්ධමනය වාර්ෂික සාමාන්යයක් ලෙස 5.7%ක් වනු ඇතැයිද අපේක්ෂා කරයි. IDU-b519d848-09f1-47d1-b782-337…
ඊටත් වඩා අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ විශාල ප්රතිසංස්කරණ සිදු නොවන්නේ නම් සෘජු විදේශ ආයෝජන GDP හි 1%කටත් අඩු මට්ටමක පවතිනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කිරීමයි.
පෞද්ගලික ආයෝජන හා ඵලදායිතාව දුර්වලව පැවතීම හේතුවෙන් හොඳ වැටුප් සහිත රැකියා නිර්මාණය කිරීමේ ආර්ථික හැකියාවද සීමා වී ඇති බව වාර්තාවේ තක්සේරුවයි.
“Recovery” තිබුණත් “ජනතාවගේ Recovery” තවම නෑ
ඒ අනුව ලෝක බැංකු වාර්තාවේ සංඛ්යා එකට තැබූ විට පෙනී යන්නේ ශ්රී ලංකාව 2022දී පැවති ආර්ථික කඩා වැටීමෙන් සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ලබාගෙන ඇතත්, එය තවමත් ජනතාවගේ ආදායම, රැකියා, ජීවන වියදම සහ ජීවන තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ ප්රකෘතියක් නොවන බවයි.
උද්ධමනය යළි 8% දක්වා ඉහළ යාම, ජංගම ගිණුම ඩොලර් මිලියන 387ක හිඟයකට හැරීම, ඉන්ධන ආනයන වියදම වේගයෙන් ඉහළ යාම, සැබෑ වැටුප් 2019ට වඩා 12%ක් පහළින් පැවතීම, දුප්පත්කම අර්බුදයට පෙර මට්ටමට නොපැමිණීම, රජයේ ආදායමෙන් 46%ක් පොලී සඳහා වැයවීම සහ සංවර්ධන අයවැය ක්රියාත්මක කිරීමේ දැඩි දුර්වලතාව යන කරුණු ඉදිරි ආර්ථික ගමනේ ප්රධාන අවදානම් සංඥා ලෙස මතුව තිබේ.
