ඥානසාර හිමිගේ සිවුර ගැලවීම දඬුවමේ කොටසක්ද? නැතිනම් සිංහල බෞද්ධයාට කල අපහාසයක්ද? “අපහාසයට අපහාසයක්! දතට දතක් – ඇසට ඇසක්!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ සිරදඬුවමේ ඉතිරි කාලය යළි ක්රියාත්මක වීමත් සමඟ, උන්වහන්සේ බන්ධනාගාරගත කිරීමේ සහ අධිකරණයට ඉදිරිපත් කිරීමේ ආකාරය පිළිබඳව ද දැඩි සංවාදයක් මතුවෙමින් තිබේ. මෙහි නීතිමය පැත්ත එක් කාරණයකි. එහෙත් දඬුවම ක්රියාත්මක කරන ආකාරය හරහා ඥානසාර හිමියන් සහ උන්වහන්සේ නියෝජනය කරන භික්ෂු අනන්යතාව ප්රසිද්ධියේ අවමානයට ලක් කිරීමට උත්සාහයක් සිදුවන්නේද යන්න වෙනම විමසා බැලිය යුතු ප්රශ්නයකි.
සිවුරට – සිවුරක් දෙන්න සටන 7 වැනිදා කොළඹ මහාධිකරණයෙන් ඇරඹෙයි
සිදුවීම් දාමය!
ඥානසාර හිමියන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ පසුබිම හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ සිදුවීම් දක්වා දිව යයි.අනතුරුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ ක්රියාමාර්ග අභියාචනාධිකරණය දක්වා ගිය අතර, අවසානයේ ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කෙරිණි.පසුව එවකට ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදෙන ලදී.එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් අධිකරණ ක්රියාමාර්ගයක් ගනු ලැබූ අතර, අවසානයේ ශ්රේෂ්ඨාධිකරණය එම සමාව නීතිමය වශයෙන් වලංගු නොවන බවට තීරණය කිරීමත් සමඟ පෙර නියම කර තිබූ දඬුවමේ ඉතිරි කොටස යළි ක්රියාත්මක කිරීමේ තත්ත්වය උද්ගත විය.මෙය නීතිමය සිදුවීම් දාමයයි.
එහෙත් දැන් ඇතිව තිබෙන ප්රශ්නය එතැනින් ඔබ්බට යයි.
“ජම්පරය” මාධ්යයට විවෘත කලේ ඇයි?
ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් පසු උන්වහන්සේට බන්ධනාගාර ඇඳුම් අන්දවා ඇති බවට පළවූ වාර්තා ඉතා වේගයෙන් මාධ්ය සහ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය විය.සිරදඬුවමකට ලක්වූ පුද්ගලයකු සම්බන්ධයෙන් බන්ධනාගාර නීති හා රෙගුලාසි ක්රියාත්මක කිරීම එක් කාරණයකි.එහෙත් එය ප්රදර්ශනාත්මක පුවතක් බවට පත්කර සමාජගත කිරීම අවශ්ය වූයේ ඇයි?
ඥානසාර හිමියන්ට අධිකරණය විසින් නියම කර තිබෙන්නේ සිරදඬුවමකි. එම දඬුවමට අමතරව සමාජය ඉදිරියේ උන්වහන්සේ අවමානයට ලක් කිරීම තවත් “අතිරේක දඬුවමක්” බවට පත්විය යුතුද?මෙය සාධාරණව ප්රශ්න කළ යුතු කරුණකි.
සිවුර ඉවත් කර අධිකරණයට ගෙන ඒම!
ඊටත් වඩා සංවේදී තත්ත්වයක් මතුවන්නේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමකින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනි.බෞද්ධ සමාජය තුළ සිවුර යනු සාමාන්ය ඇඳුමක් පමණක් නොවේ. එය භික්ෂුත්වය නියෝජනය කරන ආගමික සහ සංස්කෘතික සංකේතයකි.
එබැවින් සිරකරුවකු සම්බන්ධයෙන් ක්රියාත්මක වන බන්ධනාගාර නීති හා ආරක්ෂක ක්රමවේද කුමක් වුවත්, භික්ෂුවකගේ ආගමික අනන්යතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බලධාරීන්ට විශේෂ සංවේදීතාවක් තිබිය යුතුය.
ඥානසාර හිමියන් අධිකරණයට ගෙන ඒමේදී සිවුර වෙනුවට ගිහි ඇඳුමක් භාවිත කිරීම අනිවාර්ය කළ නිශ්චිත නීතිය, රෙගුලාසිය හෝ බන්ධනාගාර ක්රියාපටිපාටිය කුමක්ද යන්න බලධාරීන් විසින් පැහැදිලි කිරීම මෙහිදී වැදගත් වේ.එසේ නොමැති නම්, එම දර්ශනය හුදෙක් පරිපාලන ක්රියාවක් නොව ප්රදර්ශනාත්මක අවමානයක් ලෙස ඇතැම් බෞද්ධයන් විසින් කියවා ගැනීම වැළැක්විය නොහැක.
දඬුවම පුද්ගලයාටද — සිවුරටද?
මෙහි මූලික ප්රශ්නය ඉතා සරලය.අධිකරණයෙන් දඬුවම් කර තිබෙන්නේ ඥානසාර හිමියන් කළ බවට තීරණය කළ ක්රියාවකටය. එසේ නම් එම දඬුවම ක්රියාත්මක විය යුත්තේ නීතිය නියම කරන සීමාව තුළය.එය භික්ෂුත්වය, සිවුර හෝ සමස්ත බෞද්ධ සමාජයේ ආගමික සංවේදීතාව ඉලක්ක කරගත් අවමානයක් බවට පත් නොවිය යුතුය.
ඥානසාර හිමියන්ගේ දේශපාලනය, ප්රකාශ හෝ ක්රියාකාරකම් පිළිබඳව එකඟ හෝ විරුද්ධ විය හැකිය. එහෙත් එම මතභේදය නීතිය ක්රියාත්මක කිරීමේදී ආගමික ගෞරවය අහිමි කිරීමට බලපත්රයක් නොවේ.
“සංවිධානාත්මක ක්රියාදාමයක්ද?” — සාක්ෂි අවශ්ය චෝදනාවක්
මෙම සිදුවීම් පිටුපස ආණ්ඩුව, විනිසුරුවරුන් හෝ කිසියම් ආගමික කණ්ඩායමක් එක්ව ක්රියාත්මක කරන සැලසුමක් ඇතැයි ඇතැමුන් ඉදිරිපත් කරන අදහස් බරපතළ චෝදනා වේ.
ඥානසාර හිමියන්ට සිවුරෙන් අධිකරණයට පැමිණීමට අවසර නොදුන්නේ කුමන නීතියක් යටතේද?
එම තීරණය ගත්තේ කවුද?
එය සියලුම සිරගත භික්ෂූන්ට එකසේ ක්රියාත්මක වන ප්රතිපත්තියක්ද?
නැතිනම් මෙම සිද්ධියට පමණක් අදාළ තීරණයක්ද?
මෙම ප්රශ්නවලට නිල පිළිතුරු ලැබිය යුතුය.
නීතිය ක්රියාත්මක විය යුතුය — නමුත් අවමානය දඬුවමක් නොවිය යුතුය
නීතිය ඉදිරියේ භික්ෂුවක් වුවද, දේශපාලනඥයකු වුවද, සාමාන්ය පුරවැසියකු වුවද සමාන විය යුතුය.එහෙත් නීතිය ක්රියාත්මක කිරීම සහ පුද්ගලයකුගේ ආගමික අනන්යතාව ප්රසිද්ධියේ අවමානයට පත් කිරීම යනු එකම දෙයක් නොවේ.ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති සංවාදයේ හදවත ඇත්තේ එතැනයි.
අධිකරණය නියම කළ දඬුවම ක්රියාත්මක කරනවාද? නැතිනම් එම දඬුවමෙන් ඔබ්බට ගොස් ඥානසාර හිමියන්ගේ භික්ෂු අනන්යතාව සහ සිවුර සමාජය ඉදිරියේ අවමානයට ලක් කරනවාද?
එයට පිළිතුරක් ලබාදිය යුත්තේ බන්ධනාගාර බලධාරීන් සහ අදාළ රාජ්ය ආයතන විසිනි.මන්ද අවසානයේ ප්රශ්නය ඥානසාර හිමියන්ට පමණක් සීමා නොවන බැවිනි.
දඬුවම නීතියෙන් නියම කළ සීමාවෙන් අවසන් විය යුතුය. අපහාසයට තවත් අපහාසයක් එකතු කිරීම නීතියේ කාර්යයක් නොවේ.
කතෘ සටහනක්!
ඥානසාර හිමියන්ට දඩුවම් දඩුවම් දෙන්නේ කාගේ උවමනාවකටද යන්න පහදා ගත යුතුය.ඥානසාර හිමි මහඋළු ගෙදරට යවන්නේ එවකට හෝමාගම මහේස්ත්රාත් වරයාව සිටි දැන් විපක්ෂය මහඋළු ගෙදරට දක්කමින් සිටින අල්ස් කොමිසම් ලොක්කා වන රංග දිසානායක විසිනි.රංග දිසානායකගේ ඉල්ලීම පිට අධිකරනයට අපහාස කිරීමේ නඩුව විභාග කරනු ලැබුයේ එවකට අභියාචනාධිකරනයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරන ලද පාස්ටර් සුරසේන විසිනි.
පාස්ටර් සුරසේන විනිසුරු වරයා ඥානසාර හිමියන්ට උපරිම දඩුවම අව්රුදු 21 වසර හයකදී ගෙවීයන ලෙස දඩුවමක් නියම කරන ලද්දේය. සිර දඩුවම් නියම කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දුන්නේය.
ජනාධිපති සමාවට එරහිව ප්රගීත් එකනැලිගොඩගේ බිරිද මානවහිමිකම් නඩුවක් පැවරු අතර එම නඩුව විභාග කොට අවසාන තීන්දුව ප්රකාෂයට පත් කරන්නේ පාස්ටර් සූරසේන අගවිනිසුරු වරයා යටතේ ක්රියාත්මක වන ශ්රේෂ්ඨාධිකරන විනිසුරු මන්ඩලයක් යටතේය.
ඒ අනුව ශ්රේෂ්ඨාධිකරනය ජනාධිපති සමාව ඉවත් කොට නැවත ලබාදී තිබු සිරදඩුම සක්රිය කරන්නට යෙදුනේය. සැබෙවින්ම ශ්රේෂ්ඨාධිකරනය අතින් සිදුවුයේ වෙනකක් නොව මෛත්රීපාල සිරිසේන අතින් පාස්ටර්ට සිදුවුන මදි පුංචිකම සමනය කිරීමයි.දැන් දිග හැරමින් සිටින්නේ ආන්ඩුව හා පාස්ටර් සුරසේන ගේ එකතුවෙන් සිදුවන බෞද්ධයා රිදවීමේ ක්රියාදාමයයි. ඒ සදහා ඔවුන් පලමුව ක්රියා කලේ ඥානසාර හිමිට ජම්පරයක් ඇන්දවු පුවත ජනමාධ්ය හරහා සංසරනය කිරීමයි.
සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුව කුමක්ද?
ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාපික වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා නොමැති අතර ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බව කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ජ්යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, උන්වහන්සේට සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස ලෙසය.
අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව හෝ අධිකරණයේ උත්තරීතරභාවය පිළිබඳව කිසිදු විරෝධයක් නොදක්වන නමුත්, බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පළවන මාධ්ය වාර්තා පිළිබඳව සිය අවධානය යොමුව ඇති බවද මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටී.
ගලගොඩ අත්තේ ඤාණසාර ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙනි
ගලගොඩ අත්තේ ඤාණසාර ස්ථවිරයන් වහන්සේ මහා විහාර වංශික ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවකි. උන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව පිළිබඳව කිසිදු විරෝධයක් හෝ අදහසක් අප ඉදිරිපත් නොකරන්නෙමු. එමෙන්ම අධිකරණයේ උත්තරීතර භාවය පිළිබඳ ඉහළින්ම පිළිගන්නෙමු. ඒ අතර බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්ය වාර්තා දුටුවෙමි.
භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවටය. එය අප රටේ දැනට තහවුරු වී ඇති ක්රම වේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන්ම සිදුවිය යුතු ශාසනික කාර්යයකි.
ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවකම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබාදීම මෙතෙක් ශාසනිකව හා අධ්යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්රදායික නීතියකි. එමෙන්ම එය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයකි.
ගලගොඩ අත්තේ ඤාණසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතල හේතුවක් උන්වහන්සේ අයත් අප සංඝ සභාව වෙත වාර්තා වී නොමැත. එමෙන්ම ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම අප සංඝ සභාවට අයත් වගකීමකි.
එබැවින් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර පිටින්ම පෙනී සිටීමට උන්වහන්සේට අවස්ථාව ලබාදෙන ලෙසත් කරුණාවෙන් දන්වමි.
අග්ගමහා පණ්ඩිත සාහිත්ය චක්රවර්තී
විශ්රාමික ජ්යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක මහා ස්ථවිර
පිටපතඃ – 1. ගරු ජනාධිපති අනුර කුමාර දිසානයක මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ
- බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්, බුද්ධ ශාසන අමාත්යංශය, කොළම 07.

