ඉන්ධන මිල අර්බුදය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා දිග්ගැස්සෙයි! “ගෙදර ගියොත් පුංචි අම්මා නසී – මඟ සිටියොත් තෝ නසී” යලි ඉන්ධන මිළ ඉහලට?
ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන ප්‍රධාන විදේශීය සමාගම් වන Lanka IOC, Sinopec සහ RM Parks විසින් ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමට සාපේක්ෂව දේශීය සිල්ලර මිල සංශෝධනය කරන ලෙස රජයෙන් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් මෙතෙක් නොලැබීමත් සමඟ, එම ගැටලුව වාණිජ මට්ටම ඉක්මවා රාජ්‍යතාන්ත්‍රික සංවේදීතාවක් ඇති කරවන තත්ත්වයකට පත්වෙමින් ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉදිරි සතිය තුල නැවතත් තෙල් මිළ ඉහල දැමිමක් සිදුවිය හැකි බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.
කෙසේ වෙතත්, අදාළ සමාගම් නියෝජනය කරන රටවල් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා රජයට නිල විරෝධයක් හෝ ඉල්ලීමක් ඉදිරිපත් වෙමින් ඇති බවත් එම ඉල්ලිම් සහ විරෝධයන් නොතකා සිටිම හරහා මෙය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් දක්වා ගමන් කරමින් සිටි.
විදේශීය සමාගම් තුනෙන් මිල සංශෝධන ඉල්ලීම් — පාඩු පියවීමේ ගිවිසුම් වගන්තිත් කරළියට, සැපයුම සීමා කළොත් CPCයට තවත් පීඩනයක්!
සමාගම් කියන පාඩුව ලීටරයකට රු.192 දක්වා!
මෙම අර්බුදයේ මූලික හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල හා සැපයුම් වියදම් ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ සිල්ලර මිල එම ප්‍රමාණයෙන් සංශෝධනය නොවීමයි.
CPC සභාපති ඩී. ජේ. රාජකරුණා පසුගියදා අනාවරණය කළ දත්ත අනුව RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක් පාඩු ලබන බව දැනුම් දී තිබේන බවයි. Sinopec සමාගම දක්වා ඇති පාඩුව ඩීසල් ලීටරයකට රුපියල් 192ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 67කි. Lanka IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක් පාඩු ලබන බව දැනුම් දී තිබේන බව ඔහු සදහන් කළා.
මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් පෞද්ගලික ඉන්ධන සමාගම් වෙළෙඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය අඩු කර ඇති බව ද CPC සභාපතිවරයා ප්‍රකාශ කල අතර ඒ හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල ඇතිවූ සැපයුම් හිඟයටද පෞද්ගලික සමාගම් විසින් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය අඩු කිරීම එක් හේතුවක් බව ඔහු සඳහන් කළා.නමුත් මේ හරහා හටගෙන තිබේන රාජ්‍යතාන්ත්‍රික අර්බුදය සම්බන්ධයෙන් ඔහුට කිසිදු අවබෝධයක් නොමැති බව මාධ්‍ය හමුවේ දුන් පිළිතුරු වලින් මනාව පෙනෙන්නට විය.
ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් දැන් ප්‍රශ්නයක්!
මෙහි වඩාත් වැදගත් කරුණ වන්නේ විදේශීය ඉන්ධන සමාගම් සමඟ රජය අත්සන් කර ඇති ගිවිසුම්වල අන්තර්ගත කොන්දේසි බවද අනාවරණය වී තිබේ.CPC සභාපතිවරයාට අනුව, රජය විසින් නියම කරන මිලකට ඉන්ධන අලෙවි කිරීම හේතුවෙන් අදාළ සමාගම්වලට පාඩුවක් සිදුවන්නේ නම් එම පාඩුවට වන්දි ලබාදීම සම්බන්ධ විධිවිධාන එම ගිවිසුම්වල ඇතුළත්ය. ඒ අනුව මෙය සමාගම් ඉල්ලා සිටින සාමාන්‍ය මිල වැඩි කිරීමක් පමණක් නොව, රජය විසින් කලින් භාරගත් ගිවිසුම්ගත වගකීම් පිළිබඳ ප්‍රශ්නයක්ද බවට පත්ව තිබේ.
ඒ නිසා රජය ඉදිරියේ ප්‍රධාන විකල්ප දෙකක් පවතී. සමාගම්වලට පාඩු නොවන ආකාරයට මිල සංශෝධනය කිරීමට ඉඩදීම හෝ, පාරිභෝගිකයා මත සම්පූර්ණ මිල වැඩිවීම පැටවීම වැළැක්වීම සඳහා රජය විසින් සහනාධාරයක් ලබාදී අදාළ පාඩුවෙන් කොටසක් පියවීම ඒ විකල්ප වේ. මේ වනවිට මේම විකල්ප දෙකෙන් කුමක් තොරා ගන්නෙද යන්න රජය විසින් සාකච්ඡා කරමින් සිටින බව අනාවරණය කල අප වාර්තාකරු සදහන් කළේ IMF ගිවිසුමේ කොන්දේසි මත තව දුරටත් ආණ්ඩුවට “සහනාධාරයක්” සම්බන්ධයෙන් සිතිමටවත් අවස්ථාවක් නොමැති බවයි.
CPCත් තවමත් පාඩුවේ!
ප්‍රශ්නය තවත් බරපතළ කරන්නේ රාජ්‍ය ඉන්ධන සැපයුම්කරු වන CPC ද වත්මන් මිල යටතේ පාඩු ලබමින් සිටීමයි.ඔක්තෝබර් 2 දා පළවූ නවතම වාර්තාවකට අනුව CPC රජයේ සහනාධාරය හා මෑත මිල සංශෝධනය තිබියදීත් ඩීසල් ලීටරයකින් රුපියල් 66ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52ක් CPCයට පාඩු වන බවයි. ජාත්‍යන්තර වෙළෙඳපොළ අනුව ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 528ක් පමණ වන අතර එය මෙරට අලෙවි කරන්නේ රුපියල් 392කටය.
එමෙන්ම මීට පෙර ඩොලර් මිලියන 200කට අඩු මට්ටමක පැවති මාසික ඉන්ධන ආනයන බිල, ජාත්‍යන්තර මිල ඉහළ යාමත් සමඟ මැයි මාසයේදී ඩොලර් මිලියන 520ක් දක්වා ඉහළ ගිය බවද CPCය පිලිගෙන තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් තවත් පීඩනයක්!
ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ඇතිවන්නේ ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොළද දැඩි පීඩනයකට ලක්ව ඇති අවස්ථාවකය. ඔක්තෝබර් මාසය සඳහා චීන පිරිපහදු සමාගම් ඉන්ධන අපනයන සීමා කිරීම ආසියානු වෙළෙඳපොළේ සැපයුම තවත් තද කිරීමට හේතුවී ඇති බව Reuters වාර්තා කරයි.
ඉන්දියාවේද පාලිත සිල්ලර මිල සහ ඉහළ ජාත්‍යන්තර මිල අතර වෙනස හේතුවෙන් පෞද්ගලික ඉන්ධන අලෙවිකරුවන් සැපයුම සීමා කිරීමේ තත්ත්වයක් ඇතිවී තිබෙන අතර, එය නතර කරන ලෙස ඉන්දීය රජය සමාගම්වලට දැනුම් දීමට සූදානම් බව ඔක්තෝබර් 1 දා Reuters වාර්තා කළේය.
Lanka IOC සම්බන්ධයෙන්ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතාව වාණිජ ගනුදෙනුවකට පමණක් සීමා නොවන බව පසුගිය සිදුවීම් පෙන්වා දෙයි. 2026 මාර්තු මාසයේ මැදපෙරදිග සැපයුම් බිඳවැටීමේදී ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි.
Sinopec නිසා චීන සබඳතාවත් සංවේදීයි
මෙම ගැටලුවේ තවත් සංවේදී පැත්තක් වන්නේ Sinopec සමාගම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඉන්ධන අලෙවිකරුවෙකුට වඩා විශාල ආයෝජන සම්බන්ධතාවයක් ඇති චීන රාජ්‍ය ව්‍යාපාරයක් වීමයි.2025 ජනවාරි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන රාජ්‍ය සංචාරය අතරතුර Sinopec සමඟ හම්බන්තොට තෙල් පිරිපහදුවක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජන ගිවිසුමක් අත්සන් කළ බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි.
එම පසුබිම තුළ Sinopec සමඟ ඇති වාණිජ ගැටලු දිග්ගැස්සීම ශ්‍රී ලංකාව හා චීනය අතර පුළුල් ආයෝජන සබඳතාවලට සංවේදී කරුණක් විය හැකි නමුත්, මේ වනවිට චීන රජය මෙම මිල ගැටලුව සම්බන්ධයෙන් නිල රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් කර ඇති බවට ප්‍රසිද්ධ තහවුරු කිරීමක් නොමැත.
ඉදිරියේ තීරණාත්මක තේරීමක්
ඒ අනුව ආණ්ඩුව ඉදිරියේ දැන් ඇත්තේ පහසු තීරණයක් නොවේ.ඉන්ධන මිල සම්පූර්ණයෙන්ම පිරිවැයට ගැළපෙන ලෙස ඉහළ දැමුවහොත් එහි බලපෑම ප්‍රවාහන ගාස්තු, භාණ්ඩ මිල සහ සමස්ත ජීවන වියදම හරහා ජනතාවට පැමිණිය හැකිය. අනෙක් අතට මිල පාලනය දිගටම පවත්වාගෙන යන්නේ නම් පෞද්ගලික සමාගම්වල පාඩු පියවීමට රාජ්‍ය මුදල් වැය කිරීම හෝ ගිවිසුම්ගත වන්දි ගෙවීම පිළිබඳ ප්‍රශ්නය මතුවේ.
ඒ දෙකම නොකර පෞද්ගලික සමාගම්වලට අඛණ්ඩව පාඩු දරාගෙන ඉන්ධන අලෙවි කිරීමට සිදුවුවහොත්, ඔවුන් වෙළෙඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය තවදුරටත් සීමා කිරීමේ අවදානමක් පවතී. එවිට එම අඩුව පිරවීමේ පීඩනය CPC මත වැටිය හැකිය.
එබැවින් විදේශීය ඉන්ධන සමාගම්වල මිල සංශෝධන ඉල්ලීම දැන් මිල සූත්‍රයකට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොව, රජයේ ගිවිසුම්ගත වගකීම්, රාජ්‍ය මූල්‍ය බර, රටේ ඉන්ධන සැපයුම් ආරක්ෂාව සහ ප්‍රධාන විදේශ ආයෝජකයන් සමඟ ඇති සබඳතා එකවර සම්බන්ධ වන ගැටලුවක් බවට පත්ව තිබේ.
දැන් අනුරට සිදුව ඇත්තේ “ගෙදර ගියොත් තෝ නසී – මඟ සිටියොත් පුංචි අම්මා නසී වැඩකි …”
~පණ්ඩුක හේරත්~
