October 2, 2026

PTA වහාම අහෝසි කරනු! ත්‍රස්තවාදී වැරදි සාමාන්‍ය නීතිය යටතට ගන්න! ඇප දීමේ සැබෑ බලය විනිසුරුවරුන්ට දෙන්න!මානව හිමිකම් කොමිසම රජයට කියයි!

0
Sri Lankan Human Rights Justice Graphic

දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කර, ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි හැකි තාක් සාමාන්‍ය අපරාධ නීතිය සහ සාමාන්‍ය අපරාධ නඩු විධාන යටතේ හසුරුවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) රජයට ප්‍රබල නිර්දේශයක් ඉදිරිපත් කර තිබේ.

PTA වෙනුවට හඳුන්වාදීමට යෝජිත රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කරමින් කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලක්ෂ්මන් ටී. බී. දෙහිදෙණිය මහතා විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කර ඇති අතර එහි පිටපතක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතද යවා තිබේ.

PTA නීති පොතේ බරපතළ කැළලක්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මත පවතින බරපතළ කැළලක් බව මානව හිමිකම් කොමිෂන් සභාව සිය ස්ථාවරයෙන් අවධාරණය කරයි.

එම පනත සම්පූර්ණයෙන් අහෝසි කිරීමට වර්තමානය තරම් සුදුසු අවස්ථාවක් නොමැති බවද කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.

ත්‍රස්තවාදයට වෙනම මර්දනකාරී නීති අවශ්‍යද?

ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් විශේෂ හෝ අසාමාන්‍ය නීතිමය ක්‍රියාපටිපාටි භාවිත කිරීම වෙනුවට, ඒවා සාමාන්‍ය අපරාධ නීතිය සහ සාමාන්‍ය අපරාධ නඩු විධාන යටතේ හසුරුවන ලෙස HRCSL රජයට නිර්දේශ කරයි.

එමෙන්ම නව නීතියේ “ත්‍රස්තවාදී වරද” යන අර්ථ දැක්වීම ඉතා පුළුල් වුවහොත්, සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නොවන ක්‍රියාකාරකම් පවා එම නීතිය යටතට ගෙන ඒමේ අවදානමක් ඇති බැවින් එහි විෂය පථය සැලකිය යුතු ලෙස සීමා කළ යුතු බවද කොමිෂන් සභාව පෙන්වා දෙයි.

රැඳවුම් නියෝගවලට අධිකරණයේ ඇස

ත්‍රස්තවාදී වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයකුට එරෙහිව නිකුත් කරන ඕනෑම රැඳවුම් නියෝගයක් (Detention Order) අර්ථවත් අධිකරණ අධීක්ෂණයකට යටත් විය යුතු බව HRCSL අවධාරණය කර තිබේ.

එවැනි රැඳවුම් බලතල භාවිත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ආරක්ෂණ සහ මූලික අයිතිවාසිකම් තහවුරු කළ යුතු බවද එහි සඳහන් වේ.

ඇප ගැන තීරණය කරන්න විනිසුරුවරුන්ට සැබෑ බලයක්

ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන්ද මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ අවධානය යොමු කර ඇත.

සුදුසු අවස්ථාවල සැකකරුවකුට ඇප ලබාදිය යුතුද නැද්ද යන්න තීරණය කිරීමට විනිසුරුවරුන්ට සැබෑ සහ අර්ථවත් අභිමත බලයක් ලබාදිය යුතු බව එහි නිර්දේශයයි.

ප්‍රකාශයක් දෙන්න කලින් නීතිඥයකු හමුවීමේ අයිතිය

සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කිසියම් ප්‍රකාශයක් කිරීමට පෙර නීතිඥ උපදෙස් ලබාගැනීමට ප්‍රායෝගික හා අර්ථවත් අවස්ථාවක් ලබාදීමද අනිවාර්ය කළ යුතු බව HRCSL පෙන්වා දෙයි.

එය සැකකරුවන්ගේ නීතිමය ආරක්ෂාව සහ නිසි නීතිමය ක්‍රියාපටිපාටිය තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙස කොමිෂන් සභාව සලකයි.

මූලික අයිතිවාසිකම්වලට ගැළපෙන නීතියක් ඉල්ලයි

නව ත්‍රස්තවාදයට එරෙහි නීති රාමුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සමඟ සම්පූර්ණයෙන් අනුකූල විය යුතු බවද කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.

PTA යටතේ අත්තනෝමතික රඳවා තැබීම්, දීර්ඝ කාලීන රැඳවුම් සහ නිසි නීතිමය ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දේශීය සිවිල් සමාජ සංවිධාන, එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගුකාලීනව විවේචන ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව HRCSL හි ප්‍රධාන පණිවිඩය වන්නේ PTA වෙනුවට නම වෙනස් කළ තවත් පුළුල් විශේෂ නීතියක් ගෙන ඒමට වඩා, ත්‍රස්තවාදයට අදාළ වැරදි සාමාන්‍ය නීති පද්ධතිය තුළ හසුරුවමින් අධිකරණ අධීක්ෂණය, ඇප ලබාගැනීමේ අවස්ථාව සහ නීතිඥ සහාය ලබාගැනීමේ අයිතිය ශක්තිමත් කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed