අලුත් සෝලා පද්ධතිවල අතිරික්ත විදුලියට ගෙවීම් නවතී! ජනතාවගේ ලක්ෂ ගණන් ආයෝජනවලට මාලිමා ආණ්ඩුව කෙලවයි!
2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට රජය ඉලක්ක කර තිබියදී, වහල මත සූර්ය බලශක්ති පද්ධති සඳහා මෙතෙක් පැවති ප්‍රතිලාභ සීමා කිරීමට ගෙන ඇති නව තීරණ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ආයෝජකයන් සහ පාරිභෝගිකයන් අතර දැඩි අවධානයක් මතුව තිබේ.
බලශක්ති අමාත්‍යාංශයේ තීරණයකට අනුව, 2026 සැප්තැම්බර් 11 වැනිදා සිට ජාතික විදුලිබල පද්ධතියට අලුතින් සම්බන්ධ වන වහල මත සූර්ය බලශක්ති පද්ධති මගින් නිපදවන අතිරික්ත විදුලිය සඳහා මෙතෙක් පැවති Feed-in Tariff ගෙවීම් තවදුරටත් ලබා නොදෙන බව වාර්තා වේ.
එමෙන්ම නව rooftop solar සම්බන්ධතා සඳහා සාම්ප්‍රදායික Net Metering සහ Net Accounting ක්‍රම අත්හිටුවීමද කුඩා හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයන්ට බලපාන තීරණයක් බව බලශක්ති ක්ෂේත්‍රයේ පාර්ශ්ව පෙන්වා දෙති.
එක පැත්තකින් සෝලා නවත්වද්දී අනෙක් පැත්තෙන් ජලාශයට සෝලා!
මෙම තත්ත්වය මතුව ඇත්තේ ශ්‍රී ලංකාව මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඉදිරියට ගෙන යමින් සිටින පසුබිමකය.
දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය මත ඉදිකළ මෙගාවොට් 5ක ධාරිතාවයකින් යුත් “දියජනනි” පාවෙන සූර්ය බලාගාරය සැප්තැම්බර් 18 වැනිදා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබේ.ඒ අනුව මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන අතරතුර ගෘහස්ථ මට්ටමේ rooftop solar සඳහා පැවති දිරිගැන්වීම් සීමා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබේ.
විදුලි බිලෙන් බේරෙන්න සෝලා දැමූ අයට අලුත් ගැටලුවක්
පසුගිය කාලයේ විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ නිවාස හිමියන් සහ කුඩා ව්‍යාපාරිකයන් විශාල පිරිසක් තමන්ගේම මුදල් වැයකර වහල මත සූර්ය පද්ධති ස්ථාපනය කිරීමට පෙළඹී තිබුණි.එහි ප්‍රධාන ආකර්ෂණය වූයේ දිවා කාලයේ නිපදවන විදුලිය ජාතික පද්ධතියට ලබාදී, වෙනත් වේලාවක ජාලයෙන් ලබාගන්නා විදුලිය සමඟ එය ගණනය කර විදුලි බිල සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමේ හැකියාවයි.
බලශක්ති විශේෂඥයන් වන විරාජ් රත්නායක සහ සම්පත් අල්විස් පෙන්වා දෙන්නේ Net Metering ක්‍රමය යටතේ නිවසක් දිවා කාලයේ නිපදවන විදුලිය, රාත්‍රී කාලයේ එම නිවස පරිභෝජනය කරන විදුලිය සමඟ ගණනය කළ හැකි වූ බවයි.
එහෙත් එම ක්‍රමය ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) පාඩු ඇති කරන බව පෙන්වා දෙමින් නව සම්බන්ධතා සඳහා එය අත්හිටුවීමට පියවර ගෙන ඇත.Net Plus ක්‍රමය යටතේ සිදුවන්නේ නිවසේ සවි කළ සූර්ය පැනල මගින් නිපදවන විදුලිය සඳහා නියමිත ගෙවීමක් ලබාදීමයි.
“සෑම ගෙදරකටම 5kW දුන්නොත් 25,000 MW”
පුනර්ජනනීය බලශක්ති සහ බලශක්ති සැලසුම් විශේෂඥ විදුලි ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන පෙන්වා දෙන්නේ, සෑම නිවසකම කිලෝවොට් 5ක පමණ සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමට හැකි වුවහොත් මෙගාවොට් 25,000ක පමණ සමස්ත ධාරිතාවක් නිර්මාණය කළ හැකි බවයි.
එමගින් වසරකට ගිගාවොට් පැය 35,000කට වැඩි විදුලියක් නිපදවිය හැකි බවත්, එය වර්තමාන නිෂ්පාදනය මෙන් තුන් ගුණයක පමණ ප්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දෙයි.එහෙත් මෙතරම් විශාල සූර්ය බලශක්ති ධාරිතාවක් විදුලි පද්ධතියට ඒකාබද්ධ කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය සහ බලශක්ති ගබඩා කිරීමේ පද්ධති තවමත් සම්පූර්ණ කර නොමැති බවද සඳහන් වේ.
මාසයකට ඒකක 180ක්වත් Net Metering දෙන්න
හිටපු CEB ඉංජිනේරු නාමල් සුබසිංහ යෝජනා කරන්නේ Net Plus ක්‍රමයට අමතරව සීමිත විදුලි ඒකක ප්‍රමාණයක් Net Metering හෝ Net Accounting යටතේ ලබාදීමට බලධාරීන් අවසර දිය යුතු බවයි.දිනකට ඒකක හයක පමණ තිරසාර විදුලි පරිභෝජනයක් සඳහා මාසයකට ඒකක 180ක පමණ සීමාවක් එලෙස ලබාදිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
දැනට පවතින ක්‍රමය අනුව පරිභෝජන ධාරිතාව කිලෝවොට් 5ක් නම් විදුලි උත්පාදන ධාරිතාවද ඒ අනුව සීමා වේ.
තනි-අදියර සම්බන්ධතා සඳහා කිලෝවොට් 5 හෝ 10 දක්වාත්, තෙකලා සම්බන්ධතා සඳහා කිලෝවොට් 20 දක්වාත් අවස්ථාව පවතින බව සඳහන් වේ. කිලෝවොට් 10ට වැඩි සහ 40ට අඩු නිෂ්පාදනය සඳහා ඒකකයකට රුපියල් 19.50ක ගෙවීමක් සිදුකරන බවද වාර්තාවේ සඳහන්ය.
රුපියල් මිලියනයක් දාලා මුදල ආපසු ගන්න වසර 10ක්?
වහල මත සූර්ය පද්ධති හිමියන් වන කමල් හපුතන්ත්‍රි, සුරේන් සින්නතම්බි සහ රමීෂා මොහොමඩ් පෙන්වා දෙන්නේ “විදුලි බිල ශුන්‍ය කරගත හැකි” බවට වූ අපේක්ෂාව ජනතාව rooftop solar වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වූ බවයි.
සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියනයක පමණ මුදලක් වැයවන අතර, කිලෝවොට් 5ක පද්ධතියකින් මාසයකට රුපියල් 12,000ක පමණ ආදායමක් ලැබෙන්නේ නම් වාර්ෂික ආදායම රුපියල් 140,000කට ආසන්න වේ.ඒ අනුව ආරම්භක ආයෝජනය නැවත උපයා ගැනීමට වසර 10කට ආසන්න කාලයක් ගතවිය හැකි බව ඔවුන්ගේ තක්සේරුවයි.
එම තත්ත්වය හමුවේ වහල මත සූර්ය බලශක්තියට ජනතාව තවදුරටත් දිරිමත් කිරීමට අවශ්‍ය නම්, සූර්ය පද්ධති ස්ථාපනය සඳහා පොලී රහිත ණය පහසුකම් ලබාදීම ඇතුළු විකල්ප දිරිගැන්වීම් හඳුන්වාදිය යුතු බව එම ක්ෂේත්‍රයේ පාර්ශ්ව යෝජනා කරති.
2030 වන විට සියයට 70ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා යාමට උත්සාහ කරන ශ්‍රී ලංකාවට, මහා පරිමාණ සූර්ය බලාගාර පමණක් නොව ගෘහස්ථ rooftop solar නිෂ්පාදකයන් ද එම බලශක්ති සංක්‍රාන්තියේ කොටස්කරුවන් ලෙස රඳවා ගැනීමේ අභියෝගය මේ සමඟ ඉදිරියට පැමිණ තිබේ.
