October 3, 2026

NGO පනතට එක්සත් ජාතීන්ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්! “සිවිල් සමාජය පාලනයට සහ විවේචනාත්මක හඬ නිහඬ කිරීමට ඉඩක්” පනත පුළුල් ලෙස සංශෝධනය කරනු!

0
NGO

ශ්‍රී ලංකා රජය හඳුන්වාදීමට සූදානම් වන රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත් කෙටුම්පත – 2026 ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ සහතික කර ඇති සංගම් නිදහසට නොගැළපෙන විධිවිධාන ඇතුළත් කරන බවට එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් සිව්දෙනෙකු ශ්‍රී ලංකා රජයට බරපතළ අවධානය යොමු කර තිබේ.

OL LKA 5/2026 යන යොමු අංකය යටතේ 2026 සැප්තැම්බර් 28 දින නිකුත් කර ඇති එම නිල සන්නිවේදනයෙන්, අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන සංගම් නිදහස පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට මෙන්ම ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සඳහා පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන්ටද නොගැළපෙන බවට කනස්සල්ල පළ කර තිබේ.

Mandates of the Special Rapporteur on the promotion and protection of human rights and fundamental freedoms while countering terrorism; the Special Rapporteur on the promotion and protection of the right to freedom of opinion and expression; the Special Rapporteur on the rights to freedom of peaceful assembly and of association and the Special Rapporteur on the situation of human rights defenders

මෙම ලිපියට ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග අතරතුර මානව හිමිකම් හා මූලික නිදහස ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු Ben Saul, අදහස් හා ප්‍රකාශන නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු Leopoldo Maldonado Gutiérrez, සාමකාමී රැස්වීම් සහ සංගම් නිදහස පිළිබඳ විශේෂ වාර්තාකාරිනී Gina Romero සහ මානව හිමිකම් ආරක්ෂකයන් පිළිබඳ විශේෂ වාර්තාකාරිනී Andrea Bolaños Vargas අත්සන් තබා ඇත.

ලියාපදිංචි නොවුණොත් වරදක්!

යෝජිත පනත යටතේ සියලුම NGO සංවිධාන අදාළ බලධාරියා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, ලියාපදිංචි නොවී සිටීම අපරාධමය වරදක් බවට පත් කිරීමට යෝජනා කර තිබේ. ලියාපදිංචි සහතිකයක් වලංගු වන්නේ වසර තුනකට පමණක් වන අතර එය නැවත අලුත් කළ යුතුය.

එමෙන්ම ලියාපදිංචිය හෝ එය අලුත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට බලධාරියාට නියමිත උපරිම කාලයක් පනතෙන් දක්වා නොමැති අතර, ලියාපදිංචිය ලැබෙන තුරු සංවිධානයකට සිය කටයුතු ආරම්භ කිරීමටද නොහැකි බව එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන් පෙන්වා දෙයි.

“රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල විය යුතුයි”

විශේෂයෙන් අවධානයට ලක්ව ඇත්තේ NGO සංවිධාන “රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල විය යුතුය” යන පනත් කෙටුම්පතේ විධිවිධානයයි.

රටේ ස්වෛරීභාවයට හෝ භෞමික අඛණ්ඩතාවට අහිතකර ක්‍රියාකාරකම්වල නිරත නොවීම, මහජන ආරක්ෂාවට හා මහජන අවශ්‍යතාවලට බලපාන මහජන කැළඹීම් ඇති නොකිරීම සහ මැතිවරණ සමයක NGO සම්පත් යොදාගෙන දේශපාලන මතවාද සඳහා සහාය දැක්වීම සීමා කිරීම ඇතුළු කොන්දේසි ගණනාවක්ද යෝජිත පනතට ඇතුළත්ය.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන්ගේ මතය වන්නේ NGO සංවිධාන රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල විය යුතු බවට පනවා ඇති කොන්දේසිය මගින් විකල්ප මත, සුළුතර මත සහ නව ප්‍රවේශ ඉදිරිපත් කිරීම සීමා වීමේ අවදානමක් ඇති බවයි. එය රජයට විරුද්ධ හෝ විවේචනාත්මක අදහස් ප්‍රකාශ කිරීම අධෛර්යමත් කරන තත්ත්වයක් ඇති කළ හැකි බවද ඔවුන් සඳහන් කර තිබේ.

වරෙන්තුවක් නැතිව NGO කාර්යාලවලට ඇතුළු වීමේ බලය!

පනත් කෙටුම්පතේ තවත් දැඩි අවධානයට ලක්ව ඇති කරුණක් වන්නේ අදාළ බලධාරියාට NGO ආයතනයක පරිශ්‍රයකට සෝදිසි වරෙන්තුවක් නොමැතිව, පෙර දැනුම්දීමකින් පසු ඇතුළු වී තොරතුරු සහ ලේඛන පරීක්ෂා කිරීමට සහ ඒවායේ පිටපත් ලබාගැනීමට යෝජිත බලතලය.

සේවක තොරතුරු, මුදල් ගලායාම් සහ ගිණුම් තොරතුරු ලබාගැනීමට මෙන්ම ඇතැම් NGO රැස්වීම්වලට සහභාගි වීමටද බලධාරියාට හැකියාව ලැබෙන විධිවිධාන කෙටුම්පතේ සඳහන් වේ.

මෙවැනි බලතල NGO සංවිධානවල ස්වාධීනත්වයට අසාධාරණ මැදිහත්වීමක් බවට පත්විය හැකි බවත්, අත්තනෝමතික සෝදිසි කිරීම්, නිරීක්ෂණය සහ අධික පරිපාලන පාලනයෙන් සිවිල් සමාජ සංවිධාන ආරක්ෂා විය යුතු බවත් විශේෂ වාර්තාකරුවන් අවධාරණය කර ඇත.

රුපියල් මිලියනයක් දක්වා දඩ!

ලියාපදිංචි නොවීම, අවශ්‍ය තොරතුරු ලබා නොදීම හෝ පනතේ හෝ ඒ යටතේ සකස් කරන රෙගුලාසිවල විධිවිධාන කඩ කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිය හැකි වැරදි ගණනාවක්ද යෝජනා කර තිබේ.

ලියාපදිංචි නොවීම වෙනුවෙන් රුපියල් මිලියනයක් දක්වා දඩයක් නියම කළ හැකි අතර, ලියාපදිංචිය ප්‍රතික්ෂේප කළහොත් ඊට එරෙහිව අභියාචනා කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක්ද පනත් කෙටුම්පතේ නොමැති බව එක්සත් ජාතීන්ගේ ලිපිය පෙන්වා දෙයි.

කුඩා සිවිල් සංවිධානත් පාලන ජාලයට?

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ යෝජිත අර්ථ දැක්වීම් ඉතා පුළුල් බැවින් සාමාන්‍ය NGO ආයතන පමණක් නොව, අවිධිමත් ප්‍රජා කණ්ඩායම්, ස්වේච්ඡා ජාල සහ තාවකාලිකව ගොඩනැගෙන advocacy කණ්ඩායම් පවා මෙම නියාමන ක්‍රමයට යටත් විය හැකි බවයි.

විශාල NGO ආයතනයක් සහ කුඩා බිම් මට්ටමේ සංවිධානයක් අතර වෙනසක් නොකර එකම නියාමන බර පැටවීමෙන් කුඩා සංවිධාන සහ සුළුතර හෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් නියෝජනය කරන සංවිධාන අසමානුපාතික ලෙස බලපෑමට ලක්විය හැකි බවද ඔවුන්ගේ විග්‍රහයයි.

ත්‍රස්තවාදී මූල්‍යකරණය නමින් සියලු NGO එකම දැලකට?

රජය මෙම නියාමන ක්‍රමය ත්‍රස්තවාදී මූල්‍යකරණය හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ සම්බන්ධ කර තිබුණද, සියලු NGO ආයතන එකසේ දැඩි නියාමනයකට ලක් කිරීම FATF හි අවදානම් මත පදනම් වූ ප්‍රවේශයට නොගැළපෙන බවද ලිපියේ සඳහන් වේ.

2026 ජනවාරි ශ්‍රී ලංකා ජාතික අවදානම් ඇගයීමේදී NGO ක්ෂේත්‍රයේ මූලික අවදානම සංවිධාන වර්ගය අනුව අඩු සිට මධ්‍යම මට්ටම දක්වා බව හඳුනාගෙන ඇති අතර, NGO හරහා සිදු වූ බව තහවුරු වූ ත්‍රස්තවාදී මූල්‍යකරණය පිළිබඳ සාක්ෂි සීමිත බවද එක්සත් ජාතීන්ගේ ලිපිය උපුටා දක්වයි. FATF ප්‍රමිතීන් අනුව බොහෝ NGO සංවිධාන ත්‍රස්තවාදී මූල්‍යකරණ අවදානමක් නොදරන බවත්, නියාමනය අවදානමට ගැළපෙන ආකාරයෙන් ඉලක්කගත විය යුතු බවත් එහි සඳහන්ය.

රජයට ප්‍රශ්න හතරක්!

මෙම පසුබිම යටතේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් ශ්‍රී ලංකා රජයෙන් ප්‍රධාන කරුණු හතරක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

ඒ අතර පනත් කෙටුම්පත සංගම් නිදහස සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී මූල්‍යකරණ විරෝධී ප්‍රමිතීන්ට අනුකූල වන්නේ කෙසේද යන්නත්, පනත ඉදිරියට නොගෙන යන්නේද නැතිනම් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන ලෙස පුළුල් සංශෝධනයකට ලක් කරන්නේද යන්නත් පැහැදිලි කරන ලෙස ඉල්ලා ඇත.

එමෙන්ම පනත් කෙටුම්පත ගැසට් කර හෝ වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ කර විවෘත, නියෝජිත සහ සියලු පාර්ශ්ව ඇතුළත් මහජන උපදේශන ක්‍රියාවලියකට අවස්ථාව ලබාදෙන්නේද යන්න රජයෙන් විමසා තිබේ.

ඒ අනුව, 1980 ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත වෙනුවට ගෙන ඒමට නියමිත මෙම නව NGO නීතිය සම්බන්ධයෙන් ඇති විවාදය දැන් දේශීය නියාමන ප්‍රශ්නයකින් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ සංගම් නිදහස, සිවිල් සමාජයේ ස්වාධීනත්වය, පෞද්ගලිකත්වය සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට ක්‍රියාත්මක වීමට ඇති අවකාශය පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed