October 2, 2026

“රොබින් හුඩ්ලා වගේ බලයට ඇවිත් දැන් නොටින්හෑම් ෂෙරිෆ් වෙලා” ජඩ බදු විරෝධී පාගමන හෙට කොළඹට!

0
Robin Hood to Tax Collector_ Protest Press Composite

වත්මන් ආණ්ඩුව යටතේ සාමාන්‍ය ජනතාව මත පටවා ඇති බව කියන අධික බදු බරට එරෙහිව “ජඩ බදු විරෝධී කොළඹ පාගමන” නමින් දැවැන්ත විරෝධතා පාගමනක් හෙට (03) දහවල් 12.00ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ කරන බව ජන අරගල ව්‍යාපාරය පවසයි.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (02) පෙරවරුවේ නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවකදී ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මේ බව ප්‍රකාශ කළේය.රටේ සාමාන්‍ය ජනතාව බරපතළ බදු පීඩනයකට මුහුණදී සිටියද, ආණ්ඩුව මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයද එම ගැටලුව ප්‍රමාණවත් ලෙස ඉදිරියට නොගන්නා බවට ඔහු චෝදනා කළේය.විපක්ෂය ජනතාවගේ ජීවන වියදම සහ බදු බර වැනි ගැටලු මැතිවරණ සමයේදී පමණක් දේශපාලන සටන්පාඨ බවට පත්කර ගන්නා බවටද මුදලිගේ චෝදනා කළේය.

“දරුවන්ගේ පොතට පෑනට ගහපු බදු ඉවත් කරනවා කිව්වා”

ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටියදී අධ්‍යාපන උපකරණ මත පනවා තිබූ බදු දැඩි ලෙස විවේචනය කළ බව සිහිපත් කළ මුදලිගේ, බලයට පැමිණි පසු එම බදු ඉවත් කරන බවට දුන් පොරොන්දු ඉටුකර නොමැති බවට චෝදනා කළේය.පෑන, පැන්සල ඇතුළු පාසල් උපකරණවල සිට දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ අනෙකුත් වියදම් දක්වා පවුල්වලට දැරීමට සිදුවන බර ඉහළ ගොස් ඇති බවත්, එය සාමාන්‍ය පවුල්වල ජීවන තත්ත්වයට සෘජුව බලපාන බවත් ඔහු පැවසීය.

ආහාර බදු ගැනත් චෝදනා!

ජනතාවගේ ආහාර වේලට අත්‍යවශ්‍ය භාණ්ඩ මතද සැලකිය යුතු බදු බරක් පවතින බව මුදලිගේ පැවසීය.හාල්මැස්සන් කිලෝවකට රුපියල් 100ක්, කුකුල් මස් කිලෝවකට රුපියල් 310ක් සහ බිත්තරයකට රුපියල් 11ක් පමණ බදු ලෙස බලපාන බව ඔහු කියා සිටියේය.

මෙවැනි තත්ත්වයක් යටතේ අඩු හා මධ්‍යම ආදායම් ලබන පවුල්වලට දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබාදීම පවා අභියෝගයක් වී ඇති බව ඔහුගේ චෝදනාවයි.

“රොබින් හුඩ්ලා වගේ ආවා — දැන් ෂෙරිෆ්ගේ භූමිකාව රඟපානවා”

ආණ්ඩුවේ වත්මන් බදු ප්‍රතිපත්තිය විවේචනය කිරීම සඳහා මුදලිගේ “රොබින් හුඩ්” කතාවද උදාහරණයකට ගත්තේය.බලයට පැමිණීමට පෙර වත්මන් පාලකයන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින “රොබින් හුඩ්ලා” මෙන් හැසිරුණද, බලයට පැමිණීමෙන් පසු ජනතාව මත බදු පටවන “නොටින්හෑම් ෂෙරිෆ්ගේ” භූමිකාවට මාරුවී ඇති බව ඔහු පැවසීය.

සාමාන්‍ය ජනතාව බදු ගෙවීමට විරුද්ධ නොවන නමුත්, එම බදු බර ඔවුන්ගේ මූලික ජීවන අවශ්‍යතා පවා සපුරාගත නොහැකි මට්ටමකට පත් නොකළ යුතු බවද ඔහු අවධාරණය කළේය.ත්‍රිරෝද රථයක් ධාවනය කර උපයන මුදලින් දරුවෙකුට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට නොහැකි නම් හෝ ගොවියෙකුට සිය අස්වැන්න විකුණා ලැබෙන ආදායමෙන් මූලික ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අපහසු නම්, එය බරපතළ සමාජ ප්‍රශ්නයක් බව ඔහු සඳහන් කළේය.

ධනවතුන්ට සහන — සාමාන්‍ය ජනතාවට බදු!

සාමාන්‍ය ජනතාව මත බදු බර වැඩි කරන අතරම ධනවත් පාර්ශ්ව සහ මූල්‍ය වත්කම් හිමියන්ට වාසිදායක ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වන බවටද මුදලිගේ චෝදනා කළේය.ආණ්ඩුව, විපක්ෂය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික වැඩපිළිවෙළ අතර මූලික වෙනසක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරි අයවැය හරහා ජනතාව මත තවත් ආර්ථික පීඩනයක් එල්ල විය හැකි බවට චෝදනා කළ මුදලිගේ, එයට මුහුණදීම සඳහා ජනතාව සංවිධානය විය යුතු බව පැවසීය.

“මහපාරේ අරගලය හැර ජනතාවට වෙන විසඳුමක් නැහැ” යනුවෙන් සඳහන් කළ ඔහු, ඔක්තෝබර් 03 දින දහවල් 12.00ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ කිරීමට නියමිත “ජඩ බදු විරෝධී කොළඹ පාගමන” සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ ස්ථාවරය පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed