ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත කෙරෙන හදිසි අනතුරු ඇඟවීමකි!
අනුර දිසානායක ජනාධිපතිවරයා අත්තනෝමතිකව ඉදිරියට දැමූ 22 වන සංශෝධනය හොර පාරෙන් සම්මත කර ගැනීමත් සමගම අපගේ මාතෘභූමිය කිසිදා අත් නොදුටු ද්විත්ව ව්‍යසනයකට තල්ලු වෙමින් පවතින බව දිනන දකුණ සාමූහිකය පුරවැසියන්ට අනතුරු අගවා සිටී. එම සාමුහිකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ පැලවත්තේ මුල්ලා වරුන්ට රාජ්‍ය බලය අත්පත් කරගැනීම සදහා පහසු ඉඩක් එමගින් විවර කොට ඇති බවයි.
මාධ්‍ය නිවේදනය.
2026-09-02
ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත කෙරෙන හදිසි අනතුරු ඇඟවීමකි.
අන්තරායට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා ජනරජය අනුර කුමාර ජනාධිපති වරයා අධිකරණයේ සහාය සහිතව 22 වන සංශෝධනය සම්මත කර ගැනීමට පවතින සියළු නෛතික හා දේශපාලනික කඩුළු තරනය කරමින් සිටින බව පෙනී යන්නේය.
අප සාමූහිකය අනතුරු හගවන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම හරහා දැනටමත් මුහුණ දෙමින් සිටින ආර්ථික පීඩනයට අමතරව පැලවත්තේ මුල්ලා වරුන්ට රාජ්‍ය බලය අත්පත් කරගැනීම සදහා පහසු ඉඩක් එමගින් විවර කොට දී තිබෙන බවය.
ඉදිරි වසර තුල ශ්‍රී ලාංකික සමාජය විසින් මුහුණ දෙනු ලබන බලවත්ම දේශපාලනික අභියෝගය වනු ඇත්තේ පැලවත්තේ මුල්ලා වරුන්ගෙ රාජ්‍ය ආක්‍රමණයයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අත්තනෝමතිකව ඉදිරියට දැමූ 22 වන සංශෝධනය හොර පාරෙන් සම්මත කර ගැනීමත් සමගම අපගේ මාතෘභූමිය කිසිදා අත් නොදුටු ද්විත්ව ව්‍යසනයකට තල්ලු වෙමින් පවතින බව අප සාමූහිකය පුරවැසියන්ට අනතුරු අගවා සිටී.
මාලිමා ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික කළමනාකරනය නිසා දැඩි ආර්ථික පසුබෑම , ගෘහස්ථ ආදායම් පහත වැටීම සහ මිලදී ගැනීමේ හැකියාව හීන වීම හමුවේ රටේ සාමාන්‍ය ජනතාව දැඩි ජීවත්වීමේ අරගලයක යෙදී සිටින අතරතුර, මාලිමා ආණ්ඩුව විසින් 22 සම්මත කරගැනීම හරහා පුරවැසි පරමාධිපත්‍යය සුරැකීම සඳහා පවතින අවසාන ආයතනික ආරක්ෂක විධිවිධානයන්ද ක්‍රමානුකූලව අහෝසි කරමින් සිටී.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් කැඳවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම හරහා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් එය සම්මත කරගැනීමට මඟ පෑදී ඇත.මෙම ප්‍රවණතාවය අපට සිහිපත් කරන්නේ 18 වන සහ 20 වන සංශෝධන යටතේ පසුගිය පාලන තන්ත්‍රයන් විසින් ක්‍රියාවට නැංවීමට උත්සාහ දැරූ භයානක දේශපාලන අධිපතිවාදී උපායමාර්ගයමය.
ජීවන වියදම ඉහළ යාම සහ සැබෑ ආදායම් පහත වැටීම හමුවේ පුරවැසියන්ගේ පැවැත්ම දැඩි තර්ජනයකට ලක්ව තිබෙන පසුබිමක ජනතා විරෝධී ආර්ථික ප්‍රතිපත්ති සහ හිතුවක්කාරී විධායක නියෝගයන්ට අභියෝග කිරීම සඳහා ජනතාවට ස්වාධීන අධිකරණයක පැවැත්ම අවශ්‍යම මොහොතක, වගවීම තහවුරු කෙරෙන නීතිමය සහ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කරලීම සදහා ඉහල අධිකරණයන්හි පිහිට පැතීමට ඇති කඩ අහුරා දමමින් තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතූමනාපයේ වෙනස් කරමින් විනිසුරු වරුන්ගේ ධූර කාලය ඉහල දැමීම හරහා දේශපාලන අධිකාරියට අධිකරණයන්ට වක්‍ර බලපෑම් කිරීමේ හැකියාව ඉහල දමා ගෙන තිබේ.එසේ සිදුකරනු ලබන ව්‍යුහාත්මක බලපෑම යනු රාජ්‍යයේ බලය බෙදීමේ න්‍යායයේ සිදුවන බිඳවැටීමයි.
සර්වබලධාරී විධායකයට ගැති වූ අධිකරණයක් හමුවේ, රාජ්‍යයේ අත්තනෝමතික මැදිහත්වීම්වලට එරෙහිව ජනතාව සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත තත්ත්වයකට පත්වනු ඇත.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හරහා බලය කේන්ද්‍රගත කරගැනීම මඟින් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන් සහ බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තර්ජනයට ලක්වනු ඇත.ආර්ථික පීඩනයට එරෙහිව හඬ නැගීමට සහ සාමකාමීව සංවිධානය වීමට ඇති අයිතිය ක්‍රමානුකූලව අහිමි වනු ඇත.
රටේ ස්ථාවරත්වය හා හොරුන්ට තිත තැබීමේ නාමයෙන් එක් පක්ෂයක ආධිපත්‍යය තහවුරු කර ගැනීමට 22 වන ව්‍යවස්ථා සංශෝධනය මග පාදනු ඇත. එමගින් ජනතා පීඩනය තවදුරටත් තීව්‍ර කරනු ඇත. ඒතුලින් ඉදිරියට පුළුල් සමාජ-ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය කරන බව ‘දිනන දකුණ සාමූහිකය’ අවධාරණය කරයි.
දේශපාලන ප්‍රලාපවලින් ඔබ්බට ගොස් රාජ්‍ය ආයතනයන්හි ස්වාධීනත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින ලෙසත්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් ඛාදනය වීමට එරෙහි වන ලෙසත් අපි නීතිඥ ප්‍රජාව, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.
