විජිතගේ පත්කිරිම, අනුර ඉවත් කරයි! කෝටි 20 කට ගේමකුත් දිලා!
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ (Eng.) ටී. කේ. ජී. එල්. ගණක හේමචන්ද්‍ර එම තනතුරෙන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක තීරණය කර තිබේ.වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, එවකට වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා විසින් 2024 ඔක්තෝබර් 02 වන දින ගණක හේමචන්ද්‍ර මහතා මෙම තනතුර සඳහා පත් කරන ලදී.
අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරන ලද නිල ලිපිය මගින් මෙම දැනුම් දීම සිදු කර ඇති අතර, ගණක හේමචන්ද්‍ර මහතා නැවතත් ඔහු මීට පෙර දැරූ ප්‍රධාන ඉංජිනේරු (Chief Engineer) තනතුර වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද එහි සඳහන් වේ.
1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ 1 වන උපලේඛනයේ 5 වන වගන්තියට අනුව තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.
ගණක හේමචන්ද්‍ර මහතාට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ මට්ටමේ කළමනාකරණ කමිටුව (Top-Level Management Committee) ඵලදායී ලෙස එක්සත් කරමින්, ඒකාබද්ධ සහ සමගාමී මඟපෙන්වීමක් ලබාදීමට ඇති නොහැකියාව මීට ප්‍රධාන හේතුව වී ඇත. එමගින් වරාය අධිකාරියට එහි උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කරගනිමින් ඉදිරියට යාමට අහිතකර බලපෑමක් එල්ල වී ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
කෙසේ වෙතත්, ඔහුගේ පත්වීමත් සමඟ වරාය වෘත්තීය සමිතිවලින් ප්‍රබල විරෝධයක් එල්ල වූ අතර, ත්‍රිකුණාමලය වරායේ තිබූ නියමු යාත්‍රාවක් අවභාවිත කරමින් කෝටි 20 කට අධික පාඩුවක් සිදුකළ බවට වන චෝදනාව ඇතුළු චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ල විය.
මීට පෙර වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස සාර්ථකව කටයුතු කළ ප්‍රභාත් මලවිගේ මහතා හිටිහැටියේ ඉවත් කර මෙම පත්වීම සිදුකර තිබූ අතර, එම ඉවත්කිරීමට එරෙහිව මලවිගේ මහතා අධිකරණයේ ගොනුකළ නඩුව තවමත් විභාග වෙමින් පවතී.
