September 22, 2026

ජනතාවගේ අධිකරණ බලය අන්සතු කළ නොහැකි පරමාධිපත්‍යයේ වෙන් කළ නොහැකි අංගයකි!

0
DINANA_DAKUNA_PC

ජනතාවගේ අධිකරණ බලය යනු 3 වන ව්‍යවස්ථාව යටතේ අන්සතු කළ නොහැකි පරමාධිපත්‍යයේ වෙන් කළ නොහැකි අංගයකි. අධිකරණය සුරක්ෂිත කරන ආයතනික අඛණ්ඩතාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහතිකයන් පළුදු කරන ඕනෑම ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ගයක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ව්‍යුහය මූලික වශයෙන් වෙනස් කරනු ලබන අතර, ඒ සඳහා ජනමත විචාරණයකදී ජනතාවගේ සෘජු කැමැත්ත අවශ්‍යවන බව පෙන්වා දෙමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් අද ඉදිරිපත් කෙරුණා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේය

ශ්‍රේ.අධි. නඩු අංකය. SC/SD/46/2026

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධනය” නමැති පනත් කෙටුම්පත හෝ එහි කිසියම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලද යන්න තීරණය කරනු ලැබීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව යටතේ සහ ඒ අනුව ඉදිරිපත් කෙරෙන අයදුම්පතක් සම්බන්ධයෙනි.

පෙත්සම්කරු:

නීතිඥ ශිරාල් ලක්තිලක,

නො. 15, ලක්ෂපාන මාවත,

ජයන්තිපුර, බත්තරමුල්ල.

-එදිරිව-

වගඋත්තරකරු:

ගරු නීතිපති,

නීතිපති දෙපාර්තමේන්තුව,

කොළඹ 12.

2026 ක් වූ අගෝස්තු මස 21 වන මෙදිනදීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රවිනිශ්චයකාරතුමන් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් ගරු විනිශ්චයකාරතුමන්ලා වෙත:

තම ලියාපදිංචි නීතිඥ චතුරංග හතුරුසිංහ මාර්ගයෙන් පෙනී සිටින ඉහත නම් සඳහන් පෙත්සම්කරුගේ පෙත්සම පහත පරිදි ප්‍රකාශ කර සිටියි:

1. පෙත්සම්කරු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙකු මෙන්ම නීතිඥ වෘත්තියෙහි වසර 33 කට අධික ක්‍රියාකාරී සේවා කාලයක් සහිත නීතිඥවරයෙකි. පෙත්සම්කරු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවී සිටින අතර, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරැකීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටින “දිනන-දකුණ” සාමූහිකයේ සාමාජිකයෙකු ද වේ.

2. “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනතක්” යන දීර්‍ර්ඝ නාමය දරන්නා වූ, මින් ඉදිරියට “පනත් කෙටුම්පත” ලෙස හඳුන්වනු ලබන “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධනය” නමැති පනත් කෙටුම්පතක් 2026 අගෝස්තු 7 දිනැති ගැසට් පත්‍රයේ II වන කොටසෙහි ප්‍රකාශයට පත් කරන ලදී.

ගැසට් පත්‍රයේ පළ වූ පනත් කෙටුම්පතේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ පිටපත්වල සත්‍ය පිටපත් පිළිවෙළින් “A”, “B” සහ “C” ලෙස ලකුණු කර මෙයට අමුණා ඇති අතර, ඒවා මෙහි කොටසක් ලෙස සලකන ලෙස ඉල්ලා සිටියි.

3. පනත් කෙටුම්පතෙහි විධිවිධාන, විශේෂයෙන්ම 2 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ), 12(1) සහ 83 යන ව්‍යවස්ථාවන් සමඟ කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව මඟින් නියමිත විශේෂ බහුතරයෙන් සම්මත කරනු ලැබ 83 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබුවහොත් මිස නීතියක් බවට පත්විය නොහැකි බවට තීරණයක් ලබා ගැනීම සඳහා පෙත්සම්කරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 වන ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 121 වන ව්‍යවස්ථාව යටතේ ගරු ශ්‍රේෂ්ඨාධිකරනයට පවතින අධිකරණයේ බලය යටත් මෙම ඉල්ලීම සිදු කරනු ලබයි.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව යටතේ ජනතාවගේ පරමාධිපත්‍යය අන්සතු කළ නොහැකි බවත්, ඊට ජනතාවගේ අධිකරණ බලයද ඇතුළත් බවත් පෙත්සම්කරු ප්‍රකාශ කරයි. මෙම පනත් කෙටුම්පත උපරිමාධිකරන වල ආයතනික ස්වාධීනත්වය, නිල කාලයේ සුරක්ෂිතභාවය සහ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කරමින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරන බව කියා සිටී.

5. ඉහත නම් සඳහන් පෙත්සම්කරු පහත සඳහන් ප්‍රධාන කරුණු මත යෝජිත පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීමට අදහස් කරයි:

I. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව යටතේ නිල කාලය සහ විශ්‍රාම ගැන්වීම පාලනය වන දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව වෙනස් කිරීම සහ ඉවත් කිරීමක් සිදු වන්නේය;

II. මෙම සංශෝධනය සේවයේ නියුතු විනිසුරුවරුන්ට වාසි සැලසෙන පරිදි තෝරා බේරා සකස් කර ඇති හෙයින්, එය ව්‍යාජ නීති සම්පාදනයක් (colorable legislation) වන අතර පාර්ලිමේන්තුව විසින් යෝජිත නීති සම්පාදනයේ තාවකාලික/අහඹු (ad hoc) ස්වභාවය පෙන්නුම් කරයි. එබැවින් එය, සෘජුව කළ නොහැකි දෙයක් වක්‍රව කළ නොහැකිය යන ස්ථිර වූ පොදු නීති මූලධර්මයට පටහැනි වන්නේය;

III. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) සමඟ කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට පටහැනිව අධිකරණ බලය නීතිවිරෝධී ලෙස අන්සතු කරන බැවින්, 83 වන ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව කියා සිටී;

IV. ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් වන අධිකරණයේ ස්වාධීනත්වය පළුදු කිරීම මෙම සංශෝදනය මගින් සිදුවනු ඇත. ඒ අනුව තනි තනි විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට හෝ දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කිරීමට විධායකයට ඉඩ සැලසීම තුළින්, මෙම සංශෝධනය අධිකරණයේ සංයුතිය කෙරෙහි විධායකයේ අභිමතය යටත් කරනු ලබයි. 18 වන සහ 19 වන සංශෝධන සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මඟින් තහවුරු කර ඇත්තේ සෘජු හෝ වක්‍ර වේවා, අධිකරණ හෝ විධායක බලය අන්සතු කිරීම 3 වන ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ජනමත විචාරණ අවශ්‍යතාව මතු කරන බවයි;

V. බලතල බෙදීමේ මූලධර්මය උල්ලංඝනය වීම මෙම සංශෝදනය මගින් සිදුවනු ඇත. විනිසුරුවරුන්ගේ ධුර කාලය කෙරෙහි සක්‍රිය පාලනයක් විධායකයට ලබා දෙන සංශෝධනයක් වන නිසා එමඟින් විධායකය සහ අධිකරණය අතර පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සීමාව බොඳ කරනු ලබයි. (2002) 3 SLR 85 නඩුවේදී මෙම අධිකරණය තීන්දු කළ පරිදි, රාජ්‍යයේ එක් අංශයකට පැවරී ඇති බලය අඩු කර එය තවත් අංශයකට පවරන විධිවිධාන “4 වන ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට අනනුකූල” වන බව කියා සිටී.

VI. 12(1) ව්‍යවස්ථාව සහ නීතියේ සමාන ආරක්ෂාව පිළිබඳ සහතිකය උල්ලංඝනය වීම මෙම සංශෝදනය මගින් සිදුවනු ඇත. 12(1) ව්‍යවස්ථාව මඟින් “සියලු තැනැත්තන් නීතිය ඉදිරියෙහි සමාන වන බවත්; නීතියේ සමාන රැකවරණය ලැබීමට හිමිකම් ඇති බවත් සදහන් කොට ඇති නමුත්, තෝරාගත් පරිදි ධුර කාලය දීර්ඝ කිරීම, විශේෂයෙන් යම් නිශ්චිත නිලධාරියෙකුට වාසි සැලසෙන පරිදි කාල නිර්ණය කර ඇත්නම්, එය අත්‍යන්තයෙන්ම වෙනස්කම් සහගත වන බැවින් 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, එය අනෙක් අතට 3 වන ව්‍යවස්ථාව යටතේ පරමාධිපත්‍යය අන්සතු කිරීමක් වන බව කියා සිටී.

VII. උපරිමාධිකරයේ විනිසුරු වරුන් සුවිශේෂී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මානය කරන ලද පන්තියක් නියෝජනය කරන අතර එම විනිසුරුවරුන් සිය ජීවිත කාලය පුරාම බලපවත්වන සුවිශේෂී වෘත්තීය හා ආචාරධර්මීය සීමාවන්ට යටත් වන්නේය. එම ජ්‍යේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම මඟින් 12(1) ව්‍යවස්ථාව සහ සමාන ආරක්ෂාව පිළිබඳ සහතිකය උල්ලංඝනය කිරීම සිදු වන්නේය. එවැනි අසමාන සැලකිල්ලක් දැක්වීම 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, එය 3 වන ව්‍යවස්ථාව යටතේ පරමාධිපත්‍යය අන්සතු කිරීමක් ද වන බව කියා සිටී.

VIII. ජනතා පරමාධිපත්‍යයේ අන්සතු කළ නොහැකි ස්වභාවය උල්ලංඝනය කිරීම මෙම සංශෝදනය මගින් සිදුවනු ඇත. තුලන හා සංවරනය (checks and balances) සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවක් ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවෙන් ස්ථාපිත කොට තිබේ. එවන් පසුබිමක එම රාමුවෙන් පිටතට ගොස් අධිකරණ ධුර කාලය පිළිබඳ ව්‍යවස්තාමය ප්‍රතිපාදනය සක්‍රීය ලෙස විධායකයේ අභිමතය වෙත පැවරෙන සංශෝධනයක් ගෙන ඒම නීත්‍යානුකුල නොවන්නේය. එවැනි සංශෝදනයක් මඟින් ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් වන අධිකරණ බලය පැහැර ගැනීමක් සිදු වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව යටතේ ජනතාවගේ පරමාධිපත්‍යය පිලිගෙන ඇති අතර ඒ යටතේ ජනතාවගේ අධිකරන බලයද පිලිගෙන තිබේ. අධිකරණයේ සංයුතිය සහ ධුර කාලය තීරණය කිරීමේ බලය විධායකය වෙත අන්සතු කළ නොහැකි ආණ්ඩුකරණ බලයක් බව කියා සිටී.

6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කුළුණු හා සසඳමින් යොජිත පනත් කෙටුම්පතේ විධිවිධාන සලකා බලන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරු තුමන්ලා වෙතින් ගෞරවයෙන් යුතුව අයැද සිටියි:

(අ) අනාගත පරපුරේ නිදහස, සමානාත්මතාව සහ ගෞරවය සුරක්ෂිත කරන අස්පර්ශනීය උරුමයක් ලෙස අධිකරණයේ ස්වාධීනත්වය සහතික කරමින් ප්‍රස්තාවනාවේ ඇති බැරෑරුම් ප්‍රකාශය සැලකිල්ලට ගන්නා ලෙසත්;

(ආ) 3 වන ව්‍යවස්ථාව යටතේ ජනතා පරමාධිපත්‍යයේ අනුල්ලංඝනීය සහ අන්සතු කළ නොහැකි අංගයක් වන ජනතාවගේ අධිකරණ බලය, 4(ඇ) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් සාදන ලද හා පිහිටුවන ලද අධිකරණ සහ විනිශ්චය සභා මඟින් පමණක් ක්‍රියාත්මක විය යුතුය යන තහවුරු කරන ලද මූලධර්මය මෙහිලා සැලකිල්ලට ගන්නා ලෙසත්;

7. මෙම පනත් කෙටුම්පත උපරිම අධිකරණයේ විනිසුරු තුමන්ලාගේ නිල කාලය සහ විශ්‍රාම වයස කෙරෙහි සෘජුව බලපාන නමුත්, පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව යටතේ ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරනය සතු තනි සහ අනන්‍ය බලසීමාව පමණක් බව පෙත්සම්කරු ප්‍රකාශ කරයි. ස්ථිර වූ අවශ්‍යතා න්‍යාය (doctrine of necessity) යටතේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීමට සහ ජනතාවගේ පරමාධිපත්‍යය සුරැකීමට මෙම අයදුම්පත විභාග කර තීරණය කිරීමට බලයලත් එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරනය වන්නේය.

8. පනත් කෙටුම්පතෙහි 2 වන වගන්තියේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ධුර කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන්:

(අ) 2 වන වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු හැටහත (67) දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු හැටපහ (65) දක්වාත් දීර්ඝ කරන විධිවිධානයක් ආදේශ කරනු ලැබ තිබේ.

(ආ) යෝජිත 107(5) ව්‍යවස්ථාවේ කොන්දේසිය මඟින් අග්‍රවිනිශ්චයකාරවරයාගේ විශ්‍රාම දිනය අවුරුදු හැටහත (67) සම්පූර්ණ වන දිනය හෝ පත්කළ දින සිට වසර හයක (6) කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් පළමුව එළඹෙන දිනය විය යුතු බවට සීමාකාරී කොන්දේසියක් ද හඳුන්වා දී තිබේ.

(ඇ) දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රමය යටතේ, 107(5) ව්‍යවස්ථාව මඟින් අග්‍රවිනිශ්චයකාර ධුරය සඳහා නිල කාල සීමාවන් නොමැතිව ස්ථාවර විශ්‍රාම වයස් සහතික කර ඇති අතර, එමඟින් ස්ථාවරත්වය, ජ්‍යෙෂ්ඨත්වය සහ ධුර කාලයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කොට තිබේ.

(ඈ) විධායක හෝ ව්‍යවස්ථාදායක ආඥාවක් මඟින් සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ ධුර කාලය සහ සේවා කොන්දේසි වෙනස් කිරීම මඟින් සක්‍රීය ලෙස බලතල බෙදීම පිලිබද ආන්ඩු ක්‍රම ව්‍යවස්තාව මගින් පිලිගත් මුලධර්මය පළුදු වන අතර, අධිකරණ ධුර කාලය වෙනස් වන දේශපාලන අවශ්‍යතාවලට යටත් කරවීම සහ යුක්තිය පසිඳලීම කෙරෙහි ඇති මහජන විශ්වාසය පිරිහීමට ලක් වනු ඇති බව කියා සිටී.

(ඉ) සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ අධිකරණ ධුර කාලය වෙනස් කිරීමේදී උතුල සුරංග රණවීර සහ තවත් අය එදිරිව නීතිපති (ශ්‍රේ.අධි. (වි.තී.) අංක 64/2022) නඩුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරනය විසින් පිළිගත් අධිකරණ ස්වාධීනත්වයේ පිලිබද මූලික හරය උල්ලංඝනය කරනු ලබන අතර ; එම නඩුව මගින් තීන්දු කරන ලද්දේ සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසට හෝ නිල කාලයට බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපාන අතර 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවයි;

(ඊ) ජ්‍යේෂ්ඨ අධිකරණය සඳහා විශ්‍රාම වයස තෝරාගත් පරිදි දීර්ඝ කිරීම සහ අග්‍රවිනිශ්චයකාරවරයාට පමණක් සීමා වූ කෘත්‍රිම ධුර කාල සීමාවක් පැනවීම මඟින් 12(1) ව්‍යවස්ථාව යටතේ නීතියේ සමාන රැකවරණය ලැබීමේ සහතිකය උල්ලංඝනය කෙරෙන අත්තනෝමතික, අසාධාරණ සහ වෙනස්කම් සහගත වර්ගීකරණයන් ඇති කරන බව කියා සිටී.

(උ) ඒ අනුව, පනත් කෙටුම්පතෙහි 2 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ), 12(1) සහ 83 යන ව්‍යවස්ථාවන් සමඟ කියවිය යුතු 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව කියා සිටී.

9. ජනතාවගේ අධිකරණ බලය යනු 3 වන ව්‍යවස්ථාව යටතේ අන්සතු කළ නොහැකි පරමාධිපත්‍යයේ වෙන් කළ නොහැකි අංගයකි. අධිකරණය සුරක්ෂිත කරන ආයතනික අඛණ්ඩතාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහතිකයන් පළුදු කරන ඕනෑම ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ගයක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ව්‍යුහය මූලික වශයෙන් වෙනස් කරනු ලබන අතර, ඒ සඳහා ජනමත විචාරණයකදී ජනතාවගේ සෘජු කැමැත්ත අවශ්‍යවන බව කියා සිටී.

10. මෙම අයදුම්පත විභාග කරන අවස්ථාවේදී වැඩිදුර කරුණු දැක්වීමට සහ පනත් කෙටුම්පතෙහි වෙනත් අදාළ වගන්ති වෙත යොමු වීමට ඇති අයිතිය පෙත්සම්කරු ගෞරවයෙන් යුතුව රඳවා තබා ගනියි.

11. මෙම අයදුම්පතෙහි විෂය කරුණ සම්බන්ධයෙන් පෙත්සම්කරු මීට පෙර මෙම ගරු අධිකරණයේ බලසීමාව යටතේ සහන අයැද නැති බව කියා සිටී.

12. මෙහි අඩංගු ප්‍රකාශයන් සනාථ කරමින් පෙත්සම්කරුගේ දිවුරුම් ප්‍රකාශයක් මෙයට අමුණා ඇත.

එබැවින් පෙත්සම්කරු ඔබ වහන්සේලාගේ අධිකරණයෙන් ගෞරවයෙන් යුතුව අයැද සිටින්නේ:

(අ) (“A” “B” සහ “C” ලෙස අමුණා ඇති) “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධනය” නමැති පනත් කෙටුම්පතෙහි 2 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) සහ 12(1) ව්‍යවස්ථාවන් සමඟ කියවිය යුතු 3 වන ව්‍යවස්ථාවට අනනුකූල බවට තීරණය කරන ලෙස;

(ආ) ඉහත සඳහන් අනනුකූලතාව හේතුවෙන්, පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව (පැමිණ නොසිටින මන්ත්‍රීවරුන් ද ඇතුළුව) මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවට තීරණය කරන ලෙස;

(ඇ) යුක්තිය ඉටුකිරීම උදෙසා ඔබ වහන්සේලාගේ අධිකරණයට උචිත සහ යෝග්‍ය යැයි හැඟෙන වෙනත් සහ වැඩිදුර සහනයන් ලබා දෙන ලෙසයි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *