August 17, 2026

ඩොලර් බිලියනයක් රටින් පැන්නු බැංකු 4ක මෙහෙයුම!

0
NEWS_Bank

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවෙකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක් විදේශගතකර රජයට , පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව් දෙනෙකු ලබන 20 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා අද (17) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෙලන් බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ කළමනාකාර ශිරාන් මරියෝ පෙරේරා, සම්පත් බැංකුවේ උමේෂ් රන්දික ප්‍රනාන්දු, යූනියන් බැංකුවේ ධර්ම ලිංගම් ප්‍රනාන්දු ,හා නේෂන් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම නඩුවේ ප්‍රධාන සැකකාර ජෙප්රි මොහොමඩ් නමැති අය විසින් පුද්ගලයින් අට දෙනෙකුගේ නම් භාවිතා කර ස්ථාපිත කළ ව්‍යාජ සමාගම් 36 හරහා අවස්ථා 199කදී (ටෙලි ග්‍රැෆික් ට්‍රාන්සර්) ඇමරිකන් ඩොලර් බිලියන එකකට අධික මුදලක් විදේශගත කර බැංකුවට හා රජයට පාඩු කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Seylan Bank, Sampath Bank, Union Bank, NTB Bank යන බැංකු වල සේවය කරමින් සිටි ශිරාන් මාරියෝ, උමේෂ් රන්දික, ධර්මලීංගම් ප්‍රසාද්, අමිල උදාර කළමනාකරුවන් සිව් දෙනා මේ යටතේ අත් අඩංගුවට ගැනුනා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා සඳහන් කර සිටියේ මෙය මෙරට මහා මූල්‍යමය අපරාධයක කොටස්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවක් බවය.

තමන් සේවය කරන බැංකුවේ විශ්වාසය කඩ කරමින් රටට මහා පරිමාණ වංචාවක් සිදු කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සංකීර්ණ හා සංවේදී පරීක්ෂණයක් සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.

සැකකරුවන් ගනුදෙනු කර ඇත්තේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක කොටස්කරුවකු වන ජප්‍රී මොහොමඩ් නමැති අධි චෝදනා ලැබූවකු සමග බවද, එම ජාවාරම්කරු සමග සම්බන්ධ වී ඇති සැකකරුවන් සෑම සිකුරාදා දිනකම එම ජාවාරම්කරු හමු වී , ප්‍රතිලාභ ලබාගැනීම හා පුද්ගලික ගිණුම් විවෘත කර ලක්ෂ තුන බැගින් මුදල් තැන්පත් කරගෙන ඇති බැවින් අයතා මුදල් ඉපැයීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවත් පැවසීය.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජේෂ්ඨ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් මෙසේ පැවසීය.

ඇමෙරිකන් ඩොලර් බිලියන 190ක් මෙරටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී මෙම මහා ජාවාරම අනාවරණය වුණා. මේ නඩුවේ පළවෙනි සැකකරු තමයි ජෙෆ්රි මොහොමඩ් ඔහු සමාගම් 36ක් පිහිටවනවා. ඔක්කොම ව්‍යාජ සමාගම්. මේ සමාගම් වල හිමිකරුයි ලේකම්වරයා ලෙස කටයුතු කරල තියෙන්නෙ පුද්ගලයින් අට දෙනෙක්. අද අධිකරණයට ඉදිරිපත් කරන මෙම සැකකරුවන් මෙම ජෙප්රි මොහොමඩ් සමග කටයුතු කරලා තියෙනවා. ඩොලර් පිටරට යවන්න ඉල්ලුම්පත් පුරවලා තිබෙන්නේ මෙම බැංකු නිලධාරීන්. සමාගම් හිමිකරුවකු හෝ ලේකම්වරයෙකු බැංකුවට ඇවිත් නැහැ. ජෙප්රි මොහොමඩ්ගේ ගෝලයෙක් ඇවිල්ලා තමයි ටී ටී ඕපන් කරලා (ඩොලර් පිටරට පටවන ඉල්ලුම්පත්) තියෙන්නේ . මෙම සැකකරුවන් බැංකුවේ නැත්නම් ටී ටී ඕපන් කරන්නේ නැහැ. ඒ තරමට ඔවුන් මේ ජාවාරම හා සම්බන්ධ වී තිබෙනවා. සැකකරුවන් මෙහෙම කරලා සතියේ සෑම සිකුරාදා දිනකම ගිහිල්ලා ජෙෆ්ටි මොහොමඩ් හම්බවෙලා මුදල් ලබාගෙන තිබෙනවා. ලක්ෂ තුන, ලක්ෂ දහය, පනස්දාහක වැනි මුදල් මොවුන්ගේ බැංකු ගිණුම් වලට බැර වෙලා තිබෙනවා. ඒ අනුව ඔවුන් අයතා මුදල් ඉපයීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුතුයි. අනික් අතින් බලනකොට රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර මෙලෙස පිටරට පටවන්නේ මේ රටේ දුප්පත් ජනතාවගේ මුදල්. මහා බැංකුවේ විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි කිසිවක් මෙම නිලධාරීන් විසින් අනුගමනය කර නැහැ. මහා මුල් අපරාධක කොටස්කරුවන් මෙලෙස බැංකුවේ ජනතාවගේ හා මේ රටේ විශ්වාසය කඩ කරලා. ඔවුන් අයතා ලෙස පෝෂණය වෙලා තියෙනවද කියලා තවදුරටත් විමර්ශන සිදු කළ යුතුයි.

සැකකාර ජෙෆ්‍රි මොහොමඩ් ට මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරලා තියෙනවා. ඒ තමයි මේ සමාගම් 36ය හරහා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවට මුදල් සැපයීම සම්බන්ධයෙන්. මෙම සැකකරුවන්ගේ විමර්ශන බොහෝ දුරට අවසන් බැවින් ඔවුන්ට ද යම් යම් කාරණා යටතේ අධි චෝදනා කඩිනමින් ගොනු කරනවා.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දක්වමින් සිය සේවාදායකයින්ට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

මහා පරිමාණ වංචාවක් බැංකු ශාඛාවක කළමනාකරුවන්ට තනිවම කළ හැකි ප්‍රවණතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද, ඔවුන්ට එම සමාගම් තිබෙනවාද භාණ්ඩ ආනයනය කළේ ද යන්න පිළිබඳව සොයා බැලීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති බවද නීතිඥවරුන් පෙන්වා දුන්නේය.

රජයේ බැංකු මෙන් නොව වාණිජ බැංකු ගනුදෙනුකරු වෙතට ගොස් නැම්වැසීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිහිය ගනුදෙනු සිදුකිරීම ඇතුළු කාරණා මෙම මෙහිදී අයුතු ලෙස හොයා දක්වමින් තම සේවාදායකයින් බන්ධනාගාර ගත නොකරන ලෙසද ඇප දිය හැකි වැරදි බැවින් ඇප පනතේ විවිධාන ප්‍රකාරව ඇප ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

ජෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතාගේ උපදෙස් පරිදි නීතිඥ අන්ජන අධිකාරම්ගේ ඇතුළු නීතිඥවරුද අධිකරණයේදී කරුණු දැක්වීය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්  බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *