සුරාබදු දෙපාර්තමේන්තුව නීති විරෝධී අයුරින් බියර් බෙදාහැරීමේ සේවා සපයන්නන් පත් කිරීම හරහා රජයට රුපියල් මිලියන එකසිය පහළොවක් සහ පන්සිය දහසක් (රු. 115,500,000/-) අහිමිකර ඇති බව අනාවරණය වි තිබේ. (එම බදු අහිමි විම සම්බන්ධයෙන් එම පැමිණිල්ලේ ගණනය කිරිම් පහත දක්වා ඇත.)
SLA හෙවත් SRI LANKA LIQUOR LICENSEES ASSOCIATION, ශ්රී ලංකා මත්පැන් බලපත්රලාභීන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්කරමින් මෙම අලාභය අනාවරණය කර තිබේ.
එම පැමිණිල්ල මගින් පෙන්වා දෙන්නේ මේ හරහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවලට ගෙවිය යුතු බදු විශාල ප්රමාණයක් ද සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති විරෝධී සහ අයතා ක්රියා නිසා මෙම බදු මුදල් රජයට අහිමි කර ඇති බවයි.
එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුව නීති විරෝධී අයුරින් Lion Brewery (Ceylon) PLC හි සමාගමේ සමාගමේ ප්රධාන බාහිර කටයුතු පිළිබඳ විධායක නිලධාරි චන්න සේනාරත්න නැමැත්තාගේ අවශ්යතාව මත බියර් බෙදාහැරීමේ සේවා සපයන්නන් පත් කිරීමට කටයුතු කර ඇති බවයි.
ලි.ප.තැ.
2026/08/07
ගරු විනිසුරු ඩබ්.එන්.පී. ඉද්දවල මැතිතුමා,
සභාපති,අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව,
36, මලලසේකර මාවත, කොළඹ 07.
සුරාබදු දෙපාර්තමේන්තුව නීති විරෝධී අයුරින් බියර් බෙදාහැරීමේ සේවා සපයන්නන් පත් කිරීම.
1931 අප්රේල් 17 දින අංක 7845 දරණ ලංකා රජයේ ගැසට් පත්රයේ පලකරන ලද සුරාබදු නිවේදන 219 යේ බෘවරියක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරන සුරාබදු ර.බි.01 බලපත්රයේ 10 වන කොන්දේසිය සහ 1979/12/31 වන දින අති විශේෂ ගැසට් පත්රයේ පලකරන ලද සුරාබදු නිවේදන 666 (සෑම සුරාබදු බලපත්රයකටම අදාළ විය යුතු පොදු කොන්දේසි) 12 වන කොන්දේසිය අනුව මත්පැන් බලපත්රයක කිසියම් වූ අයිතිවාසිකමක් වෙනත් පාර්ශවයක් වෙත ලබාදීම සුරාබදු කොමසාරිස් ජනරාල් හෝ ප්රාදේශීය ලේකම් (බලපත්ර අධිකාරී) ගෙන් මුලින් ලබාගත් අවසරයකින් තොරව සිදුකිරීම තහනම් ය.
නීතිය එසේ වුවත් ලයන් බෘවරි පී.එල්.සී සමාගමේ ප්රධාන බාහිර කටයුතු පිළිබඳ විධායක නිලධාරි මහතා විසින් එවකට සුරාබදු නියෝජ්ය කොමසාරිස් (නීති) චන්න වීරක්කොඩි මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඔවුන්ගේ බෙදාහැරීමේ කටයුතු සහ මුදල් ලබා ගැනීමේ කටයුතු සඳහා නියෝජිතයින් 21 දෙනෙකු පත්කර ගැනීමට අවසර ඉල්ලා තිබුණි. ඒ අනුව 2024/06/13 දින දරණ ලිපියෙන් බියර් බෙදා හැරීමේ කටයුතු සඳහා අදාළ ඇමුණුමේ සඳහන් නියෝජිතයින් 20 දෙනෙකුට 2024/06/13 වන දින සිට 2024/12/31 වන දින දක්වා පමණක් අවසර ලබා දී තිබුණි. 2024/10/29 දින නැවත වරක් මෙම නියෝජ්ය කොමසාරිස්වරයා එම යොමු අංකය යටතේම 2024/06/13 වන දිනැති ලිපියට අමතරව බියර් බෙදා හැරීමේ කටයුතු සඳහා 21 දෙනෙකුගෙන් යුත් ලේඛණයකට අවසර ලබා දී ඇත.
(2024/06/13 වන දින ලිපිය සහ ඇමුණුම A වශයෙන් ද 2024/10/29 වන දින ලිපිය සහ ඇමුණුම B වශයෙන් ද ලකුණු කර ඉදිරිපත් කරන්නෙමු.)
2026/03/04 දින සුරාබදු දෙපාර්තමේන්තුව මගින් 2024/06/13 දින යටතේ 2024/10/29 දින ලයන් බෘවරි සමාගම වෙත යොමු කළ ලිපිය අනුව බෙදාහරින්නන් 21 දෙනෙකුගෙන් යුත් ලේඛණය සංශෝධනය කර ඇත. කෙසේ වෙතත් 2024/06/13 වන දින සුරාබදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ලිපියේ සඳහන් වනුයේ අදාළ අවසරය ලබා දී ඇත්තේ 2024/12/31 වන දින දක්වා පමණක් බවය.
(2026/03/04 වන දින සුරාබදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ ලිපිය C වශයෙන් ලකුණු කොට ඉදිරිපත් කරන්නෙමු.)
කරුණු මෙලෙස වුවත් මෙවැනි අවසරයක් ලබාදිය යුත්තේ විශේෂ වූ අවස්ථාවක පමණක් බව සුරාබදු නිවේදන 666 හි සඳහන් කර ඇත.
2026 වර්ෂය වෙනුවෙන් පමණක් රජයට කරන ලද අලාභය
සුරාබදු ආඥා පනත සහ ඒ යටතේ සාදන ලද නියෝග අනුව මෙම බෙදාහරින්නන් 21 දෙනා ර.බි.03 බලපත්රයක් ලබාගෙන නීත්යානුකූල අයුරින් ව්යාපාරික කටයුතු කරනු ලැබුවේ නම්
වාර්ෂික බලපත්ර ගාස්තු වශයෙන්
රු. 2,000,000/- x 21
රු. 42,000,000/-
ආරක්ෂිත ඇප වශයෙන්
රු. 1,000,000/- x 21
රු. 21,000,000/-
කර්මාන්ත පිවිසුම් ගාස්තුව
රු. 2,500,000/- x 21
රු. 52,500,000/-
රු. 115,500,000/-
රුපියල් මිලියන එකසිය පහළොවක් සහ පන්සිය දහසක් රජයට ලැබිය යුතුව තිබුණි. මීට අමතරව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවලට ගෙවිය යුතු බදු විශාල ප්රමාණයක් ද ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති විරෝධී සහ අයතා ක්රියා නිසා මෙම බදු මුදල් රජයට අහිමි කර ඇත.
අප දන්නා අයුරින් මෙම ක්රියාවන් සඳහා උපකාර කරන ලද දැනට විශ්රාම ගොස් සිටින හිටපු සුරාබදු කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා (දුරකථන අංකය : 0714252431) සහ අංක 110/3-110/ඒ මොරකැටිය, පන්නිපිටිය ලිපිනයේ පදිංචි හිටපු නියෝජ්ය සුරාබදු කොමසාරිස් වන්න වීරක්කොඩි මහතා ද සම්බන්ධ අතර මොවුන් මෙම සමාගමෙන් පමණක් නොව පසුගිය සමයේදී නව මත්පැන් බලපත්ර ලබාදීමේදී ද විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත්, හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ එක් බෑනා කෙනෙකුගේ ගිණුමට අදාළ මුදල් තැන්පත් කරගෙන ඇති බවද දැනගැනීමට ඇත.
එබැවින් දැනට සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම අයථා කටයුතු වලට සම්බන්ධ සුරාබදු නිලධාරීන්ගේ සහ හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සහ හිටපු නියෝජ්ය සුරාබදු කොමසාරිස් (නීති) වන්න වීරක්කොඩි මහතා ඇතුළු ඔවුන්ගේ පවුල් වල උදවියද අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
මීට විශ්වාසී,
ලේකම්
පිටපත් –
ගරු චේතිය ගුණසේකර මැතිතුමා, කොමසාරිස් – අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, 36 මලලසේකර මාවත, කොළඹ 07.
ගරු බර්නාඩ් රාජපක්ෂ මහතා,කොමසාරිස් – අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, 36 මලලසේකර මාවත, කොළඹ 07.
රංග දිසානාක මැතිතුමා,අධ්යක්ෂක ජනරාල් – අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, 36 මලලසේකර මාවත, කොළඹ 07.








