November 17, 2026

එල්ටීටීඊයේ පැරණි දේශපාලන පක්ෂය යළි ක්‍රියාත්මක කරන බව හිටපු සටන්කාමීන් කියයි! දිස්ත්‍රික් හා කොට්ඨාස මට්ටමේ ශාඛා දැනටමත් පිහිටුවා අවසන්!

0
Sri Lankan press conference speaker

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

එල්ටීටීඊ සංවිධානය 1989 සාම සාකච්ඡා සමයේ පිහිටුවූ ‘විමුක්ති කොටි ජනතා පෙරමුණ’ (People’s Front of Liberation Tigers — PFLT) යළි ක්‍රියාත්මක කරන බව හිටපු එල්ටීටීඊ සටන්කාමීන් පිරිසක් ප්‍රකාශ කර තිබේ.

නොවැම්බර් 1 වැනිදා යාපනය මාධ්‍ය සමාජයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ හිටපු මහලේකම් ඊ. කදිර් ය. යළි ක්‍රියාත්මක කරන පක්ෂයේ මහලේකම් ධුරය තමන් භාරගෙන ඇති බවත්, දිස්ත්‍රික් හා කොට්ඨාස මට්ටමේ ශාඛා දැනටමත් පිහිටුවා ඇති බවත් ඔහු පැවසීය.

“ඉදිරියේදී අපගේ මව්බිමේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් සිදුකරන සියලු කටයුතු විමුක්ති කොටි ජනතා පෙරමුණ හරහා සිදුකරනවා,” යැයි කදිර් ප්‍රකාශ කළේය.

මෙම නිවේදනය සඳහා නොවැම්බර් මාසයේ පළමු දිනය තෝරාගත්තේ හිතාමතා බවද ඔහු සඳහන් කළේය. යුද්ධයේදී මියගිය එල්ටීටීඊ සටන්කාමීන් සහ ඔවුන්ගේ දෙමාපියන් සිහිපත් කරන මහවිරු සැමරුම් මාසය නොවැම්බර් බව ඔහු පැවසීය. එම සැමරුම්වල ප්‍රධාන දිනය නොවැම්බර් 27 වැනිදාට යෙදේ.

සැප්තැම්බර් මාසයේදීද යාපනය මාධ්‍ය සමාජයේ අදහස් දැක්වූ කදිර්, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනයේ එල්ටීටීඊ සුසාන භූමි දෙමළ දේශපාලන පක්ෂ විසින් තම පාලනයට ගෙන සැමරුම් දේශපාලන අරමුණු සඳහා යොදාගන්නා බවට චෝදනා කර තිබිණි. එම කටයුතු ජනතාවට සහ සැමරුම් සංවිධානය කරන ආයතනවලට භාරදිය යුතු බව ඔහුගේ ස්ථාවරය විය.

බොහෝ දෙමළ පවුල් සඳහා මෙම සැමරුම් තම දරුවන් සහ සහෝදර සහෝදරියන් සිහිපත් කරන සංවේදී අවස්ථාවකි. එහෙත් ඇතැම් හිටපු සටන්කාමීන් පවසන්නේ සැමරුම් වෙනුවෙන් විදේශගත දෙමළ ප්‍රජාවෙන් ලැබෙන මුදල් ලබාගැනීම සඳහා සංවිධාන හා පුද්ගලයන් අතර තරගයක්ද පවතින බවයි.

හිටපු සටන්කාමීන් 2015දී මැතිවරණ දේශපාලනයට පිවිසෙන විට අවධාරණය කළේ තමන් එල්ටීටීඊය හෝ PFLT යළි පිහිටුවීමට උත්සාහ නොකරන බවයි. ඒ අනුව කදිර්ගේ නව ප්‍රකාශය එම මුල් ස්ථාවරයෙන් වෙනස්වීමක් ලෙස පෙනී යයි.

වසර 17කට පසු පක්ෂය යළි ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ ඇයිදැයි ‘ජැෆ්නා මොනිටර්’ විමසූ අවස්ථාවේ, එක් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු පවසා ඇත්තේ එල්ටීටීඊයේ දේශපාලන අංශය ලෙස ඉදිරිපත් වන පක්ෂයකට එම අරමුදල්වල කොටසක් ඉල්ලා සිටීමට පහසු වනු ඇති බවයි. එය එම පුද්ගලයාගේ අදහසක් වන අතර, කදිර් මාධ්‍ය හමුවේදී මුදල් පිළිබඳ සඳහන් කර නැත. කෙසේ වෙතත්, විදේශගත දෙමළ ජනතාවගෙන් අඛණ්ඩ සහයෝගය ලබාදෙන ලෙස ඔහු ඉල්ලා තිබේ.

“සන්නද්ධ අරගලය යළි ආරම්භ කරන්නේ නැහැ”

මෙම පියවර එල්ටීටීඊ සංවිධානය යළි පිහිටුවීමක්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ කදිර් කල ප්‍රකාශය එතරම් විශ්වාසනියත්වයකින් කල එකක් නොවන බව පෙනී ගිය බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

“අපි සන්නද්ධ අරගලය යළි ආරම්භ කරන්නේ නැහැ. අපි යළි ක්‍රියාත්මක කරන්නේ විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන ව්‍යුහයයි. අපි කොටි බවත්, අපි විමුක්ති කොටි බවත් පැහැදිලියි. එහි වෙනසක් නැහැ.”

2009 යුද්ධය අවසන් වීමෙන් පසු එල්ටීටීඊයේ දේශපාලන ව්‍යුහය විනාශ වූ බවත්, ඉන් අනතුරුව වෙනත් පක්ෂ හරහා කටයුතු කළ හිටපු සටන්කාමීන්ට සතුටුදායක ප්‍රතිඵල නොලැබුණු බවත් ඔහු පැවසීය.

“විමුක්ති කොටි දැන් මෙම දේශපාලනය සෘජුවම සහ සම්පූර්ණයෙන්ම භාරගෙන තිබෙනවා. අපි සාමාන්‍ය දේශපාලනඥයන් නොවෙයි. අපි සටන්කරුවන්,” යැයි ඔහු සඳහන් කළේය.

පක්ෂ ලියාපදිංචිය සහ නීතිමය බාධා

මෙම උත්සාහය හමුවේ ප්‍රධාන නීතිමය බාධාවක්ද පවතී. එල්ටීටීඊය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධානයක් වන අතර, ලබාදුන් වාර්තාවට අනුව 2025දී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් එම තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවැනි සංශෝධනයෙන් රට බෙදීම වෙනුවෙන් පෙනී සිටීමද තහනම් කර ඇත.

කදිර් පවසන්නේ තම පක්ෂයේ අරමුණ ෆෙඩරල් විසඳුමක් ලබාගැනීම බවත්, ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද භාවිත කරන බවත්ය. පක්ෂ ලියාපදිංචිය සඳහා කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

පක්ෂයේ පැරණි කොටි ලකුණ අනුමත ඡන්ද ලකුණු ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බැවින් නව ලකුණක් පිළිබඳ තවමත් තීරණය කර නැතැයි ඔහු පැවසීය. ජනවාරි මාසයේදී ජාතික සම්මේලනයක් පිළිබඳ නිවේදනය කරන බවත්, එම සම්මේලනයේදී මධ්‍යම කාරක සභාව සහ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරන බවත් ඔහු සඳහන් කළේය.

1989 සාම සාකච්ඡා සමයේ බිහිවූ පක්ෂයක්

විමුක්ති කොටි ජනතා පෙරමුණ පිහිටුවනු ලැබුවේ 1989දී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව සමඟ පැවැති සාම සාකච්ඡා අතරතුරදීය. සාකච්ඡා සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසීම පිළිබඳ තම කැපවීම පෙන්වීම එහි අරමුණ විය.

කොළඹ ගලදාරි මෙරිඩියන් හෝටලයේදී පක්ෂය පිහිටුවීම නිවේදනය කෙරිණි. එල්ටීටීඊ නියෝජ්‍ය නායක ගෝපාලස්වාමි මහේන්ද්‍රරාජා හෙවත් මහත්තයා එහි සභාපතිවරයා වූ අතර, යෝගරත්නම් යෝගී මහලේකම්වරයා විය. පක්ෂයේ ඡන්ද ලකුණ වූයේ කොටියාය.

1989 අගෝස්තු මාසයේ සර්ව පාක්ෂික සමුළුවට නිරීක්ෂකයකු ලෙස සහභාගි වූ පක්ෂය, 1990දී යුද්ධය යළි ආරම්භ වීමත් සමඟ දේශපාලන කටයුතුවලින් ඉවත් විය. පසුව එහි කටයුතු එල්ටීටීඊ දේශපාලන අංශයට ඇතුළත් කළ බව කදිර් පැවසීය.

2008 නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී PFLT නමින් අපේක්ෂකයන් ඉදිරිපත් වූ අතර, නැගෙනහිර දිස්ත්‍රික්ක තුනක ඡන්ද පත්‍රිකාවල කොටි ලකුණ දක්නට ලැබිණි. එල්ටීටීඊය එම ක්‍රියාවලිය ආණ්ඩුවේ උපක්‍රමයක් බවට චෝදනා කළේය. නාමයෝජනාවල ව්‍යාජ අත්සන් තිබූ බවට පසුව දෙමළ පුවත්පත් වාර්තා කළේය.

අවශ්‍ය ලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පසුව ශ්‍රී ලංකාවේ පක්ෂ ලියාපදිංචිය අවලංගු කෙරිණි. 2010දී බ්‍රිතාන්‍යයේ එම නමින් සහ කොටි ලාංඡනයෙන් යුත් පක්ෂයක් ලියාපදිංචි කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *