October 21, 2026

“සිවුර ගැලෙව්වා නම් ඔක්කොම අපේ ඇඟට කඩා වැටෙනවා” ඥානසාර හිමිට ජනපති සමාව දුන්නේ ඇයි? රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

0
Dramatic Presidential Pardon News Collage

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

“සිවුර ගැලෙව්වා නම් ඔක්කොම අපේ ඇඟට කඩා වැටෙනවා” – මෛත්‍රීගේ සමාව පිටුපස කැබිනට් සාකච්ඡා සහ සංඝරත්නයේ මැදිහත්වීම රනිල් හෙළිකරයි!

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදීමට හේතු වූ දේශපාලන සහ ආගමික පසුබිම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති එක්සත් ජාතික පක්ෂ නීතිඥ හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමෙන් ඇතිවිය හැකි ආගමික සහ දේශපාලන ප්‍රතිවිපාක පිළිබඳව එවකට ආණ්ඩුව තුළ සාකච්ඡා පැවති බවයි.විශේෂයෙන්ම, ඥානසාර හිමියන්ට සමාව ලබාදීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හුදෙකලා තීරණයක් නොවූ බවත්, ඒ සම්බන්ධයෙන් තමන් ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනකු අතර සාකච්ඡා පැවති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

“සිවුර ගැලෙව්වා නම් ඔක්කොම අපේ ඇඟට කඩා වැටෙනවා”

මෙම ප්‍රකාශයේ වඩාත් අවධානයට ලක්වන කරුණ වන්නේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට බලපෑ හේතු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ පැහැදිලි කිරීමයි.ඔහුට අනුව, ඥානසාර හිමියන් වසරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමෙන් අනතුරුව තවදුරටත් බන්ධනාගාරයේ රඳවා තබන්නේද, නැතහොත් සමාව ලබාදී නිදහස් කරන්නේද යන්න පිළිබඳව එවකට ආණ්ඩුව තුළ සාකච්ඡා වී තිබේ.එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමාව ලබාදීමට තීරණය කළ බව වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු සිය ප්‍රකාශයේදී මෙසේ පවසා තිබේ.

“අගමැති ලෙස අනෙක් ඇමතිවරුන් ගණනාවක් එක්ක කතා කර මෙහෙමයි මේක කරන්න ඕනෑ කියා මා ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ සිටියදී සිවුර අයින් කළොත් ඔක්කොම අපේ ඇඟට කඩා දමයි. ඒ නිසා සමාව දෙන්න තීරණය කළා.”

තලතා අතුකෝරළගේ ලිපිය ගැනත් හෙළිදරව්වක්

ඥානසාර හිමියන් මීට පෙර බන්ධනාගාරගත කළ අවස්ථාවේ උන්වහන්සේගේ සිවුර ඉවත් නොකළ බවද රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කර තිබේ.එවකට අධිකරණ අමාත්‍යවරිය වූ තලතා අතුකෝරළ මහත්මිය විසින් කොටපිටියේ රාහුල හිමියන් වෙත යොමු කළ ලිපියක, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකරන බවට පොරොන්දුවක් ලබාදී තිබූ බව ඔහු ප්‍රකාශ කර ඇත.එම ලිපිය තමන් සතුව පවතින බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

සංඝරත්නය රනිල් හමුවී කළ ඉල්ලීම

ඥානසාර හිමියන්ගේ සිරදඬුවම සම්බන්ධයෙන් සංඝරත්නයේ පිරිසක් තමන් හමුවී කරුණු ඉදිරිපත් කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.උන්වහන්සේලා පෙන්වාදී තිබුණේ අධිකරණයට බාධා කිරීම හෝ අධිකරණයට අපහාස කිරීම බෞද්ධ විනය අනුව පාරාජිකා වරදක් ලෙස නොසැලකෙන බවයි.

එවැනි වරදක් සම්බන්ධයෙන් භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බරපතළ ආගමික ගැටලුවක් බවට පත්විය හැකි බව සංඝරත්නය තමන්ට පෙන්වාදුන් බව ඔහු සඳහන් කරයි.එමෙන්ම භික්ෂූන් වහන්සේ නමකගේ විනය සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව මැදිහත්වීමේ සම්ප්‍රදාය පිළිබඳවද සාකච්ඡා වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියත් සාකච්ඡාවට

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළකර ඇත.බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සහ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රාජ්‍යයට පැවරෙන වගකීම මෙම ගැටලුවේදී සැලකිල්ලට ගත යුතු බව සංඝරත්නය පෙන්වාදුන් බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙස සංඝරත්නයට දැනුම් දුන් බවත්, පසුව තමන්ද ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඔහු පවසයි.

ජනාධිපති සමාව පිළිබඳ ලිඛිත සටහන් නොතැබීම ගැනත් ප්‍රකාශයක්

ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලියේදී ලිඛිත හේතු සහ සාකච්ඡා සටහන් තබාගැනීම පිළිබඳවද හිටපු ජනාධිපතිවරයා අදහස් පළකර තිබේ.තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ කිසිවකුට විශේෂ ජනාධිපති සමාවක් ලබා නොදුන් බව පැවසූ ඔහු, නිදහස් දිනය සහ වෙසක් දිනය වැනි අවස්ථාවලදී සිරකරුවන්ගේ දඬුවම් කාලය අඩු කිරීමේ ක්‍රමවේද පිළිබඳවද පැහැදිලි කර තිබේ.

එවැනි අවස්ථාවලදී සෑම තීරණයක් සඳහාම ලිඛිත හේතු සටහන් නොකළ බව ඔහු සඳහන් කරයි.එමෙන්ම අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සාකච්ඡාවල සටහන් තබා නොගත් බවද ඔහු පවසා තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ආගමික ප්‍රශ්නයක් බව රනිල් කියයි

ඥානසාර හිමියන්ට අධිකරණයෙන් දඬුවම් ලබාදී තිබූ බවත්, එම දඬුවමෙන් පසුව මතුවූ ගැටලුව භික්ෂු විනය සහ සිවුර සම්බන්ධ ප්‍රශ්නයක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.ඔහුට අනුව, අධිකරණ තීන්දුව ලබාදුන් දිනයේම සමාව ලබාදුන්නේ නම් එය වෙනත් තත්ත්වයක් වීමට ඉඩ තිබිණි. එහෙත් සිරදඬුවමෙන් කොටසක් විඳීමෙන් පසුව මතුවූයේ ආගමික සහ විනය පිළිබඳ ප්‍රශ්නයක් බව ඔහුගේ ස්ථාවරයයි.

කොළඹ – මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති එක්සත් ජාතික පක්ෂ නීතිඥ හමුවේදී VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස්

ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණ බාධා කරනු ලැබුවා. එයට එතැන හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ ගැන ක්‍රියා කරන්න දැනුම් දීම කළා. අභියාචනාධිකරණය හාමුදුරුවන්ට සිරදඬුවම දුන්නා.

එදා හාමුදුරුවන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කළේ නැහැ. මේ ගැන තලතා අතුකෝරළ එවකට අධිකරණ ඇමතිනිය කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යැව්ව ලිපිය මා ළඟ තිබෙනවා. ලිපියේ සිවුර ඉවත් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තිබුණි.

අවුරුද්දක් ගියාට පසු ඇතැම් සංඝයා වහන්සේලා මාව හම්බවෙලා කිව්වා, ‘දැන් ඉතින් කොහොමත් ඥානසාර හාමුදුරුවන්ට අපේ ආශ්‍රයේ වැඩකටයුතු කරන්න සිදුවෙනවා. අනෙක සිවුර අරින එක බලන්නේ අපරාධ නඩුවලදී පමණයි. පාරාජිකා තත්ත්වයට පත්වුණාම සිවුර අයින් කරන්න පුළුවනි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඒත් උසාවියට බාධා කිරීම, අවනම්බු කිරීම ඇත්ත වශයෙන්ම පාරාජිකා ක්‍රියාවක් නොවෙයි’ කියාත් ස්වාමීන් වහන්සේලා මා සමග පැවසුවා.

සංඝයා වහන්සේලා මෙසේත් කියා සිටියා,

සාමාන්‍යයෙන් එහෙම එකක් සිදුවුණා නම් ඒ සංඝයා වහන්සේ කැඳවා, අවවාද කර අදාළ නිකාය නැතිනම් පාර්ශ්වයේ කාරක සභාවලින් පසු භාවනා කරන්න හරි අප කල් දෙනවා. මේ අනුව තමයි කරන්නේ. පාරාජිකා නොවන කාරණයකට සිවුර ඉවත් කළොත් එය විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා. 9 වැනි වගන්තියට පටහැනියි. බුද්ධාගම ආරක්ෂා කිරීම ලෙස තිබූ එක 1972 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බුද්ධ ශාසනය ලෙස කපා සංශෝධනය කළා යැයිද සංඝරත්නය වැඩිදුරටත් මට සිහිපත් කර සිටියා.

මා කිව්වේ මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා බුද්ධාගම, බුද්ධ ශාසනය ආදී ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක කතා කරන්න. එතුමාට තමයි ජනාධිපති ලෙස මේ වගකීම තිබෙන්නේ. ඒ අය ගිහින් එතුමා එක්ක කතා කළා. අප අතරත් සාකච්ඡා වුණා, අපත් එතුමාත් එක්ක කතා කළා. අවුරුද්දක් ගියාට පසු හාමුදුරුවන්ගේ සිවුර ගලවා බන්ධනාගාරයට යවනවාද, නැතිනම් අවුරුද්දක් ගිය දඬුවමක් දුන්න නිසා සමාව දී පිට කරනවාද? හැමදාම හාමුදුරුවන් මේ තත්ත්වයේ තියාගන්න බැහැනේ. කවුරු හරි මේක ප්‍රශ්න කරයි.

එතුමාගේ තීරණය වුණේ දැන් අවුරුද්දක් ගත කළා, සමාව දී පිට කරමු කියලායි. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒ ගැන ඉස්සෙල්ලා අප අතර කතා කළා මේකයි හොඳම එක කියා කැබිනට් එකේදීත් කතා කළා. අගමැති ලෙස අනෙක් ඇමතිවරුන් ගණනාවක් එක්ක කතා කර මෙහෙමයි මේක කරන්න ඕනෑ කියා මා ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ සිටියදී සිවුර අයින් කළොත් ඔක්කොම අපේ ඇඟට කඩා දමයි. ඒ නිසා සමාව දෙන්න තීරණය කළා. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒක දුන්නේ නව වැනි වගන්තිය යටතේයි.

මා කාටවත් සමාව දුන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් නිදහස් දිනේ, වෙසක් දිනේ එහෙම සිරකරුවන්ගේ කාලසීමාව අඩු කර නිදහස් කරනවා. ඒවාට හේතු දුන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා වුණේ ලේකම්තුමා ඇවිල්ලා මොකක්ද කරන්නේ වෙසක් එකට කියා අහනවා.

විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ‘පුළුවන් තරම් පිට කරන්න, මේක පිරිලා තිබෙන්නේ, තව ගන්න බැහැ’ කියලයි. මා කිව්වේ විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට කතා කර පුළුවන් හැම කෙනාටම සමාව දෙන්න කියලයි. මා වාචිකව කිව්වා මිස වෙන මොකුත් ලියන්න ගියේ නැහැ. වෙසක් දිනට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහෙම කළා. මේක විතරක් නොවෙයි, ඇත්ත වශයෙන්ම අනෙක් කරුණුවලදී ද අප හේතු ලියන්නේ නැහැ.

එංගලන්තයේ එක එක හේතු ලියනවා. හුඟක් රටවල්වල එහෙම නැහැ. අප කතා කරන්නේ ලේකම් සමගයි. දැන් ලේකම්ට හැන්ඩ්ෆෝන් එකෙන් කතා කරන්න පුළුවනි.

අනෙක් අය ඊමේල් දානවා, මේගොල්ලෝ අද ඔක්කොම ඊමේල් කරනවානේ? එහෙම යනකොට මිනිට් (සටහන්) තියාගන්න එක ප්‍රශ්නයක් වෙනවා. AI ඇහුවාම මොනවා වෙයිද කියා මා දන්නේ නැහැ.

මා දන්නවා අනෙක් රටවල්වලත් සටහන් තියන්නේ නැහැ. මා නම් ඒක කර නැහැ, අගමැති හැටියටවත් සටහන් තබා නැහැ. සාම ගිවිසුමේ මා මිනිට් (සටහන්) තැබුවා. කරුණා අප සමග ඉන්නවාද?

ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරවරයා සම්බන්ධයෙන් මෙතැන ප්‍රශ්නයක් ඇහුවා.

ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරතුමාට ‘දලිත්’ කියා පහත් ජාතියට බැනලයි සපත්තුවෙන් ගැහුවේ. නිකන් සපත්තුවෙන් ගැහුවේ නැහැ, දලිත් කියා ගැහුවා. ඒ තත්ත්වය මතක් කරලයි. ඉන්දියාවේ හුඟක් වෙලාවට අවවාද කරනවා, නැතිනම් මාසයක් විතර තියාගෙන පිට කරනවා.

ප්‍රශ්නය නිසා අනෙක් ආගම්වලට හානියක් වුණේ නැහැ. මේ ප්‍රශ්නය නිසා ඥානසාර ස්වාමීන් වහන්සේට දඬුවමක් දුන්නා. ඊට පසුව ඇති වූ ප්‍රශ්නය වූයේ විනය කඩ කර සිවුර අයින් කරනවාද, විනය ආරක්ෂා කර පිට කරනවාද යන්නයි. මෙය ආගමික ප්‍රශ්නයක් වනවා. මෙතැනදී බෞද්ධ මතය ප්‍රකාශ වුණා. ඒ බහුතරයේ මතයයි. කොහොමද ඒකට විරුද්ධව CPA යන්නේ? මේවට නම් අපට සහයෝගය දෙන්න බැහැ. මේක හරි නැහැ. ඒක වැරදියි. දැන් ආගමික ප්‍රශ්නයක් වෙලා.

හාමුදුරුවන්ට දඬුවම් නොකෙරුවා නම් ඒක වෙන එකක් වනවා. නැතිනම් නඩු තීන්දුව දුන්න දවසේම සමාව දුන්නා නම් වෙනත් තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේකෙන් පසුව ආවේ ආගමික සහ විනය පිළිබඳ ප්‍රශ්නයකැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed