පොර Talk සහ චොර Talk! හමුදාව අඩු කරන බව කී ආණ්ඩුවෙන් ආරක්ෂාවට රු. බිලියන 688.5ක්!
ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 458යි — මහජන ආරක්ෂාවට බිලියන 230.5යි — අධ්‍යාපනයට බිලියන 328යි
ජාතික ජන බලවේග ආණ්ඩුවේ 2027 විසර්ජන පනත් කෙටුම්පත අනුව ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහා එකතුව රුපියල් බිලියන 688.5ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 458ක් වෙන් කර ඇති අතර, මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට රුපියල් බිලියන 230.5ක් වෙන් කර ඇත. මීට සාපේක්ෂව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 328කි.
ඒ අනුව ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ දෙකට වෙන් කර ඇති මුදල අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
2027 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,992කට වැඩි වනු ඇතැයි විසර්ජන පනත් කෙටුම්පතෙන් ඇස්තමේන්තු කර තිබේ. ජනාධිපති සහ මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කතාව හෙවත් පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා කියන දේ නොකරන බව අප හොදින්ම දනී. නමුත් සැලකිල්ලෙන් බැලිය යුතු කරුණ වන්නේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආ අයම දැන් ජාතික ආරක්ෂාව මොනතරම් වැදගත්ද යන්න වටහා ගැනිමය.ඇතැම් විට ඒකාධිපති පාලනයක් හරහා බලය පවත්වාගෙන යෑම සදහා සුදානමක් වෙනුවෙන් මේ වෙන්කිරිම සිදුකල හැක. මන්ද කවදත් මනෝරාජික ලෝකවල ජිවත් වන පැලවත්තේ JVP කාඩරයට ඇත්ත ලෝකයේ ඉඩක් නැති බව ඔහුන්ද හොදින්ම දන්නා කරුණකි.
මහජන ආරක්ෂක වියදම 19%කට වැඩි ප්‍රමාණයකින් ඉහළට
2026 අයවැය සමඟ සැසඳීමේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය රුපියල් බිලියන 455 සිට බිලියන 458 දක්වා ඉහළ ගොස් තිබේ. එය සාපේක්ෂව සුළු වැඩිවීමකි.
එහෙත් මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය රුපියල් බිලියන 193 සිට රුපියල් බිලියන 230.5 දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනේ. එය වසරක් තුළ සියයට 19කට වැඩි වැඩිවීමකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය ද රුපියල් බිලියන 301 සිට බිලියන 328 දක්වා ඉහළ දමා තිබේ.
2027 අයවැයෙන් වැඩිම මුදල වෙන් කර ඇත්තේ මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 856.9කි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 651ක්ද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බිලියන 590.5ක්ද, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට බිලියන 500ක්ද වෙන් කර ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය රුපියල් බිලියන 218කි.
“2030 වනවිට හමුදාව අඩු කරනවා” ජනපති පාර්ලිමේන්තුවේදී කී දේ
මෙම අයවැය ප්‍රතිපාදන පිළිබඳ සංවාදයේ තවත් වැදගත් පසුබිමක් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කළ සන්නද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මයි.
2025 පෙබරවාරි 28 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 2030 වනවිට ත්‍රිවිධ හමුදාවේ සාමාජික සංඛ්‍යාව අඩු කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.
එම සැලැස්ම අනුව යුද හමුදාව 100,000 දක්වාත්, නාවික හමුදාව 40,000 දක්වාත්, ගුවන් හමුදාව 18,000 දක්වාත් සීමා කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
එහෙත් හමුදා සාමාජික සංඛ්‍යාව අඩු කිරීම යනු ආරක්ෂක හැකියාව දුර්වල කිරීමක් නොවන බවද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ. සාමාජික සංඛ්‍යාව අඩු කරන අතරම නවීන තාක්ෂණය, නව ගුවන් යානා, නාවික යාත්‍රා සහ උපකරණ හඳුන්වා දෙමින් වඩාත් වෘත්තීයමය හා තාක්ෂණික හැකියාවෙන් යුත් හමුදාවක් නිර්මාණය කිරීම සිය අරමුණ බව ඔහු පවසා තිබුනා.
2026 අගෝස්තු මාසයේ පැවති 2027 ආරක්ෂක අමාත්‍යාංශ පූර්ව අයවැය සාකච්ඡාවලදීද ආරක්ෂක අංශ නවීන තාක්ෂණය සහ උසස් තාක්ෂණික උපකරණ සමඟ වේගයෙන් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි. විදේශ පුහුණු අවස්ථා සඳහා ප්‍රතිපාදන වැඩි කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබේ.
අඩු කිරීම අතරේ බඳවා ගැනීම්ද
කෙසේ වෙතත්, 2030 වනවිට සමස්ත හමුදා ප්‍රමාණය අඩු කිරීමේ ඉලක්කයක් තිබුණද නව බඳවා ගැනීම් සම්පූර්ණයෙන් නතර වී නොමැත.
2026 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව සඳහා නිලධාරි ශිෂ්‍ය බඳවා ගැනීම් සිදු කර ඇති අතර, අගෝස්තු මාසයේදී හේනානිගල යුද හමුදා බඳවාගැනීමේ පුහුණු මධ්‍යස්ථානයේ නව බඳවාගත් පිරිස් පුහුණුව ලබමින් සිටි බව යුද හමුදාවම වාර්තා කර තිබේ.
උතුරු–නැගෙනහිර හමුදා ඉඩම් ගැනත් තවම විවාදයක්
මේ අතර ගැටුම් සමයේ ආරක්ෂක කඳවුරු සඳහා ලබාගත් උතුරු සහ නැගෙනහිර පළාත්වල පෞද්ගලික හා රාජ්‍ය ඉඩම් නැවත මුල් හිමිකරුවන්ට සහ ප්‍රජාවන්ට ලබාදීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
2026 අගෝස්තු 20 පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ආරක්ෂාව සඳහා තවදුරටත් අවශ්‍ය නොවන බව හඳුනාගෙන ඇති එවැනි ඉඩම් නිදහස් කිරීම කඩිනම් කරන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. එහෙත් ජාතික ආරක්ෂාව සඳහා කුමන හමුදා කඳවුරු සහ ආරක්ෂක ස්ථාන තවදුරටත් අවශ්‍යද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අදාළ ආරක්ෂක ආයතනවල වගකීම බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ඒ අනුව 2027 අයවැය හරහා පෙනී යන්නේ එක් පැත්තකින් 2030 වනවිට හමුදා සාමාජික සංඛ්‍යාව අඩු කර වඩාත් තාක්ෂණික හා වෘත්තීයමය ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගීමට ආණ්ඩුව ප්‍රකාශ කර ඇති අතර, අනෙක් පැත්තෙන් ආරක්ෂක සහ මහජන ආරක්ෂක අංශ සඳහා සැලකිය යුතු රාජ්‍ය මුදල් ප්‍රමාණයක් තවදුරටත් වෙන් කර ඇති බවයි.
ඒ නිසා 2027 අයවැය විවාදයේදී අවධානය යොමු විය හැකි ප්‍රධාන කරුණක් වන්නේ රුපියල් බිලියන 688.5ක ආරක්ෂක හා මහජන ආරක්ෂක ප්‍රතිපාදනය කුමන වියදම් ශීර්ෂවලට යොදවන්නේද, සහ එය 2030 හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම සමඟ කෙසේ සම්බන්ධ වන්නේද යන්නයි.
