September 30, 2026

ආර්ථික ස්ථාවරත්වය පිටුපස අවදානම් රැසක්!“ප්‍රතිසංස්කරණ දැනටමත් ප්‍රමාදයි”

0
Dhananath Fernando

වසර දෙකක ආර්ථික ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට රජය සමත් වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේ බරපතළ අවදානම් රැසක් ගොඩනැගෙමින් පවතින බව Advocata Institute ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

ආර්ථික වර්ධනය ඇති කිරීමට අවශ්‍ය ප්‍රධාන ප්‍රතිසංස්කරණ දැනටමත් ප්‍රමාද වී ඇති අතර, මැදපෙරදිග අර්බුදය සහ ඉහළ බලශක්ති මිල හේතුවෙන් ආනයන බිල ඉහළ යාම, රුපියල මත පීඩනය වැඩිවීම සහ උද්ධමනය නැවත ඉහළ යාමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කරයි.

ඒ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ වන ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යයේ ආර්ථික මන්දගාමීත්වයද මෙරට අපනයන ආදායමට අභියෝගයක් විය හැකි බව ඔහුගේ අදහසයි.

IMF වැඩසටහනෙන් පසු නිසි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වීම පවා දුෂ්කර විය හැකි බව පෙන්වා දෙන ධනනාත් ප්‍රනාන්දු, “ප්‍රතිසංස්කරණ දැනටමත් ප්‍රමාදයි” යනුවෙන් අනතුරු අඟවයි.

2026 සැප්තැම්බර් 27 දින Sunday Observer පුවත් පතේ රත්ඉන්ද්‍ර කුරුවිට (Rathindra Kuruwita) සමග Advocata Institute ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු කල සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

“ඉන්ධන මිල සූත්‍රය තවත් විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කළ හැකිව තිබුණා.”

“රජය IMF සමඟ එකඟ වූ ප්‍රාථමික ශේෂ ඉලක්ක පවා ඉක්මවා ගොස් තිබෙනවා.”

“ශ්‍රී ලංකාව සිය විදුලිබල ජාලය ඉන්දියාව සමඟ සම්බන්ධ කළ යුතුයි. එය දේශපාලනිකව ජනප්‍රිය නොවුණත් ආර්ථික වශයෙන් අර්ථවත්.”

“මෙවර අයවැය ඉතා තීරණාත්මකයි. ජනාධිපතිවරයාට සැලකිය යුතු ක්‍රියාකාරී නිදහසක් තිබෙන අවසන් අයවැය මෙය විය හැකියි.”

ජාතික ජන බලවේග (NPP) රජයේ පළමු වසර දෙක තුළ දේශීය හා ගෝලීය කම්පන රැසකට මුහුණ දීමට සිදු වුවද ශ්‍රී ලංකා ආර්ථිකය පුළුල් වශයෙන් ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යාමට හැකි වී තිබේ.

එහෙත් ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම, බලශක්ති පීඩනය සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල දුර්වල තත්ත්වය හමුවේ, ඉදිරි අදියරේදී තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කළ හැකි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව Advocata Institute හි ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසයි.

ප්‍රශ්නය: පසුගිය වසර දෙක තුළ රජයේ ආර්ථික කාර්යසාධනය ඔබ තක්සේරු කරන්නේ කෙසේද?

ආර්ථික ස්ථාවරත්වය දෙස බැලූ විට රජය ඉතා හොඳ කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති බව මගේ අදහසයි. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කළා.පළමු වසර දෙක තුළ ප්‍රධාන කම්පන තුනකට මුහුණ දීමට සිදු වුණා. ඒ Trump තීරුබදු, Ditwah සුළි කුණාටුව සහ දැන් පවතින මැදපෙරදිග අර්බුදයයි.

පළමු කම්පන දෙක හොඳින් කළමනාකරණය කළා. තුන්වැන්නත් සාධාරණ ලෙස කළමනාකරණය කර තිබෙනවා. එහෙත් ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තවත් හොඳින් ගැළපීම් සිදු කළ හැකිව තිබුණා.ප්‍රතිපත්තිවල අඛණ්ඩතාවත් පවත්වාගෙන ගියා. බල හුවමාරුව සිදු වූ අවස්ථාවේදී පවා ප්‍රධාන නිලධාරීන් සිය තනතුරුවල තබාගැනීම ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට උපකාරී වුණා. එය ධනාත්මක කරුණක්.

දෙවැනි ධනාත්මක අංශය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි. රජය ඉතා හොඳින් කටයුතු කර ඇති අතර IMF සමඟ එකඟ වූ ප්‍රාථමික ශේෂ ඉලක්ක පවා ඉක්මවා ගොස් තිබෙනවා.රාජ්‍ය ආදායම් එකතු කිරීමත් හොඳ මට්ටමක තිබුණා. වාහන ආනයනය එයට දායක වුණා. මැදපෙරදිග අර්බුදයේ බලපෑම දැනෙන්නට පටන්ගත් පසුගිය මාස තුන හෝ හතර දක්වා ජංගම ගිණුමේ අතිරික්තයක් ද පවත්වාගෙන ගොස් තිබුණා.

පොදු ප්‍රවාහනය වැනි ක්ෂේත්‍රවලත් දිරිගන්වනසුලු වර්ධනයන් කිහිපයක් දක්නට ලැබුණා. ජනතාවට සෘජුව බලපාන ගැටලු කිහිපයක් රජය හඳුනාගෙන ඇති බවත් පෙනෙනවා.තවත් ධනාත්මක පියවරක් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමයි.

මම කැමති ආකාරයට එය සිදු නොවුණා. පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා වැඩි ඉඩක් ලබාදිය යුතු බවයි මගේ අදහස. එහෙත් සම්ප්‍රේෂණය, විදුලි ජනනය සහ බෙදාහැරීම වෙන් කිරීමට රජය අවම වශයෙන් පියවර ගෙන තිබෙනවා.බොහෝ රජයන්ට එවැනි පියවරක්වත් ගැනීමට අපහසු වී තිබුණු නිසා එය වැදගත්.

රජයට තවත් හොඳින් කළ හැකිව තිබුණේ කොතැනද?

එක් අංශයක් වන්නේ ඉන්ධන මිල සංශෝධනයයි. පසුගිය මාස තුන තුළ ජංගම ගිණුමේ හිඟයක් ඇතිවීමට මෙය යම් ප්‍රමාණයකින් දායක වූ බව මගේ අදහසයි.ඉන්ධන මිල වැඩි කළ හැකි සීමාවක් තිබෙන බව තේරුම්ගත හැකියි. නමුත් මිල ගැළපීම් තවත් හොඳින් කළමනාකරණය කළ හැකිව තිබුණා.

ඉන්ධන මිල සූත්‍රය තවත් විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කළ හැකිව තිබුණා. එමෙන්ම මාසයකට එක් වරක් පමණක් නොව, අවශ්‍යතාව අනුව වැඩි වාර ගණනකදී මිල සංශෝධනය කිරීම ගැනත් සලකා බැලිය හැකිව තිබුණා.තවත් අංශයක් වන්නේ සූදු නියාමන අධිකාරිය (GRA) යි. සූදු ක්ෂේත්‍රය නැගී එන කර්මාන්තයක්. රජය එය සැබෑ ලෙසම සංවර්ධනය කිරීමට අදහස් කරන්නේ නම් වඩා ශක්තිමත් නියාමන රාමුවක් අවශ්‍යයි.

අධිකාරියක් පිහිටුවා තිබුණත් අදාළ නීති සහ එහි බලතල දුර්වල කර තිබෙනවා. මේ ක්ෂේත්‍රයට තවත් අවධානයක් ලබාදිය හැකිව තිබුණා.කෙසේ වෙතත්, විශාලතම දුර්වලතාව වන්නේ ආර්ථික වර්ධනය ඇති කරන ප්‍රතිසංස්කරණ ප්‍රමාණවත් ලෙස සිදු නොවීමයි.

අවාසනාවකට, ආර්ථික වර්ධනය ජනනය කිරීමට ඉලක්ක කරගත් ප්‍රධාන ප්‍රතිසංස්කරණ තවමත් අප දැක නැහැ.

ප්‍රශ්නය: “වර්ධන ප්‍රතිසංස්කරණ” යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

ආර්ථිකයක් මූලික වශයෙන් රඳා පවතින්නේ ඉඩම්, ශ්‍රමය සහ ප්‍රාග්ධනය මතයි. ඒවා එකට සම්බන්ධ කරන ව්‍යවසායකත්වයත් ඊට එක් වෙනවා.ශ්‍රී ලංකාවේ මේ සියලු නිෂ්පාදන සාධක වෙළෙඳපොළවල සැලකිය යුතු බාධක තිබෙනවා.

ඉඩම්

උදාහරණයක් ලෙස ඉඩම් ගන්න. ශ්‍රී ලංකාවේ ඉඩම්වල විශාල ප්‍රමාණයක් රජයට අයත්.ආයෝජකයෙකු ශ්‍රී ලංකාවට පැමිණියත්, විශේෂයෙන් බස්නාහිර පළාතේ අපගේ කර්මාන්ත කලාපවල සියයට 95ත් 98ත් අතර ප්‍රමාණයක් දැනටමත් භාවිතයට ගෙන තිබෙනවා.

පුද්ගල මට්ටමින් බැලූ විටත් බොහෝ දෙනාට තම ඉඩම් සම්බන්ධයෙන් පැහැදිලි දේපළ අයිතියක් නැහැ.යම් පුද්ගලයෙකු නිවසක් ඉදිකිරීමට බැංකු ණයක් ලබාගැනීමට ගිය විට බැංකුව ඇපයක් ඉල්ලනවා. ගොවීන්ටත් එම ගැටලුවම තිබෙනවා.

නමුත් ඔබට ඉඩමේ නිසි නීත්‍යානුකූල අයිතියක් නැත්නම් එය ඵලදායී ලෙස ඇපයක් ලෙස භාවිතා කරන්න බැහැ. එවිට ඵලදායිතාව වැඩි කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාගැනීම අපහසු වෙනවා.ඉඩම් ප්‍රතිසංස්කරණ අසීරුයි. නමුත් කවුරුන් හෝ එයට මුහුණ දිය යුතුයි.

වසර 20ක් හෝ 30ක් තිස්සේ පවතින ඉඩම් හිමිකම් ලබාදීමේ වැඩසටහනක් දැනටමත් තිබෙනවා. ඒ සඳහා තවත් ආයෝජනය කළ යුතුයි. ඉඩම් වාර්තා ඩිජිටල්කරණය කර නිසි හිමිකම් ඔප්පු නිකුත් කළ යුතුයි.

ශ්‍රම වෙළෙඳපොළ

දෙවැනි අංශය ශ්‍රමයයි.දේශපාලනිකව මෙය අසීරු කාරණයක්. නමුත් ශ්‍රී ලංකාවේ ශ්‍රම නීති ඉතා දැඩියි. ඒවා සරල කළ යුතුයි.ඉතා සුදුසුම විසඳුම වන්නේ ශ්‍රී ලංකාවට ඒකාබද්ධ ශ්‍රම නීති සංග්‍රහයක් තිබීමයි.

අර්ධකාලීන රැකියා සහ නම්‍යශීලී වැඩ කරන වේලාවන් සඳහා ඉඩ ලබාදෙන ලෙස නීති නැවත සකස් කළ යුතුයි.විශේෂයෙන් කාන්තාවන්ට තමන්ගේ තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට රැකියා කිරීමට පහසුකම් ලබාදීමත් අවශ්‍යයි.මේ ප්‍රතිසංස්කරණ වැදගත් වන්නේ සමස්ත ආර්ථිකය දැනටමත් ශ්‍රම හිඟයකට මුහුණ දෙන නිසායි.

ප්‍රාග්ධනය

තුන්වැනි අංශය ප්‍රාග්ධනයයි.දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රාග්ධනය ගමන් කිරීම සම්බන්ධයෙන් සීමා තිබෙනවා. මේ සීමාත් ප්‍රතිසංස්කරණය කර ක්‍රමයෙන් ඉවත් කළ යුතුයි.

ශ්‍රමයට සම්බන්ධ තවත් ගැටලුවක් වන්නේ මිනිසුන්ට නිදහසේ සංචරණය කිරීමට ඇති බාධායි.උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකිකයෙකු විදේශිකයෙකු සමඟ විවාහ වී සිටිනවා නම් එම විදේශීය සහකරුට හෝ සහකාරියට ශ්‍රී ලංකාවේ රැකියාවක් කිරීමේ අයිතිය ලබාගැනීම ඉතා අපහසුයි.

ශ්‍රී ලංකාවට ශ්‍රම හිඟයක් තිබෙන තත්ත්වයක එය එතරම් අර්ථවත් දෙයක් නොවෙයි.අප විදේශිකයන් ලෙස වර්ග කරන සමහරුන්ට ශ්‍රී ලාංකික මූලයන් තිබෙනවා. අපේ ඉතිහාසයේ අසීරු කාලවලදී ඔවුන් රට හැර ගියා. අද ඔවුන් විදේශ රටවල පුරවැසියන් වුණත් ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වාගෙන යනවා.අපට ඒ ප්‍රජාවෙන් ප්‍රයෝජන ගත හැකි නම් ඔවුන් ප්‍රාග්ධනය, ජාත්‍යන්තර සබඳතා ජාල සහ දැනුම රටට ගෙන එන්න පුළුවන්.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ ඉහළ විදුලි මිල ආයෝජකයන්ටත් පාරිභෝගිකයන්ටත් ප්‍රධාන ගැටලුවක්. දිගුකාලීනව විදුලි මිල අඩු කළ හැක්කේ කෙසේද?

අඩු වියදම් බලශක්ති ප්‍රභව ශ්‍රේණිගත කළොත් ජල විදුලිය ඉදිරියෙන් සිටිනවා. ඉන්පසු නැෆ්තා, සූර්ය බලශක්තිය සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව, ගල් අඟුරු සහ අනෙකුත් ජනන ක්‍රම තිබෙනවා.

ගැටලුව වන්නේ ජල විදුලිය සහ සූර්ය බලශක්තිය හැර අඩු වියදම් සහිත සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභව බොහොමයකට සැලකිය යුතු පාරිසරික වියදම් තිබීමයි.

දිගුකාලීනව ශ්‍රී ලංකාව සිය විදුලිබල ජාලය ඉන්දියාව සමඟ සම්බන්ධ කළ යුතු බව මගේ අදහසයි.එය දේශපාලනිකව ජනප්‍රිය තීරණයක් නොවිය හැකියි. නමුත් ආර්ථික වශයෙන් එය අර්ථවත්.එවැනි ජාල සම්බන්ධතාවක් තිබුණොත් ශ්‍රී ලංකාවට හැකි උපරිම විදුලිය නිපදවා අතිරික්තය අපනයනය කරන්න පුළුවන්.

දැනට අමතර විදුලිය නිපදවූවත් එය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට තරම් අපගේ විදුලි ජාලය ස්ථාවර නැහැ.ඒ නිසා ජාලය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා.

වත්මන් රාජ්‍ය මූල්‍ය තත්ත්වය අනුව අවශ්‍ය සියලු ආයෝජන රජයට පමණක් දැරිය හැකි බව සිතන්න අමාරුයි.ප්‍රායෝගික විසඳුම වන්නේ විදුලි ජාල සංවර්ධනය සඳහා යම් මට්ටමක පෞද්ගලික ආයෝජනයට ඉඩ ලබාදීමයි.

CEB ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු විදුලි ජනන වත්කම් කාණ්ඩගත කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද ගැටලුවක් තිබෙනවා.ජල විදුලි ජනනය වෙනම සමාගමකටත්, ගල් අඟුරු විදුලි ජනනය වෙනම සමාගමකටත්, අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ජනනය තවත් සමාගමකටත් පැවරිය හැකිව තිබුණා.

උදාහරණයක් ලෙස ජල විදුලිය සහ ගල් අඟුරු එකම සමාගමක් යටතේ තිබුණොත්, එම සමාගම සතුව ගල් අඟුරු වත්කම් ද තිබෙන නිසා හරිත ආයෝජන අරමුදලක් එහි ආයෝජනය කිරීමට අකමැති විය හැකියි. ඇතැම්විට ඔවුන්ගේ ආයෝජන නීති අනුව එය කළ නොහැකි විය හැකියි.ඒ නිසා මේ වෙන් කිරීම තවත් ඉදිරියට ගෙන යා හැකිව තිබුණා.

දිගුකාලීනව ගල් අඟුරු බලාගාර එක සමාගමකටත්, ජල විදුලි බලාගාර තවත් සමාගමකටත්, සූර්ය සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති වෙනම සමාගමකටත් වෙන් කිරීම සුදුසුයි.එවිට විශේෂිත ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම පහසු වෙනවා.

ඒ සමඟම විදුලි ජාලය නවීකරණය කළ යුතුයි. එවිට පමණක් electricity wheeling වැනි ක්‍රම නිසි ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්.එනම් පෞද්ගලික විදුලි නිෂ්පාදකයෙකු නිපදවන විදුලිය තෙවන පාර්ශ්වයක සම්ප්‍රේෂණ හෝ බෙදාහැරීමේ ජාලයක් හරහා වෙනත් අවසාන පාරිභෝගිකයෙකු වෙත යැවීමයි.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ වත්මන් IMF වැඩසටහන අවසන් අදියරට ළඟා වෙමින් තිබෙනවා. ඉන්පසු කුමක් කළ යුතුද? තවත් IMF වැඩසටහනකට යා යුතුද?

හොඳම තත්ත්වය වන්නේ IMF සහාය නොමැතිව ශ්‍රී ලංකාවට අවශ්‍ය වර්ධන ප්‍රතිසංස්කරණ අප විසින්ම ක්‍රියාත්මක කිරීමයි.නමුත් එය සිදු කිරීමට ආයතනික හැකියාව, පැහැදිලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක්, විශ්වාසනීය සැලැස්මක් සහ එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අවශ්‍යයි.ගැටලුව වන්නේ ගෝලීය තත්ත්වය එතරම් හිතකර නොවීමයි.

ඇමෙරිකානු පොලී අනුපාත ඉහළ ගොස් තිබෙනවා. බලශක්ති අර්බුදයකුත් තිබෙනවා.IMF වැඩසටහනක් නොමැතිව ඉදිරියට යාමට උත්සාහ කර, පසුව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් එහි ප්‍රතිවිපාක බරපතළ විය හැකියි.

එවිට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වීම අපහසු වෙනවා.Fitch ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය මෑතකදී B- දක්වා ඉහළ දැමීම සාධනීය වර්ධනයක්. එහෙත් ද්විතීයික වෙළෙඳපොළේ ශ්‍රී ලංකා බැඳුම්කර තවමත් ඉහළ මිලකට ගනුදෙනු වෙනවා.

IMF වැඩසටහනක් තිබුණොත් අඩු පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වෙනවා. එමෙන්ම වෙළෙඳපොළට සහ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට යම් විශ්වාසයක් ලබාදෙනවා.ප්‍රතිපත්තිමය වශයෙන් මගේ කැමැත්ත IMF නොමැතිව කටයුතු කිරීමයි.

නමුත් ගෝලීය ආර්ථිකයේ පවතින අවිනිශ්චිතභාවය සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලයේ ඉතිරි වසර සලකා බැලූ විට, ප්‍රායෝගිකව යම් ආකාරයක IMF එකඟතාවක් පවත්වාගෙන යාම අර්ථවත් විය හැකියි.එය තවත් Extended Fund Facility (EFF) වැඩසටහනක් විය යුතුම නැහැ.

Stand-By Arrangement (SBA) එකක් වඩා සුදුසු විය හැකියි. එයින් යම් පාලන හා සමතුලිතතා යාන්ත්‍රණයක් ලැබෙනවා.සාමාන්‍යයෙන් රජයන් IMF වැඩසටහන්වලට කැමති නැහැ. ඒවා රජයේ ක්‍රියාකාරී නිදහස සීමා කරන නිසා.

මෙවර අයවැයෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් මැතිවරණ චක්‍රයකට ඇතුළුවීමට පටන්ගන්නා බැවින් මේ කාරණය තවත් වැදගත් වෙනවා.ඒ නිසා ප්‍රායෝගික දෘෂ්ටිකෝණයකින් බැලූ විට යම් ආකාරයක IMF Stand-By වැඩසටහනක් වඩා සුදුසු විකල්පයක් විය හැකියි.

ප්‍රශ්නය: ඩීසල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් ආර්ථිකයට කුමක් සිදුවෙයිද?

බලපෑමක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා.ආර්ථික ක්‍රියාකාරකම් යම් ප්‍රමාණයකින් මන්දගාමී වෙනවා. උද්ධමන පීඩනයත් වැඩි වෙනවා.එහෙත් ජනප්‍රිය තීරණයක් නොවුණත්, මේ අවස්ථාවේ ඩීසල් මිල වැඩි කිරීම වඩා සාධාරණ තීරණය බව මගේ අදහසයි.

රජය ඉන්ධන කෝටා පැනවූ මාර්තු සහ අප්‍රේල් මාසවල දත්ත බැලූ විට ඉතා ඉහළ ඉන්ධන පරිභෝජනයක් තිබුණා. එයට ප්‍රධාන හේතුවක් වූයේ ඉන්ධන රැස්කර තබාගැනීමයි.මිල සංශෝධනයෙන් පසු පරිභෝජනය අඩු වී පසුව ස්ථාවර වුණා.

දැන් ඩීසල් මිල වැඩි නොකළොත් කරුණු දෙකක් සිදුවිය හැකියි.පළමුව, රජයට විශාල සහනාධාරයක් ලබාදීමට සිදු වෙනවා.

දෙවැනුව, පාරිභෝගිකයන්ට ඉන්ධනවල සම්පූර්ණ පිරිවැය දැනෙන්නේ නැති නිසා ඩීසල් පරිභෝජනය අවශ්‍ය තරම් පහළ යන්නේ නැහැ.බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා දිගටම පැවතුණොත් අපගේ ආනයන බිල විශාල ලෙස ඉහළ යා හැකියි.

එවිට රුපියල මත පීඩනයක් ඇති වෙනවා. රුපියල අවප්‍රමාණය වුණොත් අවසානයේ ඉන්ධන මිල කොහොමත් වැඩි කිරීමට සිදු වෙනවා.එවිට ඉහළ ඉන්ධන මිලත්, රුපියල අවප්‍රමාණය වීමෙන් ඇතිවන පුළුල් උද්ධමන බලපෑමත් දෙකම එකවර මුහුණ දීමට සිදු වෙනවා.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ වන ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය මන්දගාමී වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?

එම ආර්ථික මන්දගාමී වෙමින් තිබෙනවා.ඇමෙරිකාවේ ඉහළ පොලී අනුපාත සහ පුළුල් අවිනිශ්චිතතාව එරට ආර්ථිකයට පැහැදිලිව බලපානවා.යුරෝපයට ජනගහන ව්‍යුහය සම්බන්ධ අභියෝග සහ දේශපාලන අස්ථාවරත්වයත් තිබෙනවා.

ආර්ථික හා දේශපාලන වශයෙන් බටහිර රටවල් සමූහය මේ වනවිට විශේෂයෙන් හොඳ කාර්යසාධනයක් පෙන්නුම් කරන්නේ නැහැ.ඒවා ශ්‍රී ලංකාවේ වැදගත් අපනයන වෙළෙඳපොළ නිසා එහි බලපෑම අපට අනිවාර්යයෙන්ම දැනෙනවා.

විකල්පය වන්නේ වේගයෙන් වර්ධනය වන ඉන්දියානු වෙළෙඳපොළ දෙස වඩා බැරෑරුම්ව බැලීම සහ Regional Comprehensive Economic Partnership (RCEP) පිළිබඳ අවධානය යොමු කිරීමයි.ශ්‍රී ලංකාවට මෙහි සුවිශේෂී වාසියක් ඇති විය හැකියි. ඒ ඉන්දියාව RCEP සාමාජිකයෙකු නොවන නිසායි.

අපට වෙළෙඳ එකඟතා දෙකක් ගොඩනගාගත හැකි නම්—දැනට පවතින එකඟතාව මත පදනම් වූ ඉන්දියාව සමඟ වඩා පුළුල් ගිවිසුමක් සහ RCEP සාමාජිකත්වය—ශ්‍රී ලංකාවට ඉන්දියානු වෙළෙඳපොළටත් පුළුල් RCEP වෙළෙඳපොළටත් ප්‍රවේශය ලබාගත හැකියි.එය ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවට සුවිශේෂී වටිනාකමක් නිර්මාණය කරනවා.

සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කළහොත් ඉන්දියාව, චීනය සහ අනෙකුත් RCEP රටවල් ඇතුළුව ලෝක ජනගහනයේ ඉතා විශාල කොටසක් නියෝජනය කරන වෙළෙඳපොළවලට ප්‍රවේශ වීමේ හැකියාව ලැබිය හැකියි.ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි ඉහළ මිලදී ගැනීමේ හැකියාවක් සහිත රටවලුත් ඊට ඇතුළත්.අප මේ තත්ත්වය ගැන සිතිය යුත්තේ එවැනි ආකාරයටයි.

කෙසේ වෙතත් RCEP වෙත එක්වීම දිගු ගමනක්. එය පහසු නැහැ.දේශපාලනිකව සහ ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ විශාල පෙර සූදානමක් සිදු කළ යුතුයි.බටහිර ආර්ථිකයන්ගේ සාපේක්ෂ මන්දගාමීත්වයට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්විය යුත්තේ එවැනි ආකාරයටයි.

ප්‍රශ්නය: ඉදිරි අයවැයෙන් ඔබ දැකීමට කැමති කුමක්ද?

මෙවර අයවැය ඉතා තීරණාත්මකයි.එක් අර්ථයකින් බැලූ විට ජනාධිපතිවරයාට සැලකිය යුතු ක්‍රියාකාරී නිදහසක් තවමත් තිබෙන අයවැය මෙය විය හැකියි.

පළමු කාර්තුවෙන් පසුව ශ්‍රී ලංකාව වත්මන් IMF වැඩසටහනෙන් ක්‍රමයෙන් පිටතට ගමන් කිරීමට පටන්ගන්නවා. ඒ අතර රජයට ඊළඟ මැතිවරණ චක්‍රයේ සම්පූර්ණ පීඩනය තවමත් පැමිණ නැහැ.2028 අයවැය සකස් කරන අවස්ථාව වනවිට එම මැතිවරණ පීඩනය බොහෝ සෙයින් වැඩි වී තිබිය හැකියි.

මගේ අදහස අනුව ප්‍රතිසංස්කරණ දැනටමත් ප්‍රමාදයි.ජනාධිපතිවරයා දැන්ම ප්‍රධාන ප්‍රතිසංස්කරණ ආරම්භ කළත් ඒවායේ ප්‍රතිඵල බොහොමයක් පෙනෙන්නට පටන්ගන්නේ ඔහුට දෙවැනි ධුර කාලයක් ලැබුණහොත් එම කාලය තුළ විය හැකියි.

ඒ නිසා ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි.එසේ කළහොත් පමණක් ආර්ථික ක්‍රියාකාරකම්වල සහ ජනතාවගේ ජීවන තත්ත්වයේ සැබෑ දියුණුවක් අපට දැකගැනීමට පටන්ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *