September 28, 2026

වත්කම් ප්‍රකාශනවල විනිවිදභාවය රකින්න! එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත වීමත් ගැටලුවක්!

0
Paffrel Organization

දූෂණ විරෝධී නීති සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර, මහජන අභිලාෂයන්ට සාධාරණයක් ඉටුවන පරිදි වඩාත් විනිවිදභාවයෙන් සහ මහජනතාවට වගකියන ආකාරයෙන් ඒවා සංශෝධනය කරන ලෙස පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් මගින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, වත්මන් ආණ්ඩුව අල්ලස් හා දූෂණය පිටුදැකීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදීම අගය කරන නමුත් යෝජිත සංශෝධනවල ඇතැම් කරුණු එම අරමුණට අහිතකර විය හැකි බවයි.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම සංවිධානය මීට පෙරද ජනාධිපතිවරයා දැනුවත් කළ බවත්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කළ බවත් පැෆ්රල් සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයට ගරු කරන අතරම, අධිකරණ තීරණයට යටත්ව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.

වත්කම්–බැරකම් තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ අවකාශය ගැන ප්‍රශ්නයක්

පැෆ්රල් සංවිධානය මතුකරන ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු මහජන අවධානයට ගෙන ඒමේ හැකියාව සම්බන්ධයෙනි.

වත්කම් හා බැරකම් තොරතුරු ලබාගෙන ඒවා විශ්ලේෂණය කර මහජනතාවට ඉදිරිපත් කිරීමට පුරවැසියන්ට ලැබී තිබූ අවකාශය යෝජිත කෙටුම්පත මගින් සීමාවන බව පැෆ්රල් පෙන්වා දෙයි.

අල්ලස් හා දූෂණය වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොව, දූෂණය සම්බන්ධයෙන් විවෘත සමාජ කතිකාවක් ඇතිවීම සහ අදාළ තොරතුරු මහජන අවධානයට ලක්වීමද වැදගත් බව එම සංවිධානයේ ස්ථාවරයයි.

කෙසේ වෙතත්, චේතනාන්විතව වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම හෝ තොරතුරු වැරදි ලෙස අර්ථකථනය කර දේශපාලනඥයකු හෝ නිලධාරියකු අපහසුතාවයට පත්කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් විරුද්ධ නොවන බවද පැෆ්රල් සඳහන් කරයි.

25% සීමාව 50% කිරීම ගැනත් විරෝධය

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80(බ) වගන්තිය යටතේ, රජය හෝ රාජ්‍ය සංස්ථාවක් සියයට 25කට නොඅඩු කොටස් හිමිකාරීත්වයක් දරන ආයතනවල ප්‍රධානීන්ට වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වගකීමක් පවතින බව පැෆ්රල් පෙන්වා දෙයි.

යෝජිත සංශෝධන මගින් එම සීමාව සියයට 50 දක්වා ඉහළ නැංවීම පිළිබඳව සංවිධානය අවධානය යොමු කර තිබේ.

එසේ වුවහොත් රජයට සියයට 49.9ක් දක්වා කොටස් හිමිකාරීත්වයක් ඇති ආයතනවල අදාළ ප්‍රධානීන්ට වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව නොපැන නැගිය හැකි බවත්, එය අල්ලස් හා දූෂණය පිටුදැකීමේ අරමුණට බාධාකාරී විය හැකි බවත් පැෆ්රල් පවසයි.

“එක් පුද්ගලයෙකු වටා වැඩි බලයක් කේන්ද්‍රගත කිරීම සුදුසු නැහැ”

සංශෝධිත පනතේ ඇතැම් ප්‍රතිපාදන හරහා එක් පුද්ගලයෙකු වටා වැඩි බලයක් කේන්ද්‍රගත වන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද පැෆ්රල් සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

වත්මන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් තම සංවිධානයට ප්‍රසාදයක් තිබුණද, නීතිමය වශයෙන් එක් පුද්ගලයෙකු වටා අධික බලයක් කේන්ද්‍රගත කිරීම යහපත් ප්‍රවණතාවක් නොවන බව එම සංවිධානය අවධාරණය කරයි.

නීති සම්පාදනය කළ යුත්තේ වර්තමානයේ සිටින පුද්ගලයන් හෝ පවතින තත්ත්වය පමණක් සැලකිල්ලට ගනිමින් නොව, අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයන් සහ අභියෝගද සැලකිල්ලට ගනිමින් බව පැෆ්රල් පෙන්වා දෙයි.

ඒ අනුව පාර්ලිමේන්තු සංශෝධන අවස්ථාවේදී මෙම කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර, මහජනතාවට වගකියන, වඩාත් විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අභිලාෂයන්ට සාධාරණයක් ඉටුකරන දූෂණ විරෝධී නීති රාමුවක් ඇති කිරීම සඳහා අවශ්‍ය සංශෝධන ගෙන එන ලෙස පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *