September 21, 2026

හොරු අල්ලන්න නීතිය ශක්තිමත් කරන්න…හොරු අල්ලන්න විනිසුරුවරු තෝරන්න එපා….

0
22nd-Amendment

අධිකරණය ආණ්ඩුවේ ආරක්ෂක පද්ධතියක් නොව එය ජනතාවගේ ව්‍යවස්ථාමය ආරක්ෂක පද්ධතියයි යැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ස්වාධීන වෘත්තීය සමිති පෙන්වා දෙනවා.ඒ අනුව යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගෙනයනු ලබන ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින්, මෙරට ස්වාධීන වෘත්තීය සමිති සහ වෘත්තීයවේදීන්ගේ සංවිධාන සියයකට ආසන්න සංඛ්‍යාවක් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබේන බවයි එම එකමුතුව පෙන්වා දෙන්නේ.

හොරු අල්ලන්න නීතිය ශක්තිමත් කරන්න…හොරු අල්ලන්න විනිසුරුවරු තෝරන්න එපා….

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ස්වාධීන වෘත්තීය සමිති එක්වෙයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගෙනයනු ලබන ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින්, මෙරට ස්වාධීන වෘත්තීය සමිති සහ වෘත්තීයවේදීන්ගේ සංවිධාන සියයකට ආසන්න සංඛ්‍යාවක් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMOA, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය AHP.SL, රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති සන්ධාන, වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ ජාතික සම්මේලනය NFTUP, දුම්රිය, තැපැල්, ගුරු සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන ස්වාධීන වෘත්තීය සමිති ඇතුළු පුළුල් වෘත්තීය සමිති නියෝජනයක් පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම පොදු ස්ථාවරයට එකඟතාව පළ කර ඇත.

ඒ අනුව හෙට, සඳුදා පස්වරු 1.00ට ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලයේදී, අදාළ වෘත්තීය සමිති හා වෘත්තීය සංවිධාන ඒකාබද්ධව අවබෝධතා ලියවිල්ලකට අත්සන් තබා, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ඒකාබද්ධ ක්‍රියාමාර්ග සඳහා නිල වශයෙන් පෙළගැසීමට නියමිතය.

මෙය සාමාන්‍ය වෘත්තීය සමිති ඉල්ලීමක් හෝ වැටුප්, දීමනා, සේවා කොන්දේසි පිළිබඳ අරගලයක් නොවේ. ස්වාධීන අධිකරණයක් යනු වෘත්තීයවේදියාට, රාජ්‍ය සේවකයාට, කම්කරුවාට සහ සාමාන්‍ය පුරවැසියාට රාජ්‍ය බලය ඉදිරියේ ඇති අවසාන ආරක්ෂාවකි. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම නීතිඥයන්ගේ පමණක් වගකීමක් නොව, සමස්ත වැඩකරන ජනතාවගේ සහ වෘත්තීයවේදීන්ගේද වගකීමකි.

අපගේ විරෝධය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳ ප්‍රතිපත්තිමය සංවාදයකට නොවේ. අපගේ මූලික ප්‍රශ්නය වන්නේ පවතින ආණ්ඩුවක් විසින් දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ගේ ධුර කාලයට සෘජුව බලපාන ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් ඇතිවන පූර්වාදර්ශයයි.

අද අප විශ්වාස කරන ආණ්ඩුවක් යහපත් අරමුණක් පෙන්වා එවැනි පූර්වාදර්ශයක් නිර්මාණය කළහොත්, හෙට අප කිසිසේත් විශ්වාස නොකරන පාලකයෙකුටද එම පූර්වාදර්ශය උරුම වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂණ ගොඩනැගිය යුත්තේ අද සිටින පාලකයා පිළිබඳ විශ්වාසය මත නොව, හෙට පැමිණිය හැකි පාලකයාගෙන්ද ජනතාව ආරක්ෂා වන ආකාරයටය.

අධිකරණයේ ස්වාධීනත්වය යනු විනිසුරුවරුන්ට ලබාදෙන විශේෂ වරප්‍රසාදයක් නොවේ. එය ජනතාවට ලබාදී ඇති ආරක්ෂාවකි. ආණ්ඩුවක්, දේශපාලන පක්ෂයක් හෝ වෙනත් බලවත් පාර්ශ්වයක් වැරදි කළ අවස්ථාවක “ඔබ වැරදියි” යැයි ස්වාධීනව ප්‍රකාශ කළ හැකි අධිකරණයක් රටට අවශ්‍යය.

එබැවින් දූෂණයට එරෙහිව ක්‍රියාකිරීම හෝ යුක්තිය පසිඳලීම වේගවත් කිරීම වැනි යහපත් අරමුණු තිබේ නම්, ඒ සඳහා පොලීසිය, විමර්ශන ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ ධාරිතාව ශක්තිමත් කළ යුතුය.

හොරු අල්ලන්න නීතිය ශක්තිමත් කරන්න…හොරු අල්ලන්න විනිසුරුවරු තෝරන්න එපා….

අධිකරණය ආණ්ඩුවේ ආරක්ෂක පද්ධතියක් නොවේ. එය ජනතාවගේ ව්‍යවස්ථාමය ආරක්ෂක පද්ධතියයි.

එම නිසා දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා සියලු ස්වාධීන වෘත්තීය සමිති, වෘත්තීයවේදීන් සහ වැඩකරන ජනතාව එක් පොදු වේදිකාවකට ගෙන ඒම අපගේ අරමුණයි.

රවී කුමුදේශ්
කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන්

අධිකරණ ස්වාධීනත්වය උදෙසා වන වෘත්තිකයන්ගේ ජාතික කමිටුව

National Committee of Professionals for Judicial Independence

වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ ජාතික සම්මේලනය NFTUP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *