September 20, 2026

හොරු අල්ලන්න ආපු අනුර හොරු පන්නන විදිය මෙන්න! කුප්‍රකට ව්‍යාපාරික වළල්ල සහ JVP දුෂිත කාඩරය රකින් හදන හැටි මෙන්න!

0
AKD_PAF

දූෂණ විරෝධී සංශෝධිත පනතේ ඇතැම් ප්‍රතිපාදන වලින් පෙනී යනු ලබන්නේ එක් පුද්ගලයෙකු වටා වැඩි බලයක් කේන්ද්‍රගත වී ඇති තත්ත්වයක් නිර්මාණය වන බව යැයි Paffrel සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් පෙන්වා දෙනවා.දූෂණ විරෝධී නව කෙටුම්පත මගින් තොරතුරු කරා ප්‍රවේශ වීමට හා එකී තොරතුරු භාවිත කිරීමට ජනතාවට ඇති අයිතියට සීමා පැනවීම යන මැයෙන් යොමුකර ඇති ලිපියේ සදහන්ව ඇත්තේ වත්මන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිබඳව අපට ප්‍රසාදයක් ඇතත් එක් පුද්ගලයෙකු වටා වැඩි බලයක් කේන්ද්‍රගත වීම යහපත් ප්‍රවණතාවයක් නොවන බව විශ්වාසය කරන බවයි.

අදාළ ලිපිය මගින් Paffrel සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අවධාරණය කර ඇත්තේ 2023 දූෂණ විරෝධී පනතෙන් ලැබූ ජයග්‍රහණයන් දුර්වල නොකළ යුතු බවයි.

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,
2026.08.24
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

දූෂණ විරෝධී නව කෙටුම්පත මගින් තොරතුරු කරා ප්‍රවේශ වීමට හා එකී තොරතුරු භාවිත කිරීමට ජනතාවට ඇති අයිතියට සීමා පැනවීම.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත විනිවිදභාවය හා වගවීම සුරක්ෂිත කිරීම සඳහා ගෙනඑන ලද සුවිශේෂී නෛතික ප්‍රතිපාදනයක් බව අවිවාදිතය. වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට ප්‍රසිද්ධියේ භාවිතා කිරීමට අවකාශය සැලසීම ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ගමන් මගේ හැරවුම් ලක්ෂයක් වූ අතර “මහජනයාගේ බලය පාවිච්චි කරන තැනැත්තන් මහජනයාගේ නිරීක්ෂණයට විවෘත විය යුතුය” යන මූලධර්මය ප්‍රායෝගික භාවිතාවක් බවට පත්වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

එවැනි ඉදිරිගාමී වටපිටාවක් තුළ ජනතාවට තොරතුරු වෙත ප්‍රවේශ වීමට අවසරය ලබාදී තිබුනද 2026 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ සඳහන් දුෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත මගින් එම තොරතුරු නීතිමය කාර්යයකට හැර වෙනත් කර්තව්‍යකට භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බව අර්ථකතනය කර ඇත. දූෂණය අවම කර ගැනීමේදී නීතිය මගින් දඬුවම් ලබාදීම පමණක් නොව එකී තොරතුරු සමාජගත වීමට ඇති බියද ඍජුවම බලපාන්නකි.

වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඵලදායී ප්‍රවේශයක් පැවතීමට නම් මාධ්‍යවේදීන්ට, සිවිල් සමාජයට හා උනන්දුවක් දක්වන පුරවැසියන්ට අදාල පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ වල පවතින පරස්පරයන් හඳුනාගැනීමටත් සමහර පුද්ගලයින්ගේ වත්කම් ඔවුන්ගේ නිත්‍යනුකූල ආදායමෙන් පැහැදිලි කළ හැකිද යන්නත් ප්‍රශ්න කිරීමට හැකියාව තිබිය යුතුය.

“බලය භාවිතා කරන තැනැත්තන් ජනතා නිරීක්ෂණයට විවෘත විය යුතුය” යන මූලධර්මය ප්‍රායෝගික කරගැනීමේ වැදගත් මොහොතක් ලෙස වත්කම්–බැරකම් ප්‍රකාශ ජනතාවට විවෘත කිරීම සැලකේ.

එවැනි වාතාවරණයක් තුළ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ අංක 88 වගන්තියට පසු නව උපවගන්තියක් එකතු කිරීමට මෙම කෙටුම්පත මගින් යෝජනා කර ඇත. එහි සඳහන්ව ඇත්තේ වෙනත් යම් තැනැත්තෙකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයක සංස්කරණය කළ පිටපතක් ලබාගන්නා තැනැත්තෙකු විසින් 86 වැනි වගන්තිය යටතේ ඒ ප්‍රකාශය යම් නිළධරයෙකුට හෝ යම් ආයතනයක ඉදිරිපත් කිරීමට හැර වෙනත් යම් කාර්යයකට එකී ප්‍රකාශය භාවිතා කරනු නොලැබිය යුතුය යන්නය. මෙම වගන්තිය මගින් තොරතුරු වෙත ප්‍රවේශ වීමට හා බෙදා හැරීමට සීමා කිරීම සාමාජයක් ලෙස ලබාගත් ජයග්‍රණය ආපසු හැරවීමක් බව අපගේ විශ්වාසයයි. වඩාත් අවධානයට ලක්විය යුතු කාරණය වන්නේ පනත මගින් ජනතාවට ලබාදී ඇති තොරතුරු මහජනයා විසින් භාවිතා කිරීම නව කෙටුම් පත මගින් අපරාධ වරදක් කිරීමයි. එමෙන්ම සංස්කරණය කරන ලද පිටපත් යන්න නිශ්චිත අර්ථකථනයක් නොමැති වීම තුළ අවශ්‍ය නම් පෞද්ගලිකත්වය හානි වන බව පවසමින් තොරතුරු වසන් කිරීමට හැකියාව ඇතැයි යන්න සමාජය මතු කරන තර්කය පහසුවෙන් බැහැර කළ නොහැකිය.

“සංස්කරණය කළ පිටපත” යන පදය නිශ්චිත අර්ථකථනයක් නොමැති බැවින්, පෞද්ගලිකත්වය හේතුවෙන් තොරතුරු වසන් කිරීමට අවකාශයක් ඇතිවිය හැකි බවත් සමාජයේ බියක් ඇතිවිය හැකි බවත් සඳහන් කරයි.

යම් පුද්ගලයෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ විකෘති කර අදාල පුද්ගලයා සමාජය තුළ අප්‍රසාදයට ලක් කිරීමේ අරමුණින් චේතනාන්විතව කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ගැටලුවක් නොවේ. එහෙත් මහජන දේපල හා මහජනයා සතු බලතල ක්‍රියාත්මක් කරන පුද්ගලයන් ඒ හරහා අයථා ලාභයක් ලබාගෙන තිබේද යන්න සොයා බැලීමට ජනතාව ඇති අයිතිය හා ජනතාව දැනුවත් කිරීමට බාහිර පාර්ශවයන්ට ඇති අයිතිය සීමා නොකල යුතුය.

49.9% දක්වා රාජ්‍ය අයිතිය ඇති ආයතන ප්‍රධානීන්ට වගවීමෙන් මිදීමට ඉඩ සලසන බවත්, දූෂණය පිටුදැකීමේ අභිප්‍රායට පටහැනි බව.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80 (බ) වගන්තිය අනුව රජය හෝ රජයේ සංස්ථාවක් මගින් 25% කට නොඅඩු කොටස් දරන්නා වූ ආයතන ප්‍රධානීන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවට වූ සීමාව 50% දක්වා වැඩිකර ඇත. එනයින් බලන කල 49.9% දක්වා අයිතිය ඇති රාජ්‍ය ප්‍රධානීන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ අවශ්‍යතාවය පැන නොනගී. එය අල්ලස් හා දූෂණය පිටුදකිමින් සුපිළිපන් දේශයක් ගොඩනැගීමේ මූලික අභිප්‍රායට පටහැනි වගන්තියක් බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

ස්වාධීන කොමිෂන් සභාවකදී බලය විය යුත්තේ ව්‍යූහයට/කොමිෂන් සභාවට බවත්, එක් පුද්ගලයෙකුට නොවිය යුතුය.

දූෂණ විරෝධී සංශෝධිත පනතේ ඇතැම් ප්‍රතිපාදන වලින් පෙනී යනු ලබන්නේ එක් පුද්ගලයෙකු වටා වැඩි බලයක් කේන්ද්‍රගත වී ඇති තත්ත්වයක් නිර්මාණය වන බවයි. වත්මන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිබඳව අපට ප්‍රසාදයක් ඇතත් එක් පුද්ගලයෙකු වටා වැඩි බලයක් කේන්ද්‍රගත වීම යහපත් ප්‍රවණතාවයක් නොවන බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභාවකදී බලය හිමිවිය යුත්තේ කොමිෂන් සභාවට හෝ විධිමත් ව්‍යූහයකට බව අපගේ විශ්වාසයයි.

අයෙකුට තම වත්කම් වෙනත් පුද්ගලයෙකුගේ නමට පවරා ප්‍රතිලාභ ලබාගැනීමට ඉඩ

දූෂණ විරෝධී පනතේ නව සංශෝධිත කෙටුම් පතට අනුව අවම වශයෙන් වත්කම් බැරකම් ප්‍රකාශකයා සමග අවම වශයෙන් මාස 06ක් වත් ජීවත්වූ තැනැත්තෙකුගේ වත්කම් බැරකම් හෙලි කිරීමේ අවශ්‍යතාවය මෙම කෙටුම්පත මගින් ඉවත් කරනු ලැබ ඇත. මෙහි ඇති භයානකම කරුණ වනුයේ යම් පුද්ගලයෙකු අදාල වත්කම් පාලනය කරමින් ප්‍රතිලාභ ලබන අතර එකී වත්කම් ඔහු සමග වෙසෙන වෙනත් පුද්ගලයෙකුගේ නමට පැවරීමට හැකියාව ලැබීමය. එකී වගන්තිය ඉවත් කිරීම මගින් යමෙකුට අවශ්‍ය නම් වත්කම් සැඟවීම සඳහා පහසු ප්‍රවේශයක් නිර්මාණය කරගත හැකිය. අප යෝජනා කරනු ලබන්නේ පවතින නීතිය ශක්තිමත් කරනු මිස නීතියේ ඇති හිඩැස් වලින් රිංගා යාමට ඉඩහසර විවිර කර දෙනු ලබන ක්‍රමවේදයක් නොවේ.

මෙම දූෂණ විරෝධී නව කෙටුම්පත මගින් මෙතෙක් අන්තර්ගහනය නොවූ බොහෝ ක්ෂේත්‍රයන් ඇතුලත් කරගැනීමටත් යම් යම් අපැහැදිලි තත්ත්වයන් නිරාකරණය කර ගැනීම ඇතුලු ඉතා සාධණීය කරුණු රාශියක් ඇතුළත්ව තිබීම අල්ලස හා දූෂණය පිටුදැකීම පිළිබඳව වඩා සුභවාදී බලාපොරොත්තු ඇතිකරන්නක් බව සඳහන් කළ යුතුය.

කෙසේ නමුත් 2023 වසරේදී හඳුන්වා දුන් දුෂණ විරෝධී පනත මගින් ලබාගත් ජයග්‍රහණයන් ගෙන එනු ලබන කුමන සංශෝධනයක් හරහා හෝ බලය සිටින තැනැත්තන් වගවීමට ලක්කිරීමට මහජනතාවට ඇති අයිතිය දුර්වල කිරීම නොකල යුතු බව අපගේ විශ්වාසයයි. ඒ අනුව අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ සුපිළිපන්න දේශයක් නිර්මාණය කිරීමට නම් බලය දරන්නන් වගවීමට ලක් වන සහ තොරතුරු කර ප්‍රවේශ වීමට මෙන්ම තොරතුරු බෙදා ගැනීමට ඇති අයිතිය ආරක්ෂා වන සංස්කෘතියක් නිර්මාණය කළ යුතු බවයි. අවසන් වශයෙන් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ යෝජිත සංශෝධන කෙටුම්පත පුලුල් සංවාදයකට ලක්කර ජනතා අභිලාෂයන් යථාර්තයක් වන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් අවධානය යොමු කරන ලෙසය.

ස්තූතියි!
මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

පාඨ්කයාට කරුණු අවධාරණය කර ගැනිමේ පහසුව වෙනුවෙන් ලිපියේ වැදගත් යැයි හැගෙන කොටස් අප විසින් උපුටා දක්වා ඇති බව කරුණාවෙන් සලකන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed