ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක්! ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට!
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ගෙනැවිත් ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ BASL සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලබුවා.
අදාල සංශෝධන පනත් කෙටුම්පත මඟින් විනිසුරුවරුන්ගේ සේවා කාලය පසුගාමී ලෙස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට සහ ජනතාවගේ පරමාධිපත්‍යයට බරපතල ලෙස බලපාන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මඟින් අවධාරණය කර තිබේ.
එසේම, වත්මන් විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම තුළින් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ සහ ගැටුම්කාරී තත්ත්වයන් මෙන්ම, ව්‍යවස්ථාදායකය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟහැර මෙලෙස විනිසුරුවරුන්ගේ තනතුරු දීර්ඝ කිරීම අධිකරණය අත්පත් කර ගැනීමක් (Court capture) ලෙස හැඳින්විය හැකි බවද පෙත්සමේ සඳහන් වෙයි.
මෙහි පවතින සුවිශේෂී ස්වභාවය සහ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ප්‍රතිලාභ හිමිවීමේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3)(iii) ව්‍යවස්ථාව යටතේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Court) ඉදිරියේ මෙම නඩුව විමසීමට නියෝග කරන ලෙසටද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
