September 27, 2026

ජනපති සමග සාකච්ඡා අවසන්!වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තුවක්! Audio

0
BASL_AKD

ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බවත්, එම සාකච්ඡාවෙන් පසු තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කළ බවයි ජනපති සමග සාකච්ඡාවෙන් පසුව රජීව් අමරසූරිය සදහන් කලේ.

ජනාධිපති නීතිඥවරුන්, නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්, මහාචාර්යවරුන් සහ අනෙකුත් නීති විශාරදයින් ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නීතිඥ සංගමය සිය ස්ථාවරය ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයාද සිය අදහස් හා ආස්ථානය බෙදාගත් බව පැවසූ සභාපතිවරයා, මෙවැනි වෙනසක් සිදු කරන්නේ නම් එය පුළුල් විද්වත් උපදේශනයකින් පසුව පමණක් සිදු කරන ලෙස සංගමය අවසන් වශයෙන් ඉල්ලා සිටි බවද වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට කල ප්‍රකාශය …

“අපි මේ කාරණය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය ජනාධිපතිවරයා වෙත පැහැදිලි කළා. මේ විෂය සම්බන්ධයෙන් අප ඔහු හමුවූ පළමු අවස්ථාව මෙයයි. අපි මීට පෙරත් මෙවැනි සාකච්ඡාවක් ඉල්ලා තිබුණා. නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ ඇයිද යන්න පිළිබඳව අපි කරුණු පැහැදිලි කර දුන්නා,”

“මෙය කිසිවෙකුට එරෙහිව කරන සටනක් නොවේ,” යැයි අවධාරණය කළ අමරසූරිය, “දෙපාර්ශ්වයෙන්ම අදහස් ඉදිරිපත් වුණා. එක් පැත්තකින් නීතිඥ සංගමය සහ නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ද, අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයාද තම ස්ථාවරයන් පැහැදිලි කළා,” යනුවෙන් සඳහන් කළේය.

මෙම සාකච්ඡාව ඔස්සේ නීතිඥවරුන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, මෙම විෂය පිළිබඳව පර්යේෂණ කළ විද්වතුන් මෙන්ම අදාළ වාර්තා සකස් කළ පුද්ගලයින්ද ඇතුළත් වන පුළුල් කතිකාවකට මග පෑදෙනු ඇතැයි නීතිඥ සංගමය විශ්වාසය පළ කරයි. “මේ සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගනිමින්, මෙම තීරණය නැවත සලකා බලා නිසි නිගමනයකට එළඹිය හැකි යැයි අපි බලාපොරොත්තු වෙනවා,”

මෙම හමුව ඉතා යහපත් මෙන්ම විවෘත අදහස් හුවමාරුවක් වූ බව පෙන්වා දුන් අමරසූරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජයට බලය ඇති සේම, එය වැරදි පියවරක් යැයි හැඟෙන්නේ නම් ඊට විරුද්ධ වීමට නීතිඥ සංගමයටද අයිතියක් ඇති බව පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *