September 28, 2026

පහත වැටෙන ආර්ථික අවදානම් පිළිබඳව IMF බරපතල කනස්සල්ලෙන්!දූෂණ විරෝධී පනතට සංශෝධන ඉල්ලයි! “Hyde Park” සමග එක්වු IMF මෙහෙයුම් ප්‍රධානීයා කී දේ!

0
Hyde Park

2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව සැලකිය යුතු දුරක් පැමිණ ඇත. නමුත් අර්බුදයට මඟ පෑදූ ආර්ථික ආකෘතිය රට සැබවින්ම වෙනස් කර තිබේද, නැතහොත් තවත් අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා ශක්තිමත් ආරක්ෂණ විධිවිධාන පමණක් සකසා තිබේද යන්න “අද දෙරණ” “Hyde Park” වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහා වන IMF මෙහෙයුම් ප්‍රධානී ඊවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) සමඟ ඉන්දීවරී අමුවත්ත කල සංවාදය අප වැදගත් කරුණු මතුකරමින් සටහනක් තැබිමට කටයුතු කර තිබේ.

ආර්ථික ස්ථාවරත්වයේ සිට IMF ආයතනය විසින් ‘ආර්ථික පරිවර්තනයක්’ ලෙස විස්තර කරන තත්ත්වය කරා රට ගමන් කරන විට, ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන තත්ත්වයන් පිළිබඳව මෙම සංවාදය විමසා බලයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2026 දී 3.1% කින් වර්ධනය වනු ඇතැයි IMF අපේක්ෂා කරන අතර පහත වැටෙන ආර්ථික අවදානම් පිළිබඳව බරපතල කනස්සල්ල පළ කරන අතර IMF පිටුබලය ලත් දූෂණ විරෝධී පනතට සංශෝධන යෝජනා කරයි.

සාකච්ඡාවට ලක්වන ප්‍රධාන කරුණු අතරට ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ගමන් මඟ, හත්වන සමාලෝචනය සහ නවතම මෙහෙයුම අවසානයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් (staff-level agreement) ඇති නොවීම, මූල්‍ය ස්ථාවරත්වය සහ 2027 සඳහා අපේක්ෂිත ප්‍රාථමික අතිරික්තය, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ බලපෑම සාමාන්‍ය පවුල් වෙත එල්ල වීම, සමාජ ආරක්ෂණය, ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සහ අපනයන ඉහළ නැංවීමේ අභියෝග, 2028 සිට ශ්‍රී ලංකාවට ඇති ණය වගකීම්, පාලන ක්‍රියාවලිය සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ, මෙන්ම 2022 අර්බුදයෙන් කෙළවර වූ ආර්ථික චක්‍රය වෙත නැවත යොමු වීම වැළැක්වීමට අවශ්‍ය ආයතනික ආරක්ෂණ විධිවිධාන ඇතුළත් වේ.

අර්බුදයට තුඩු දුන් වැරදි නැවත සිදු නොකර ශ්‍රී ලංකාවට පරිවර්තනයක් ළඟා කර ගත හැකිද?

IMF කනස්සල්ල මැද 2027 අයවැය: ආණ්ඩුව ඉදිරියේ තීරණාත්මක මාස කිහිපයක්

හත්වැනි IMF සමාලෝචනය එකඟතාවයකින් තොරව අවසන් — දූෂණ විරෝධී සංශෝධන ගැනත් අනතුරු ඇඟවීමක්; නොවැම්බර් 12 අයවැයෙන් 2027න් පසු ආර්ථික මාර්ගය පැහැදිලි වෙයිද?

ශ්‍රී ලංකාවේ 2027 අයවැය සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති මොහොතේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහනේ මීළඟ අදියර, දූෂණ විරෝධී නීති සංශෝධන සහ 2027න් පසු රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්න කිහිපයක් එකවර මතුව තිබේ.

2027 මූල්‍ය වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර ඇති අතර, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සඳහා ඇස්තමේන්තුගත සේවා වියදම රුපියල් ට්‍රිලියන 4.99ක් ලෙස දක්වා තිබේ. එමෙන්ම 2027 වසරේ ශුද්ධ රාජ්‍ය ණය ගැනීමේ සීමාව රුපියල් ට්‍රිලියන 3.8ක් ලෙස නියම කර ඇත. ව්‍යවස්ථාපිත වියදම්ද එක් කළ විට පනත් කෙටුම්පත යටතේ ආවරණය වන සමස්ත වියදම රුපියල් ට්‍රිලියන 9.92කට ආසන්න වේ.

වැඩිම අමාත්‍යාංශ ප්‍රතිපාදනය මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට හිමිව ඇති අතර එය රුපියල් බිලියන 856.9කට ආසන්නය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 651ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 590.5ක්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 500ක් සහ ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 458ක් වෙන්කර තිබේ.

2026ට සාපේක්ෂව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය රුපියල් බිලියන 634.8 සිට බිලියන 856.9 දක්වා ඉහළ ගොස් තිබීමද කැපී පෙනේ. අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 328ක්ද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට රුපියල් බිලියන 230.5ක්ද වෙන්කර ඇත.

IMF සමාලෝචනය තවමත් විවෘතයි

2027 අයවැය ක්‍රියාවලිය ආරම්භ වන අතරතුර ශ්‍රී ලංකාවේ EFF වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සඳහා පැමිණි IMF කණ්ඩායම සිය සංචාරය අවසන් කළේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ප්‍රකාශයට පත් නොකරමිනි.

එහෙත් එය සාකච්ඡා බිඳවැටීමක් ලෙස IMF විසින් විස්තර කර නැත. IMF ප්‍රකාශය අනුව සාකච්ඡා ඵලදායී වූ අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් කරා ළඟාවීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නියමිතය. IMF දත්ත අනුව 2026 දෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය 4.2%කින් වර්ධනය වී ඇති අතර අගෝස්තු අවසානය වන විට නිල විදේශ සංචිත ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් තිබිණි.

කෙසේ වෙතත්, ගෝලීය හා කලාපීය අවදානම් හමුවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම, මූල්‍ය හා විදේශීය ආරක්ෂක සංචිත ගොඩනැගීම, බදු ආදායම තිරසාරව ඉහළ නැංවීම සහ පාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේ වැදගත්කම IMF අවධාරණය කර තිබේ.

දූෂණ විරෝධී සංශෝධන ගැන IMF කනස්සල්ල

මෙවර IMF සංචාරයේදී වැඩි අවධානයක් දිනාගත් තවත් කරුණක් වූයේ දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධනයන්ය.

IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපගේයෝර්ජියු පෙන්වා දී ඇත්තේ 2023 දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමෙන් ලැබුණු අත්දැකීම් අනුව එය සමාලෝචනය කිරීම පිළිබඳ IMF විරුද්ධ නොවන නමුත්, යෝජිත ඇතැම් සංශෝධන මගින් පවතින ප්‍රධාන ආරක්ෂණ දුර්වල වීමේ අවදානමක් ඇති බවයි.

විශේෂයෙන් වත්කම් ප්‍රකාශන, මහජනතාවට තොරතුරු ලබාගැනීම සහ විනිවිදභාවය සම්බන්ධ ඇතැම් යෝජනා පිළිබඳ IMF අවධානය යොමු කර තිබේ.ඒ අනුව දූෂණ විරෝධී නීතිමය රාමුව සංශෝධනය කිරීමේදී එහි මූලික විනිවිදභාවය සහ වගවීමේ ආරක්ෂණ පසුබැසීමට ඉඩ නොදීම ආණ්ඩුව ඉදිරියේ ඇති වැදගත් අභියෝගයක් බවට පත්ව ඇත.

මීළඟ IMF වාරිකයට මොකද වෙන්නේ?

හත්වැනි සමාලෝචනය අවසානයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් වහාම ප්‍රකාශයට පත් නොවීමත් සමඟ මීළඟ IMF වාරිකයේ කාලසටහන පිළිබඳ දේශපාලන හා ආර්ථික විවාදයක්ද ඇතිව තිබේ.

කෙසේ වෙතත්, IMF පාර්ශ්වය සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක බව පෙන්වා දී ඇති බැවින්, මේ අවස්ථාවේදී මීළඟ වාරිකය නොලැබෙන බව නිශ්චිතව ප්‍රකාශ කිරීම සඳහා පදනමක් නොමැත.ඒ අතර තවත් වැදගත් ප්‍රශ්නයක් වන්නේ වත්මන් EFF වැඩසටහන අවසන් වූ පසු ශ්‍රී ලංකාව නැවත IMF වැඩසටහනකට යන්නේද යන්නයි.

IMF දූත මණ්ඩල ප්‍රධානියා පැහැදිලි කර ඇත්තේ නව වැඩසටහනක් අවශ්‍යද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය බවත්, එවැනි වැඩසටහනක් සඳහා ඉල්ලීමද රජයෙන්ම පැමිණිය යුතු බවත්ය.ඒ නිසා 2027න් පසු IMF සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව කුමන ආකාරයක් ගන්නේද යන්න තවමත් විවෘත ප්‍රශ්නයකි.

නොවැම්බර් 12 අයවැය තීරණාත්මකයි

2027 අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය රජයේ ඉදිරි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ වඩා පැහැදිලි සංඥාවක් ලබාදෙන අවස්ථාවක් වනු ඇත.

විශේෂයෙන් බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය වියදම්, සමාජ ආරක්ෂණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ IMF වැඩසටහනෙන් පසු අනුගමනය කිරීමට අපේක්ෂිත මූල්‍ය රාමුව පිළිබඳ ආණ්ඩුවේ සැලසුම් එහිදී වැඩිදුර පැහැදිලි විය හැකිය.

PTA වෙනුවට අලුත් ත්‍රස්තවාද විරෝධී නීතියක්

මේ අතර දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට Protection of the State from Terrorism Bill නමින් නව පනත් කෙටුම්පතක්ද ගැසට් කර තිබේ. එය 1979 අංක 48 දරන PTA පනත අහෝසි කර නව නීතිමය රාමුවක් හඳුන්වාදීමට යෝජනා කරයි.

නව කෙටුම්පතේ ත්‍රස්තවාදී වැරදි සඳහා නව අර්ථ දැක්වීම් මෙන්ම අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීම, විමර්ශනය සහ නඩු පැවරීම සඳහා වෙනස් ක්‍රමවේද ඇතුළත්ය.

විශේෂයෙන් සාමකාමී විරෝධතා, අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, විරුද්ධ මත ප්‍රකාශ කිරීම, වැඩවර්ජන සහ ඇතැම් මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරකම් පමණක් පදනම් කරගෙන ත්‍රස්තවාදී අරමුණක් ඇතැයි නිගමනය නොකළ යුතු බවට ආරක්ෂණ ඇතුළත් කර තිබේ. එමෙන්ම රැඳවුම් කාලය සහ අධිකරණ අධීක්ෂණය සම්බන්ධයෙන්ද PTAට වඩා වෙනස් විධිවිධාන යෝජනා කර ඇත.

එහෙත් නව පනත පිළිබඳ විවාදය අවසන් වී නැත. එහි “ත්‍රස්තවාදය” යන අර්ථ දැක්වීම යටතේ සයිබර් පද්ධති, පොදු දේපළ, පරිසරය සහ තීරණාත්මක යටිතල පහසුකම්වලට සිදුකරන ඇතැම් බරපතළ හානිද ඇතුළත් වන බැවින් එහි විෂය පථය පිළිබඳ වැඩිදුර නීතිමය සහ මානව හිමිකම් විමර්ශනයක් ඇතිවිය හැකිය.

ආණ්ඩුවට එකවර පෙරමුණු කිහිපයක්

ඒ අනුව ඉදිරි මාස කිහිපය ආණ්ඩුවේ ආර්ථික හා නීතිමය ප්‍රතිපත්ති සඳහා වැදගත් කාලයක් බව පෙනේ.එක් පැත්තකින් රුපියල් ට්‍රිලියන ගණනක වියදම් සහ ණය අවශ්‍යතා සමඟ 2027 අයවැය සකස් කළ යුතුය. තවත් පැත්තකින් IMF හත්වැනි සමාලෝචනය අවසන් කර මීළඟ අදියරට පිවිසිය යුතුය. ඒ අතර දූෂණ විරෝධී නීති සංශෝධන සම්බන්ධයෙන් IMF මතුකර ඇති විනිවිදභාවය හා වගවීම පිළිබඳ ගැටලුද විසඳීමට සිදුවේ.

ඒ සමඟම PTA වෙනුවට ගෙන එන නව ත්‍රස්තවාද විරෝධී නීතියේදී ජාතික ආරක්ෂාව සහ මූලික අයිතිවාසිකම් අතර සමතුලිතතාව කෙසේ පවත්වා ගන්නේද යන්න තවත් ප්‍රධාන ප්‍රශ්නයකි.

එබැවින් නොවැම්බර් 12 අයවැය කතාව හුදෙක් 2027 වසරේ ආදායම් සහ වියදම් පිළිබඳ ලේඛනයක් පමණක් නොව, IMF වැඩසටහනේ අවසන් අදියර සහ ඉන් පසු ශ්‍රී ලංකාව ගමන් කිරීමට බලාපොරොත්තු වන ආර්ථික මාර්ගය පිළිබඳ ආණ්ඩුව ලබාදෙන වැදගත් ප්‍රතිපත්ති සංඥාවක් බවට පත්වනු ඇත.

පසුගිය වසර කිහිපය තුළ අත්කරගත් ජයග්‍රහණ ස්ථිරසාර කර ගැනීමටත්, 2022 අර්බුදයට හේතු වූ ආර්ථික චක්‍රය වෙත නැවත යොමු වීම වැළැක්වීමටත් ශ්‍රී ලංකාව දැන් කළ යුත්තේ කුමක්ද?

සම්පූර්ණ සාකච්ඡාව නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed