අධිකරණයේ ස්වාධීනත්වය බේරා ගැනීමේ සටන ඇරඹේ!පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම මෙන්න!
ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ ප්රකාශයට අද අත්සන් තැබුනා.
පූර්විකාව
වත්මන් රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් එල්ල වන බවත්, වසර 80 ආසන්න කාලයක් ආරක්ෂා කළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී යාමේ අවදානමකට මඟ පෑදීමේ පැහැදිලි ඉඩක් සකස්විය හැකි බවත්, පහත අත්සන් තබන අප තරයේ විශ්වාස කරමු.
එබැවින්, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් එක්සත් සාමුහිකයක් ලෙස පෙළ ගැසෙමින්, පහත සඳහන් කරුණු උදෙසා අපගේ කැපවීම ප්‍රතිඥා කරන්නෙමු.

අපගේ එම ප්‍රතිඥාවන් වන්නේ:
- අධිකරණයේ ස්වාධීනත්වය කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම:
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට හානි පමුණුවන ඕනෑම ව්‍යවස්ථාපිත හෝ දේශපාලනික මැදිහත් වීමකට එරෙහිව පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් ඒකාබද්ධ ව හා දැඩිව පෙනී සිටිමු.
- යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම්ව, ගොඩනැගෙමින් තිබෙන තනි පක්ෂ-ප්රජාතන්ත්ර විරෝධී පාලනයකට රට යටත් කරලීමට එරෙහිව පොදු විපක්ෂ වේදිකාවක් ගොඩනැගීම:
ආණ්ඩුවේ අදූරර්දර්ශී හා ඒකාධිපති ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා සියලු විපක්ෂ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, නීතිඥ ප්‍රජාව සහ වෘත්තීය සමිති එකමුතු වූ ශක්තිමත් මහජන පෙරමුණක් ලෙස පෙරට එන්නෙමු.
එහිලා; නීතිමය හා පාර්ලිමේන්තුමය ක්‍රියාමාර්ග ඒකාබද්ධ ව මෙහෙය වීම සඳහා අපගේ කැපවීම පහත අයුරින් ප්‍රකාශ කරන්නෙමු:
22 සංශෝධනයට එරෙහිව මෙන්ම 22 සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ දී ඇතිවන ඕනෑම ආකාරයේ අදූරදර්ශී සහ රටට වින කරනු ලබන ව්‍යවස්තාමය හෝ නෛතික වෙනසකට එරෙහිව අධිකරණය හමුවේ ඒකාබද්ධ නීතිමය මැදිහත් වීමක් සහතික කරන අතරම, පාර්ලිමේන්තුව තුළ එවැනි සංශෝධනය පරාජය කිරීමට සාමූහික බලය යොදවන්නෙමු.
එසේම, 22 වන සංශෝධනයට මෙන්ම එය පදනම්ව අනාගතයේ දී මතු වන ඕනෑම ආකාරයක ජනමතවිචාරණයකට සූදානම් වීම සහ ජනතාව පෙළගැස්වීම කැප වන බව මෙයින් ප්‍රකාශ කොට සිටින්නෙමු.
එසේම, ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලබන්නා වූ ඕනෑම අවස්ථාවක, රට පුරා ජනතාව සත්‍ය කරුණු පිළිබඳව දැනුවත් කරමින්, එම ප්‍රති-ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනය ජනතා ඡන්දයෙන් පරාජය කිරීම උදෙසා ක්ෂණිකව ජනතා බලමුළු ගැන්වීමක් සිදු කරන්නෙමු.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණයේ ස්වාධීනත්වය බේරා ගැනීමේ අරමුණින්, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව, සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එකමුතුව පෙළ ගැසෙන විරෝධතාවනට සහභාගී වන ලෙස අපි ජනතාවට ආරාධනා කර සිටිමු. මේ සංශෝධනය මඟින් ජනතාවගේ අයිතිවාසිකම් හා නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස තර්ජනයට ලක් වන බැවින්, අපේ අරමුණ වන්නේ රට පුරා ජනතාව එක් කරමින්, සාමකාමී විරෝධතා මගින් එය පරාජය කිරීමයි.
මෙම ඒකාබද්ධ ප්‍රතිඥාවට එකඟ වෙමින්, ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමේ ඓතිහාසික වගකීම භාර ගනිමින් අපි අද දින පහත පරිදි අත්සන් තබමු:
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය වෙනුවෙන්:
ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න/දෙමළ ප්‍රගතිශීලී සන්ධානය/තමිල් අරසුකච්චි පක්ෂය/නව ජනතා පෙරමුණ/නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ/නව ලංකා නිදහස් පක්ෂය/මනුසත් පක්ෂය/මහජන පක්ෂය/පිවිතුරු හෙළ උරුමය/සර්ව ජන බලය පක්ෂය/සමඟි ජන බලවේගය පක්ෂය/ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය/ශ්‍රී ලංකා නිදහස් පක්ෂය/ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ/ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය/එක්සත් ජනරජ පෙරමුණ/එක්සත් ජාතික පක්ෂය/එක්සත් මහජන පක්ෂය/ජාතික නිදහස් පෙරමුණ/ජනසෙත පෙරමුණ

.jpg)
.jpg)
.jpg)
.jpg)








