September 22, 2026

ආණ්ඩුව ජාත්‍යන්තරයට තග දායි! මෙහෙම ගියොත් ජාත්‍යන්තර මට්ටමින් අහිතකර ප්‍රතිවිපාක විදින්න වෙයි!

0
G. L. Peiris

වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දෙනවා.

අද (16 වැනිදා) කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විවේචන සඳහා රජයේ ක්‍රියාමාර්ග ද බලපා ඇති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව නීතියක් හඳුන්වාදෙන බව රජය ජාත්‍යන්තරයට පොරොන්දු වී තිබුණද, එම පොරොන්දුව මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවද පීරිස් මහතා චෝදනා කළා.

2025 දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කළ නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දැඩි විවේචනයට ලක්වීමෙන් පසු එය ඉවත් කරගත් බවත්, 2026 අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලය නව පනතක් අනුමත කළ බව ප්‍රකාශ කළද එහි අන්තර්ගතය පිළිබඳව ප්‍රමාණවත් මහජන සංවාදයක් සිදුවී නොමැති බවත් ඔහු පැවසීය.

නීතිඥයන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ විශ්වවිද්‍යාල ඇතුළු පාර්ශ්ව සමඟ එම නීති සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් පැවැත්විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ බව කියන රඳවා ගැනීම් සම්බන්ධයෙන්ද පීරිස් මහතා ප්‍රශ්න කළ අතර, රජය පනත වෙනස් කිරීමට පොරොන්දු වී තිබියදී එය තවදුරටත් භාවිත කිරීම සම්බන්ධයෙන් විවේචනය කළේය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, මහජන අධිචෝදනා අධ්‍යක්ෂ තනතුරක් ස්ථාපිත කිරීම සහ සත්‍යය හා සංහිඳියාව පිළිබඳ කොමිසමක් පිහිටුවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන්ද රජය ලබාදුන් පොරොන්දු ඉටු කර නොමැති බව ඔහු කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ ධුර කාලය තවත් වසර තුනකින් දීර්ඝ කිරීම සඳහා පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමද පීරිස් මහතා ප්‍රශ්න කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කර, උතුරේ චෙම්මානි ප්‍රදේශයටද රැගෙන ගිය රජය, ඔහුගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී වෙනස් ස්ථාවරයක් ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතු බවද ඔහු පැවසීය.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන්ද පීරිස් මහතා දැඩි විවේචනයක් එල්ල කළේය. එම සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් ඇති කළ හැකි බවට විවිධ පාර්ශ්ව මතුකර ඇති කරුණු සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ආයෝජකයන්ගේ විශ්වාසය ද ආර්ථිකයට වැදගත් බැවින්, අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් මතුවන ඕනෑම සැකයක් විදේශ ආයෝජන කෙරෙහි බලපෑ හැකි බවද පීරිස් මහතා පැවසීය.

BRICS සංවිධානය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ GL පිරීස් මහතා ශ්‍රී ලංකාව එම සංවිධානයේ රැස්වීම් හා අවස්ථා සඳහා ප්‍රමාණවත් මට්ටමින් සහභාගී නොවීම හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික අවස්ථා අහිමි විය හැකි බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *