රට පාලනය වෙන්නේ? පාර්ලිමේන්තුවෙන්ද, නැතිනම් පැලවත්තෙන්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරමු!
මේ රට පාලනය වෙන්නේ? පාර්ලිමේන්තුවෙන්ද, නැතිනම් පැලවත්තෙන්ද? එහෙම ප්‍රශ්න තිබෙන අවස්ථාවේදී ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තිය ආරක්ෂා කරන්න ඕනෑ. නවවැනි වගන්තිය අනුව බුද්ධාගම ආරක්ෂා කරගත යුතු යැයි Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල ප්‍රකාශය.
“වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී. එස්. සේනානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළා. නිලධාරීන් පත් කරන අවස්ථාවේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා මූලාසනය ගෙන ඩී. එස්. සේනානායක මැතිතුමාගේ නම නායකත්වයට යෝජනා කළා.”
“ආරම්භක සාමාජිකයන් මෙතන නැති වුණාට ඒ අයගේ දූ දරුවන්, මුණුබුරන් මේ පක්ෂය සමග වැඩ කරන කණ්ඩායම් වෙනවා. ඒ වගේම අනික් පක්ෂවලත් ඒ කණ්ඩායම් සිටිනවා. ආරම්භක සාමාජිකයෙකු අතර ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාත් සිටියා. එතුමාගේ පුතුන් දෙන්නෙකු මේ රටේ ජනාධිපති හැටියට ක්‍රියා කළා.”
“අද ආරම්භ කරන්නේ 80 වැනි සංවත්සරයයි. සැප්තැම්බර් 17 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ 120 වැනි උපන්දිනය සමරනවා. මෙතැනින් ආරම්භ කර රටට කළ සේවය ගැන දැනුවත් කරමින් දෙසැම්බර් මාසයේ සම්මේලනය පවත්වනවා.”
“එදාට ඇතිවන්නේ නවීන එක්සත් ජාතික පක්ෂයයි. නවීන එක්සත් ජාතික පක්ෂයට අද තිබෙන අදහස් අනුව මතවාද සකස් කර, අලුත් මුහුණු එක් කරමින්, 21 වැනි ශත වර්ෂයට ඔබින ලංකාවක් සකස් කරන්න මා බලාපොරොත්තු වෙනවා.”
.png)
“අද අප ආරම්භ කරන තේමාව “පරමාධිපත්‍යයයි”. 1948 ඩී. එස්. සේනානායක මැතිතුමා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඇතුළු නායකයින් ගණනාවක් මේ රටට නිදහස ලබා දුන්නා. අප ස්වෛරී රාජ්‍යයක් හැටියට ක්‍රියා කළා.”
“ඊට පසුව දෙවැනි එලිසබෙත් රැජින ලංකාවේ රැජින හැටියට නීතියක් ගෙනාවා. එතකොට අපේ අන්තිම රජ තනතුර දැරුවේ දෙවැනි එලිසබෙත් රැජිනයි. දෙවැනි එලිසබෙත් රැජින ඒ තනතුර දරනු ලැබුවා.”
“ඊට පසුව 1955 දී අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු වී ස්වෛරී රාජ්‍යයක් හැටියට මේ කරුණු තහවුරු කළා. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට ව්‍යවස්ථාදායක සභාවක් කැඳවන්න වරමක් ලැබුණා. ඒ අනුව ජනරජ ව්‍යවස්ථාව සකස් කරලා 1972 මැයි 22 වැනිදා එය ක්‍රියාත්මක කළා.”
“මේ ජනරජ ව්‍යවස්ථාවෙන් රටේ පරමාධිපත්‍යය ජනතාවට භාර දුන්නා. නමුත් එය ක්‍රියාත්මක කිරීමේ බලය ජාතික රාජ්‍ය සභාවට පවරනු ලැබුවා. 1977 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මේ සඳහා සංශෝධන කීපයක් කරන්න ඉල්ලුවා. ප්‍රධාන එක ජනතා පරමාධිපත්‍යය ජනතාව විසින් ඍජුවම ක්‍රියා කල යුතු බවයි.”
“එදා අපිට 140 ක මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබුණ නිසා අලුත් සංශෝධනය එක්ක දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. ඒ ජනරජ ව්‍යවස්ථාවේ විශේෂයෙන්ම තුන්වැනි වගන්තියේ මේ රටේ පරමාධිපත්‍යය ජනතාවට අයිතියි, එය අන්සතු කරන්න බැහැ යන්න සඳහන් වෙනවා. ඒ වගේම හතරවැනි වගන්තියෙන් පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන නියෝජිත ආයතන පාර්ලිමේන්තුව, ජනාධිපති සහ අධිකරණය ලෙස දක්වනු ලැබුවා.”
.png)
“අද මේ ක්‍රමයට විශාලම තර්ජනය ඇති වෙලා. ඒ ජනතා පරමාධිපත්‍යය පිළිනොගැනීමයි. අප විශේෂයෙන් පක්ෂයක් හැටියට 22 වැනි සංශෝධනයට විරුද්ධ වුණේ, එයට ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් අවශ්‍යයි කියා සඳහන් නොකරපු නිසායි. එහෙයින් අප උසාවියෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටියා. එමගින් එහි නීත්‍යානුකූලභාවය ඇති කරන්න පුළුවනි.”
“එහෙත් අද ගෙනියන වැඩසටහන් වලින්, එක එක කණ්ඩායම් දේශපාලන පක්ෂවලට සීමා හා හිරිහැර කිරීම්, ඒ වගේම දේශපාලනඥයන් හේතු නැතුව අත්අඩංගුවට ගැනීම් දැක ගත හැකියි. මේ හැම එකකින්ම බලන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂයයි නැති කරන්නයි. ඒ වගේම නිදහස් වෘත්තීය සමිති නැති කර දමන්නයි.”
“දැන් නීතිඥ සංගමයට එරෙහිව පහර ගහනවා. වෛද්‍යවරුන්ට එරෙහිව පහර ගහනවා. ඒ වගේම තව විශාල ප්‍රශ්නයක් වන්නේ සංඝයා වහන්සේට එරෙහිව ගෙනියන ව්‍යාපාරයයි. මේ සියල්ලම මගින් රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යයත් නැති කරනවා.”
“පාර්ලිමේන්තුවේ විපක්ෂයට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, විශේෂයෙන්ම නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා කැඳවපු අවස්ථාවේදී පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්නේ නැහැ. අන්න එහෙම ක්‍රියාමාර්ග සිදුව තිබෙනවා.”
“ඒවා සැලකිල්ලට ගෙන බැලුවම කොහෙන්ද මේ රට පාලනය වෙන්නේ? පාර්ලිමේන්තුවෙන්ද, නැතිනම් පැලවත්තෙන්ද? එහෙම ප්‍රශ්න තිබෙන අවස්ථාවේදී ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තිය ආරක්ෂා කරන්න ඕනෑ. නවවැනි වගන්තිය අනුව බුද්ධාගම ආරක්ෂා කරගත යුතුයි.”
“අප සියලු දෙනාම එකතු වෙමු. 1946 දී ඔක්කොම එකතු වෙලා නිදහස් ලංකාවක් ඇති කළා. අදත් ඔක්කොම එකට ක්‍රියාත්මක වෙමු. රටේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගනිමු.”
“මා විශේෂයෙන්ම අප පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ මුණුබුරා වූ නාමල් රාජපක්ෂ මහතාට පක්ෂයේ සංවත්සර සැමරුම් උත්සවයට ආරාධනා කළා. අවාසනාවකට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තා. ඒ ක්‍රියාවට මගේත්, පක්ෂයේත් දැඩි විරුද්ධත්වය පළ කරනවා” යයිද රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩිදුරටත් පැවසීය.
.png)
