September 21, 2026

ජනපතිගේ ගමේ පජාත වැඩ! පන්සල ලග ගල්කොරියක් දාන්න අවසර දිලා!

0
millagala_grant

ජනපතිගේ උපන්ගමේ පුද්ගලික සමාගම් වලට ග්‍රැනයිට් ලබා ගැනීමට ලබා දුන් ව්‍යාපෘති වහා නවත්තන ලෙස ගම්වාසීන් ජනපතිගෙන් ඉල්ලා විරෝධතාවයක් ආරම්භ කර තිබේ.පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, දෙමටගොල්ලගම හා මිල්ලගල ග්‍රැනයිට් ව්‍යාපෘතියක් සදහා පුද්ගලික සමාගම් වලට අවසර ලබාදි තිබේන අතර එම ගල් කොරිය ඉදිකිරිමට ඉඩ දි ඇත්තේ ප්‍රදේශයේ විහාරස්ථානය අසලමද වේ.

අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 672 දෙමටගොල්ලගම හා මොරත්තේගම ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ ග්‍රැනයිට් (ගල් කොරි) ව්‍යාපෘති හේතුවෙන් තමන්ගේ ජීවිත, නිවාස සහ පරිසරය බරපතළ අවදානමකට ලක්වීමේ තර්ජනයක් ඇති බැවින්, මෙම ව්‍යාපෘතිය වහාම නතර කිරීමට මැදිහත් වන්නැයි වනවාසී රාහුලහිමි ඇතුළු ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් රජයෙන් සහ වගකිවයුතු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ළමා විය ගත කළ, ආඩියාගල පිහිටි නිවසට මීටර් කීපයක් දුරින් මෙම ව්‍යාපෘතියට ලබා දීමට ගල් පර්වතයක් පිහිටා ඇති බවත්, මෙම ව්‍යාපෘති දෙකටම ලබා දී ඇති ගල්පර්වත දෙකම මිනිස් ජනාවාස හා ගොවිබිම් වලට ඉතාම ආසන්නයේ පිහිටා ඇති නිසා ජනතාවට මේ මගින් විශාල තර්ජනයක් සිදු වන බවත් මහා සංඝරත්නය හා ගම්වාසීන් පෙන්වා දෙති.
ගම්වසීන් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් ප්‍රදේශයේ මිනිසුන්ට, සතාසිවුපාවුන්ට මෙන්ම පරිසර පද්ධතියට සිදුවන විනාශය සුළුපටු නොවන බවයි.

මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක උවහොත් මෙම ප්‍රදේශයේ පවුල් ජලය සපයා ගන්නා ජල උල්පත් මේ හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක් පවතීන බවත්, කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා ජල සම්පත් ද මේ හරහා දූෂණය වීමට ඉඩ ඇති බවත්ය.මහා පරිමාණ ගල් කැඩීම, කුට්ටි කිරීම සහ යන්ත්‍රෝපකරණ භාවිතය නිසා නිකුත් වන අධික දූවිලි හේතුවෙන් ගම්වාසීන් සහ විශේෂයෙන්ම පාසල් දරුවන් ශ්වසන රෝගාබාධවලට ලක්වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බවත්, ගල් පිපිරවීම් නිසා සිදුවන අධික ශබ්දය සහ කම්පනය හේතුවෙන් අවට ඇති නිවාස සහ දේපළ පුපුරා යාමේ හා බිඳ වැටීමේ තර්ජනයක් මතුවන බවත් ඔවුන් පවසති.

2023 වසරේ මෙම කටයුතු සඳහා නීත්‍යානුකූල අනුමැතීන් ලබා ගෙන ඇති බව පැවසූවද, ගම්වැසියන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව නොතකා මෙවැනි විනාශකාරී ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීම පිටුපස රාජ්‍ය නිලධාරීන්ගේ පාර්ශවයෙන් අක්‍රමිකතාවක් හෝ අල්ලස් ලබාගැනීමක් සිදුව ඇත්දැයි යන්න පිළිබඳව ගම්වාසීන් තුළ බරපතළ සැකයක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන්, මහා සංඝරත්නයෙන් හෝ සමිති සමාගම්වවලින් කරුණු වීමසීමක්වත් නොකර සිදු කර ඇති බැවින් නැවත ඒ්කාබද්ධ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

මෙම ව්‍යාපෘතියට එල්ලවන මහජන විරෝධය යටපත් කිරීම සඳහා ව්‍යාපෘති භාර, සමාගම විසින් ඊට විරුද්ධව හඩනගන ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේනමකට එරෙහිව රුපියල් මිලියන ගණනක් වන්දි ඉල්ලමින් එන්තරවාසි ‍එවමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් බියවැද්දීමට උත්සාහ කරන බවද ප්‍රදේශවාසීන් පවසති.පරිසරය සහ අනාගත පරපුර වෙනුවෙන් ගෙනයන සාධාරණ අරගලය කිසිසේත් නතර නොකරන බව ඔවුහු අවධාරණය කරති.

එබැවින්, ව්‍යාපාරික ලාභය තකා ජන ජීවිත බිල්ලට දෙන මෙම විනාශකාරී ග්‍රැනයිට් ව්‍යාපෘතියට ලබාදී ඇති සියලු අනුමැතීන් අවලංගු කර, එය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ගරු ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් ප්‍රදේශවාසී ජනතාව එකා වන්ව ඉල්ලා සිටිති.

මේ සම්බන්ධව අදහස් දැක් වූ බුදුගේහින්න රාජමහා විහාරස්ථාන විහාරාධිකාරී, දෙමටගොල්ලගම සෝමරතන හිමි,

අපේ විහාරස්ථානය අසලම අලුතින් ගල් කොරියක් ආරම්භ කරන්න අවසර ලබා දීලා තියෙනවා, මේ ඉඩම අයිති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වුණත් එම ඉඩම වටා විශාල පවුල් ප්‍රමාණයක් ජීවත් වෙනවා, මේ කොටස වන අලින් ඇතුළු වන සතුන් ජීවත් වන ස්ථානයක්, මේ ස්ථානයේ පොළව මතු පිට පිහිටි ගලක් නෑ, ඔවුන් අඩි ගණනක් යටට කැනීම් කරලා තමයි මේ පාෂාණ ලබා ගන්න සැලසුම් කරලා තියෙන්නේ, එහෙම වුණොත් අපිට භූගත ජල ගැටලු එන්න පුලුවන්, මේ කැනීම් නිසා ගල් කුඩු පරිසරයට මුසු වෙලා ස්වසන ආබාධ ඇති වෙන්න පුලුවන්, මේ ගැටලු අද ඇති නොවුනත් තව අවුරුදු 10 ක් -15 ක් යන කොට විශාල ගැටලු රැසක් නිර්මාණය වන බව නොරසහක්, තවත් මේ වගේම ගල් යායක් තියනවා මීටර කීපයක් දුරින් ඒකට ගියන්නේ මිල්ලගල කියලා, ඒ ගලටත්, මේ සමාගමටම අවසර ලබා දීලා තියෙනවා මහා පරිමාණ ග්‍රැණයිට් ව්‍යාපෘතියකට, මේ වගේ පරිසර විනාශ සිදු කරලා, ජන ජීවිත වලට බාධා වන මේ ව්‍යාපෘති එපා කියලා අපි කියන්නේ, රටට ඩොලර් අවශ්‍යතාවක් ඇති, නමුත් මෙවැනි ව්‍යාපෘතින් හරහා පාරිසරික ගැටලු, සමාජ ගැටලු ඇති වීමේ ඉඩකට ඉහළයි.

ජනාධිපතිතුමන් 1973 වර්ෂයේ ජීවත් වුණා කියන නිවස තියෙන්නේ මේ ආසන්නයේ, වගා බිම්, නිවාස රැසක් මේ ආසන්නයේ තියෙනවා. මේ වනසංරක්ෂණයට අයත් භූමියේ වටිනා ගස් වර්ග රැසක් තියෙනවා, ඒ සියල්ලමත් විනාශ වෙනවා මේ ව්‍යාපෘති නිසා.ඒ් නිසා ජනාධිපතිතුමන්ට අපි කියනවා මේ කාරුණික ඉල්ලීම පිළි අරගෙන ස්ථිරවම මේ ව්‍යාපෘති දෙක ඉවත් කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

සියලු දෙනාම විරුද්ධයි මේ ව්‍යාපෘතියට, මේ ව්‍යාපෘතියට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අවසර දුන් ලිපිය දැක්කාම කළකිරීමක් ඇති වුණා, බුදුගේහින්න විහාරස්ථානය ආසන්නයේ පිහිටි මේ ගල්තලාවට කොහොම අවසර දුන්නාද මේ ව්‍යාපෘතියට කියලා. මේ ව්‍යාපෘතිය මේ ස්ථානයේ ක්‍රියාත්මක නොකර ජන ශූන්‍ය ප්‍රදේශයක සිදු කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ ව්‍යාපෘතියට අවසර දීලා තියෙන්නේ 2023 වසරේ සිට, ඒ දින වල කැනීම් සිදු නොකර ඒ බලපත්‍ර අලුත් කරමින් පැමිණ දැන් තමා මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සූදානම් කරමින් සිටිනවා යැයි පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්,

අපේ ජනාධිපතිතුමන් ජීවත් වුණ නිවස සහිත අක්කරයක භූමිය අසල තමයි මේ සිද්ධිය වෙන්නේ, මම පරිසර හානියට එදා ඉඳන්ම විරුද්ධයි, මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ 2023 , රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩු කාලේ, මේක වර්ථමාන ආණ්ඩුව දීපු බලපත්‍රයක් නෙමෙයි, එදා දීපු බලපත්‍රය අලුත් කර කර ඇවිත් තියෙනවා, හැබැයි රජයේ නිළධාරීන්ට වගකීමක් තිබ්බා මේ සම්බන්ධයෙන් වර්ථමානයේ සොයා බලලා නැවත අලුත් කරන්න අවසර දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න.එතනදී රාජ්‍යය නිළධාරීන් වැරදි කරලා තියෙනවා, බලපත්‍රයට අදාළ ආයතන වැරදි කරලා තියෙනවා, එදා ඉඳලා තිබුණ අතයට ගණුදෙනු නිසා මේ අහිංසක මිනිස්සුන්ට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා.

ඒ් නිසා මම ඉල්ලීමක් කරනවා අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඔබතුමා උපන් ගම, මේ ව්‍යාපෘතිය ආරම්භ කලොත් පවුල් 3000 ක් විතර අසරණ වෙනවා, සෞඛ්‍යට හානී සිදු වෙනවා, පානීය ජල හිඟය ඇති වෙනවා, මේ දවස් වල සතෙකුට බොන්නවත් වතුර නෑ දැන්, මේ පොළව ඇතුලේ තියෙන පාෂාණය ගන්න ගියහම භූගත ජල මට්ටම පහත යනවා.රටේ සංවර්ධනයට ගල් අවශ්‍යයි, ඩොලර් අවශ්‍යයි, ඒ්වා කරන තැන් තියෙනවා, හැබැයි මේ ජනාවාස තියෙන, අක්කරයක් විතර භූමි ප්‍රමාණයක මේක පොලව හාරන්න ගියොත් මේ මිනිස්සුන්ට ගම්බිම් අතෑරලා යන්න වෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේ ව්‍යාපෘති දෙක නතර කරන ලෙස ඉල්ලා සිටිනවා.

පරිසර විනාශය තුළ මිනිසාට පැවැත්මක් නෑ, ඒකේ ප්‍රථිපල අද ජනතාව දුක් විඳිනවා, ගොවිතැන් පාලු වෙනවා, සත්තු ගම්වදිනවා, ගස් පාලු වෙලා යනවා, මේ ජනාධිපතිතුමන් උපන් ගම් ප්‍රදේශය වෙනුවෙන් අවධානය යොමු කරලා මේ ව්‍යාපෘති නතර කර දෙන්න.

අනෙක් අය මේක ආණ්ඩුවට පහර ගැසීමට ආයුධයක් කර ගන්න පුලුවන්, නමුත් මේක 2023 වර්ෂයේ දුන්න බලපත්‍රයක් අලුත් කර ගැනීමක්, මේ බලපත්‍ර හරහා වෙන වෙන වැඩත් වෙන්න පුලුවන් පහුගිය ආණ්ඩු කාල වල එහෙම වැඩත් වුණා, නිධන් ගත්තා.ඒවා රහස් නෙමෙයි, බලය පාවිච්චි කරලා ඔ්නම කෙනෙක් ඔ්නම ජඩවැඩක් කරන්න යනවා, තව වටගල සොහොන ලඟත් ගල් කොරියක් දාන්න යනවා, මේවායේ ජීවත් වෙන මිනිස්සු කොහෙටද යන්නේ යැයි පැවසූහ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කියා සිටියේ,

මීට පෙර ආරම්භ කළ ගල් වැඩපලවල් නිසා ඒ අවට ජනතාව දැඩි සේ පීඩාවට පත් වෙලා තියෙනවා, ඒ වගේම මේ ආරම්භ කරන ව්‍යපෘති නිසා මේ ගම්වල මිනිස්සුන්ටත් ඉදිරි වසර වලදී පීඩාවට පත් වන්නට සිද්ධ වෙනවා, මේ ප්‍රදේශයේ වැඩි දෙනෙක් ඉන්නේ ගොවියෝ ඉතින් ගොවීන්ට ජල ප්‍රශ්න ඇති වුණොත් ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා, පානීය ජලය සම්බන්ධයෙන් මේ ගම්වලට දැනටත් ප්‍රශ්න තියෙනවා, ඒ නිසා මේ ජල ගැටලුව තවත් ඇති වෙන්න පුලුවන්, සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා.මේකෙන් ඇති වෙන හානිය බරපතල හානියක්, මේ පරිසර පද්ධතිය විනාශ කිරීම හරහා වනසතුන්ට හානී සිදු වෙනවා,මේ භූමියේ සුදු හඳුන් , කලුවර වගෙ දුර්ලභ ශාඛ, ඖෂධ වර්ග රැසක් තියෙනවා ඒවා විනාශ වෙලා යනවා.ඒ නිසා මේ ප්‍රදේශයට සිදු වන හානිය සලකලා බලා මේ ව්‍යාපෘතිය නවතා දමන ලෙස ඉල්ලා සිටිනවා.ජනාධිපතිතුමන් මේ ප්‍රදේශය දන්නවා ඒ් නිසා විශේෂ අවධානයක් මේ පිළිබඳව යොමු කරලා මේ ව්‍යාපෘතිය නවතා දමන ලෙස ඉල්ලා සිටින බවයි.

විශාල ජනතාවක් අදාළ ව්‍යාපෘතීන්ට විරෝධය දැක්වීමට පැමිණ සිටිම සැලවී එම ස්ථානයට ගිරානේගම පොලිස් ස්ථාන නිළධාරීන්ද පැමිණි අතර, එහිදී වනවාසී රාහුල හිමි ඇතුළු මහා සංඝරත්නය කියා සිටියේ අදාළ ගල් කොරි සඳහා දැඩි මහජන විරෝධයක් ඇතිවී ඇති බැවින්, මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්ථා කර අවශ්‍යය නීතිමය පියවර ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *