අපරාධයේ හවුල්කරුවන් වෙන්න එපා! අපරාධය වැළැක්වීමේ අරගලයේ කොටස්කරුවන් වෙන්න!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
විදුලි බිල යලිත් ඉහල දැමිම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිය Facebook පිටුවේ සටහනක් තබා තිබේ. එමගින් ඔහු පෙන්වා දෙන්නේ ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර විමත්, ගෙන්වූ ගල් අඟුරු තොග අවසන් වී ඉන්ධන වලින් කරන විදුලි නිෂ්පාදනය වැඩිවූ තත්වයක් යටතේ එම මිළ ඉහල යෑම යලි සිදුවන බවත් ය.
උපුටා ගැන්ම
මුලින් ලංවිම කඩා හැදූ විදුලි සමාගම ඉන්ධන වලින් විදුලිය නිෂ්පාදනයට යන පිරිවැය කෘත්‍රිමව ඉහළ නංවා, බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා විදුලි පාරිභෝගිකයාගෙන් විශාල මුදලක් ගසා කෑවා. අපි මේ බව වරින් වර හෙලිදරව් කළා. ඒ තොරතුරු සඳහා පසුගිය වාර කිහිපයක පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහජන උපයෝගිතා කොමිසම ඉදිරියේ ලබාදුන් සාක්ෂි වල වීඩියෝ බලන්න. මේ වනවිට ඒ වංචාව මහජන උපයෝගිතා කොමිසමටත් ඉව වැටිලා ඉන්ධන වලින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට යන සැබෑ පිරිවැය සොයන්න විමර්ශනයක් ආරම්භ කරලා.
ඊලඟට අළුත් සෙල්ලමක් කරන්න සූදානම් වෙන්නේ. ඛනිජතෙල් නීතිගත සංස්ථාව නැප්තා, දැවිතෙල් සහ ඩීසල් වැඩි මුදලකට විදුලි නිෂ්පාදනයට විකුණලා පිරිවැය වැඩියි කියලා අළුත් වටයකින් විදුලි පාරිභෝගිකයා ගසා කන්න හදන්නේ. ව්‍යාජ පිරිවැයක් පෙන්වා, වැරදියට ගණන් හදා, “පිරිවැය පරාවර්තිත මිල ක්‍රමය” කියලා සාඩම්බර වචන වලින් ඒ තක්කඩිකම වහනවා. ඔහොම තමයි භාණ්ඩාගාරය පුරවන්නේ.
මේක වෙන්නේ ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර නිසා, ගෙන්වූ ගල් අඟුරු තොග අවසන් වී ඉන්ධන වලින් කරන විදුලි නිෂ්පාදනය වැඩිවූ තත්වයක් යටතේ. ඒ නිසා විදුලි පාරිභෝගිකයා මත පීඩාව තවත් වැඩියි. නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු තොග සීඝ්රයෙන් අවසන් වෙමින් පැවතීම හේතුවෙන් එහි විදුලි උත්පාදන ධාරිතාව අඩකින් පමණ අඩු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා. බලාගාරයේ ක්‍රියාකාරී ඒකක දෙකක ධාරිතාව ඊයේ දිනයේදී (අගෝස්තු 30) මෙගාවොට් 270 සිට මෙගාවොට් 140 දක්වා පහත හෙළීමට සිදුව ඇති බව වාර්තා වුණා.
නැවත විදුලි ගාස්තුත් ඉහළ නංවා පීඩාවට පත් කරන්නේ කන්නත් නැතිව ඉන්න ජනතාවක්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට නැග තිබෙනවා. ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ උද්ධමනය වැඩිවූයේ අප්‍රේල් මස 5.4%ක්, මැයි මස 5.5%ක්, ජුනි මස 6.8%ක් ලෙස දිගටම ජීවන වියදම වැඩිවූ තත්වයක් යටතේ. මිලදී ගැනීමේ හැකියාව සහ වැටුප සංසන්දනය කිරීමේදී ලංකාව සිටින්නේ රටවල් 130කින් 120 වන තැන. ලෝකයේ ලංකාවට වඩා අඩු වැටුප් ඇති රටවල් තියෙන්නේ දහයයි. ඒ නිසා කෑම පිඟාන මාසයෙන් මාසය කුඩා වෙනවා. විදුලි ගාස්තු වැඩි කළොත් ඒ වැඩි වන වියදම පියවා ගන්න වෙන්නේත් කෑම පිඟාන තව අඩු කරලා. ලංකාව කියන්නේ ජනගහනයෙන් තුනෙන් දෙකක් ආහාර සුරක්ෂිතතාව අවදානමට ලක්වූ රටක්. වසර හයක් තුළ අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ මන්දපෝෂණය දෙගුණ වෙලා, ඒ අගය 21%ක් වූ රටක්. එහෙම රටක මේ වගේ ගසා කෑමක් කරන්න ඉඩදීම අපරාධයක්.
අපරාධයේ හවුල්කරුවන් වෙන්න එපා!
අපරාධය වැළැක්වීමේ අරගලයේ කොටස්කරුවන් වෙන්න!
