September 22, 2026

22 සංශෝධනයේ සැඟවුණු භයානක අරමුණ!

0
GLP

22වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු දෙකක් දීර්ඝ කිරීමක් නෙවෙයි. මේ තුළ සැඟවුණු අරමුණක් පැහැදිලිව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දෙනවා.අද (30) ගාල්ල නගර ශාලාවේ පැවැති ජනතාවාදී ඒ්කාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු කල කතාව….

සමහරු අපෙන් අහනවා, රජය දැන් 22 වැනි සංශෝධනයෙන් යෝජනා කරන්නේ විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය අවුරුදු දෙකකින් වැඩි කරන්න. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්ද? අපි මෙච්චර කලබල වෙන්න ඕනෙද කියලා?

මම වගකීමෙන් කියනවා, මේක කිසිසේත් සිල්ලර කාරණයක් නෙවෙයි. අපි මෙතෙක් දුරට භුක්ති විඳපු, අගය කරපු ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය, මිනිස් අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කරගන්නවාද, එහෙම නැත්නම් ඒ සියල්ලක්ම විනාශ වීමට අපි ඉඩ තියෙනවාද කියන ප්‍රශ්නයට තමයි අපි අද මුහුණ දෙන්නේ.

රජයේ පැත්තෙන් ඉතාමත් භයානක ප්‍රකාශ දැනටමත් කෙරිලා තියෙනවා. කිසිම පැකිලීමකින් තොරව කියලා තියෙනවා වර්තමාන රජයේ බලධාරීන්, ‘අපි ඇවිල්ලා ඉන්නේ අවුරුදු පහකට ආණ්ඩු කරන්න නෙවෙයි. අපි හුඟක් දුක් විඳලා මේ තනතුරුවලට පැමිණියේ. අවුරුදු 20ක් 25ක් අපි මේ බලය හසුරුවනවා. අපිව හොල්ලන්න බැහැ. අපි ලබාගත් බලය ලේසියෙන් අතහරින්නේ නැහැ.’ එළිපිට, ප්‍රසිද්ධියේ මෙහෙම ප්‍රකාශන දිගින් දිගටම කරනවා. ‘අපිට බලය තියෙනවා. අපි ලබාගත් බලය අතහරින්න අපිට කිසිම සූදානමක් නැහැ.’ කියලා.

පැහැදිලිව කියලා තියෙනවා පළාත් සභා මැතිවරණ තියන්නේ නැහැ. අපි තීරණය කරනවා, කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ පැවැත්වෙන්න ඕනේ. හැබැයි අපි තීරණය කරනවා පළාත් සභා මැතිවරණ නැත.

මේ රජය පත්වුණේ අවුරුදු පහකට. අවුරුදු පහකට පස්සේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්න ඕනේ. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්න ඕනේ. හැබැයි මේ අහංකාර ආකල්පය නිසා අපිට සැකයක් තියෙනවා, පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා වගේම අවුරුදු පහකට පස්සේ ජනාධිපතිවරණයත් කල් දාන්න උත්සාහ කරයිද? පාර්ලිමේන්තු මැතිවරණ නිසිකලට තියයිද? මේ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තියෙනවා.

ආණ්ඩුවේ ඇමතිවරුන් කියනවා, ‘අපිට දැන් තියෙන්නේ ආණ්ඩු බලය පමණයි, අපි ඒකෙන් සෑහීමට පත්වන්නේ නැහැ. අපිට ඕනේ රාජ්‍යයේ මර්මස්ථාන සියල්ලම අපේ ග්‍රහණයට නතු කරගන්න.’ මොනවාද මර්මස්ථාන? පොලීසිය, රාජ්‍ය සේවය, සේරටම වඩා වැදගත් වන්නේ අධිකරණය. මේ සියලුම ආයතන අපේ සෘජු පාලනයට අපි අරන් තියාගන්නවා. එහෙම නැත්නම් අවුරුදු පහකට රාජ්‍ය පාලනය කරලා පමණක් අපි සෑහීමට පත්වන්නේ නැහැ. අපේ අරමුණ ඒක නෙවෙයි. ඊට හුඟක් ඔබ්බට ගිහිල්ලා තියෙන අරමුණක්.

ස්වාධීන අධිකරණයක් නැත්නම් කිසිම මිනිස් අයිතිවාසිකමක් භුක්ති විඳීමට අපිට පුළුවන්කමක් නැහැ.

අද අප ඉදිරියේ තියෙන්නේ විකල්ප දෙකක්. එච්චරයි, වෙන මුකුත් නැහැ, විකල්ප දෙකක්. නිදහස්, නිවහල් පුරවැසියන් හැටියට අපි තවදුරටත් මේ රටේ ජීවත් වෙනවාද, එහෙම නැත්නම් අපේ ස්වාමීන් වහන්ස, අනෙක් විකල්පය තමයි ඒකාධිපති රාජ්‍යයක් කරා යන මෙම ගමනට අපි හිස නමලා ඒකට කොටස්කරුවන් වෙනවාද කියන මෙන්න මේ විකල්ප දෙක පමණයි අද අපේ ජනතාව ඉදිරියේ තියෙන්නේ. වෙන කිසිවක් නැහැ. එතකොට දැන් කාලය ඇවිල්ලා තියෙනවා මේ දෙකෙන් එකක් තෝරා ගැනීමට.

දැන් මේක කිසිසේත් ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු දෙකක් දීර්ඝ කිරීමක් නෙවෙයි. මේ තුළ සැඟවුණු අරමුණක් පැහැදිලිව තියෙනවා.

තව දවස් තුනකින් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් විශ්‍රාම ගන්නවා. සැප්තැම්බර් දෙවනදා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් විශ්‍රාම ගන්නවා. මේ ආණ්ඩුව ගෙනෙන්න බලාපොරොත්තු වන සංශෝධනය සති දෙකකට ඉස්සෙල්ලා ගෙනාවා නම්, ඒ විනිශ්චයකාරතුමාට තව අවුරුදු දෙකක් ඒ විනිශ්ච ආසනයේ සිටීමට පුළුවන්. සති දෙකක් පහුකරනවා නම්, එතුමාට ගෙදර යන්න සිද්ධ වෙනවා. එතකොට මේක ලෝතරැයියක්ද? සති දෙකක් ඉස්සෙල්ලා ගේනවා නම් විනිශ්චයකාරතුමා තවදුරටත් ඉන්නවා, සති දෙකක් පහුකරනවා නම් විනිශ්චයකාරතුමා ගෙදර යනවා. ලෝතරැයියකට වඩා භයානක තත්ත්වයක්. එතකොට ආණ්ඩුව තමයි තීරණය කරන්නේ කොයි විනිශ්චයකාරවරුන්ටද තවදුරටත් සේවය කරන්නේ, කොයි විනිශ්චයකාරවරුන්ද කියලා ගෙදර යවන්නේ.

මේ අවුරුද්දේ මෙතෙක් දුරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් හතරදෙනෙක් විශ්‍රාම අරන් තියෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා ඉවරයි. දැන් මේ සංශෝධනය මේ අවුරුද්ද මුලදී ගෙනාවා නම්, ඒ විනිශ්චයකාරවරුන් හතරදෙනා තව අවුරුදු දෙකක් සේවය කරනවා. හැබැයි එහෙම යෝජනාවක් ගෙනාවේ නැහැ. ඒ අය ගෙදර යනතුරු බලා සිටියා.

මේ අවුරුද්ද මුලදී හිටපු අග්‍ර විනිශ්චයකාරතුමිය, මුර්දු ප්‍රනාන්දු විනිශ්චයකාරතුමිය විශ්‍රාම ගියා. ඉතාමත් ගෞරවාන්විත සේවයක් අපේ රට වෙනුවෙන් ඉෂ්ට කරලා. කිසිම විවේචනයක් තිබුණේ නැහැ. එතුමියගේ නිල කාලය දීර්ඝ කිරීම පිළිබඳව කිසිම යෝජනාවක් තිබුණේ නැහැ. එතුමිය සේවය කරලා විශ්‍රාම ගන්න වයස ආවාම එතුමියට ගෙදර යන්න ඉඩ දුන්නා.

මොකක්ද මේ කරන්නේ? තෝරා බේරාගෙන, මෙන්න මේ කට්ටිය ගෙදර යවනවා, මේ කට්ටිය අපි තවදුරටත් තියාගන්නවා. කවුද ඒ තීරණය ගන්නේ? ආණ්ඩුව ඒ තීරණය ගන්නවා. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය.

වෙන රටවල්වල මෙහෙම නෙවෙයි. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි විනිශ්චයකාරවරුන්ගේ වයස විශ්‍රාම ගන්න වයස වැඩි කරන්න වුවමනා නම්, අනාගතයේ ඒ විනිශ්චය ධූරවලට පත්වෙන විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් ඒ වෙනස ක්‍රියාත්මක කරනවා.

ඒ විනිශ්චයකාරවරයා පත්වීම් ගන්නකොට විනිශ්චයකාරවරයා දන්නවා මෙන්න මේ කාලය තමයි කියලා මම සීමා වෙන්නේ. හැබැයි එහෙම කරන්නේ නැතුව තෝරලා බේරලා තමන්ට කැමති අය තියාගෙන, අකමැති අය ගෙදර යවන ආණ්ඩුව වැඩපිළිවෙලක් සකස් කරනවා නම්, ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වයේ මළගම. ඒකට තමයි අපි විරුද්ධ.

අද අපේ රටේ තිබෙන ආයතන අතුරින් ජනතාවගේ ගෞරවයට, විශ්වාසයට ලක්වෙලා තිබෙන ප්‍රධාන ආයතනය තමයි ශ්‍රී ලංකා අධිකරණය. අපිට ඕනේ ඒක ඒ විදිහටම තියාගන්න. රජයේ මේ කූට වැඩපිළිවෙල නිසා අධිකරණයේ ආත්මගරුත්වයට, තේජසට කිසිම හානියක් වෙනවාට අපි තරයේ විරුද්ධයි. අන්න ඒ නිසා තමයි අපි මෙච්චර මහන්සි වෙලා මේ වැඩපිළිවෙල ඉදිරියට අරන් යන්නේ.

රජයේ සම්පූර්ණ තර්කය වංචාවක්. මේකට මොකක්ද දෙන හේතුව? ඇයි මේ 22 වන සංශෝධනය ගේන්නේ? මොකක්ද සඳහන් කරන්නේ? ආණ්ඩුව කියනවා ඒගොල්ලන්ගේ අරමුණ තමයි මේ ගොඩගැහිලා තියෙන නඩු ඉක්මනින් විසඳීමට ආධාරයක් හැටියටයි කියලා මේ 22 වන සංශෝධනය ගේන්නේ. නීතියේ ප්‍රමාද වැළැක්වීම සඳහා. සම්පූර්ණ මිත්‍යාවක්.

පොඩ්ඩක් හිතලා බලන්න, දැන් සේවය කරන විනිශ්චයකාරවරුන්ගේ කාලය තව අවුරුදු දෙකක් දික් කිරීමෙන් නඩු ඇසීම ඉක්මන් වෙනවාද? මේ අවුරුද්දේ විනිශ්චයකාරවරයෙකු කරපු වැඩට සාපේක්ෂව දෙගුණයක්, මේ අවුරුද්දේ කරාට වඩා දෙගුණයක් ඒ විනිශ්චයකාරවරයා ඊළඟ අවුරුද්දේ කරනවාද? එහෙම කරන්න පුළුවන් ද?

නඩු ඇසීම ඉක්මන් කිරීමට මේක කිසිසේත් රුකුලක්, ආධාරයක් වන්නේ නැහැ. මේක නෙවෙයි විසඳුම. ප්‍රශ්නයක් තියෙනවා. නඩු එකොළොස් ලක්ෂයක් මේ රටේ ගොඩගැහිලා තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නයට විසඳුම දැන් සේවය කරන විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීම නෙවෙයි, විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරන්න, දිවයිනේ සෑම ප්‍රදේශයකම අලුත් අධිකරණ ස්ථාපිත කරන්න ඕනේ.

ඒ වගේම නීතිය පසඳලීමේ ක්‍රියාදාමයට කෙලින්ම සම්බන්ධ වෙන ආයතනවල තියෙන දුර්වලතා ඉවත් කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් බලන්න නීතිපති දෙපාර්තමේන්තුව, පොඩ්ඩක් හොයලා බලන්න අවුරුද්දකට කීදෙනෙක් ඒකෙන් අයින්වෙලා යනවාද කියලා. කීදෙනෙක් අයින්වෙලා යනවාද? නීතිපති දෙපාර්තමේන්තුවට හරි අමාරුයි ඒගොල්ලන්ගේ දක්ෂ නිලධාරීන් තියාගන්න.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, මුදල් ප්‍රශ්න තියෙනවා, උපකරණ පිළිබඳ ප්‍රශ්න තියෙනවා, රසායනාගාර පහසුකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉතාමත් ඒගොල්ලන්ගේ වැඩකටයුතු කිරීම සම්බන්ධයෙන් විශාල අසීරුතා තියෙනවා. ඒවා විසඳන්න රජය ප්‍රමාණවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා නැහැ.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, විශාල ප්‍රමාද තියෙනවා. මුදල් ප්‍රශ්න, කළමනාකරණ ප්‍රශ්න රාශියක් තියෙනවා.

ඒ වගේම උසාවිවල නඩු අහන ක්‍රමය, උසාවියකට ගිහිල්ලා බලන්න උදේ කාලය පැය කීයක් නාස්ති වෙනවාද කියලා. වෙන රටවල්වල ප්‍රාරම්භක සාකච්ඡා තියෙනවා පාර්ශවකරුවන් අතර. උසාවියේ කාලය ඉතිරි කරගැනීමට පුළුවන් වෙනවා. එතකොට ඒ නිසා නඩු අහන ක්‍රමවේදයේ, ක්‍රියා පරිපාටිය පිළිබඳ කාලෝචිත වෙනස්කම් කරන්න ඕනේ.

ඒවා මුකුත් නොකර, ඒ කිසිවක් ගැන අවධානයක් යොමු කරන්නේ නැතුව, දැන් සේවය කරන විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය කිසිසේත් විසඳන්න පුළුවන්කමක් නැහැ. නීතියේ ප්‍රමාද කොහෙත්ම අඩුවන්නේ නැහැ. එතකොට තිබෙන ප්‍රශ්නයයි, යෝජිත ප්‍රතිකර්මයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා, ඒ ප්‍රශ්නය විසඳීම සඳහා ඉතාමත් වංචනික, කිසිසේත් වලංගු නොවන යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙන් රටේ ජනතාව තමන්ගේ ප්‍රශ්න උසාවියට යොමු කරලා ඉක්මනට විසඳුම් ලබාගැනීමට මේකෙන් කිසිම උපකාරයක් නොලැබෙන බව වගකීමෙන් යුතුව අපි ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *