September 21, 2026

ගාමිණී වියන්ගොඩ 22 වන සංශෝධනයට එරෙහිව නඩු පවරයි!

0
Gamini-Viyangoda_news

2019 වසරේ ජනාධිපතිවරණයට ටික කලකට පෙර ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් රිට් අයදුම්පතක් ගොනු කළ ප්‍රවීන සාහිත්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන ගාමිණී වියන්ගොඩ මහතා විසින් විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැනීමේ වයස වැඩිකිරීම සඳහා ගෙන එනු ලබන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සමක් ගොනු කර ඇත.

SC/SD/70/2026 අංක දරන මෙම පෙත්සම මගින් පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය යටතේ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලැබිය යුතු බවට තර්ක කරන අතර නීතිඥ සුරේන් ඥානරාජ් මහතා විසින් ගාමිණී වියන්ගොඩ මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දක්වනු ඇත.

සිංහල සාහිත්‍යයට කරන ලද දායකත්වය හේතුවෙන් වියන්ගොඩ මහතා පුළුල් ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතර විශේෂයෙන් ලතින් ඇමරිකානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට හඳුන්වා දීම සඳහා ඔහු කළ පුරෝගාමී දායකත්වය අවිවාදිතය.

දහඅටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තුන්වන වරටත් තරඟ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ දැරූ උත්සාහයට විරුද්ධ ව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස ‘පුරවැසි බලය’ ගොඩනැගීමට ඔහු මූලික වූ අතර 2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ද ‘පුරවැසි බලය’ සංවිධානය විශාල දායකත්වයක් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *