September 21, 2026

ලාල්ට තියෙන කොන්ද උපුල්ට නෑ! මෙක ශිෂ්ට සම්පන්න සමාජයක් වෙනුවෙන් සටනක්!

0
LALVSUPUL

22ට එරෙහිවීම ආණ්ඩුව සහ විපක්ෂය අතර සටනක් නොවේ ! 22 ට එරෙහි සටන ශිෂ්ට සම්පන්න සමාජයක ශිෂ්ට සම්පන්න පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටනක් ! බව වත්මන් NPP ආණ්ඩුවේ නායකත්ව මණ්ඩල සභික ලාල් විජේනායක මහතා පෙන්වා දෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධිනීතිඥ ලාල් විජේනායක මහතා පෙන්වා දෙන්නේ 22 වන සංශෝධනයට එරෙහි වීම ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින දේශපාලන සටනක් ලෙස ලඝු කොට දැක්වීම ජනතාව නොමඟ යැවීමක් බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සඳහා හදිසියේ ගෙන එනු ලැබූ 22 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හරහා රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වී ඇති බවද ලාල් විජේනායක මහතා අවධාරණය කරයි.

මෙම ක්‍රියාවලිය මගින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස ඇතුළු වරප්‍රසාද තම සේවා කාලය තුළදී වෙනස් කළ නොයුතුය යන, ප්‍රජාතාන්ත්‍රවාදී රටවල පිළිගත් මූලධර්මය බරපතල ලෙස කඩ කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන සෑම ප්‍රහාරයක්ම සමස්ත ප්‍රජාතාන්ත්‍රවාදය සහ මූලික අයිතිවාසිකම් කෙරෙහි එල්ල වන පහරක් බවද හෙතෙම සඳහන් කරයි.

අධිකරණයේ ස්වාධීනත්වය යනු බලධාරීන් විසින් ජනතාවට දෙන ලද ත්‍යාගයක් නොව, දීර්ඝ කාලයක් ප්‍රගතිශීලී බලවේග ගෙන ගිය අරගල තුළින් දිනා ගත් මූලික අයිතියක් බවද ලාල් විජේනායක මහතා සිහිපත් කරයි.

විධායකයෙන් හා ව්‍යවස්ථාදායකයෙන් ජනතාවගේ අයිතීන්ට එල්ල විය හැකි අයුක්ති සහගත බලපෑම්වලින් පුරවැසියා ආරක්ෂා කළ හැකි එකම ආයතනය අධිකරණය වන බැවින්, එහි ස්වාධීනත්වය බිඳ වැටීම පුරවැසියන් නැවත වහලුන් තත්ත්වයට පත් වීමක් වැනි බව හෙතෙම පෙන්වා දෙයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය නඩු විමසීම් කඩිනම් කිරීමේ අරමුණින් ගත් පියවරක් ලෙස පෙන්වා දීම අසත්‍යයක් බවත්, මෙය දීර්ඝ කාලීන කැපවීමකින් දිනාගත් ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත්වීමේ අයිතිය අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කිරීමේ සටනක් බවත් ලාල් විජේනායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ඒ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

අධිනීතීඥ ලාල් විජේනායක,
නීතීඥ කාර්යාල සංකීර්ණය,
අංක:491,
විලියම් ගොපල්ලව මාවත,
මහනුවර.

22 වන ව්‍යවස්ථා සංශෝධනය නොහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධන හදිසියේම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ක්‍රියාවලිය තුළින් රටේ මහත් අර්බුදකාරී තත්ත්වයක් මතු කර ඇත.

අප තේරුම් ගත යුතු වැදගත් කරුණ වන්නේ මෙම ක්‍රියාවලිය තුළින් ප්‍රජාතාන්ත්‍රවාදී රටවල පිළිගෙන ඇති අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන කුළුණක් වන උපරිමාධිකරණය විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස ඇතුළු වරප්‍රසාද තම සේවා කාලය තුළදී වෙනස් කළ නොයුතුව යන මූලධර්මය කඩ කිරීමකි. මෙම මූලධර්මය අධිකරණයේ ස්වාධීනත්වය රඳා පවතින ප්‍රධාන කුළුණක් ලෙස අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන සියළු රටවල පිළිගත් මූලධර්මයකි. එහෙයින් මෙම පියවර ප්‍රජාතාන්ත්‍ර වාදයට ද පහරක් බව පිළිගෙන ඇත. අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවන සෑම පහරක්ම ප්‍රජාතාන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් කෙරෙහි එල්ලවන පහරක් වේ.

අධිකරණයේ ස්වාධීනත්වය යන ප්‍රජාතාන්ත්‍රවාදයේ හදවත ජනතාවට ලබා දී ඇති වර ප්‍රසාදයක් බව ප්‍රකාශ වන නමුත් ඇත්තෙන්ම එය ප්‍රධානයක් ලෙස ජනතාවට ලබා දුන් වරප්‍රසාදයක් නොව දීර්ඝ කාලයක් ප්‍රගතිශීලී බලවේග ගෙන ගිය සටන් තුළින් ජනතාව දිනා ගත් ප්‍රධාන අයිතියකි. මෙය දීර්ඝ කාලයක් ඉමහත් පරිත්‍යාගයකින් ගෙන ගිය සටනක ප්‍රතිඵලයකි.

විධායකයෙන් හා ව්‍යවස්ථාදායකයෝ අධිකරණය ස්වාධීන විය යුතු වන්නේ විධායක හා ව්‍යවස්ථාදායකය තුළින් ජනතාවගේ අයිතීන් කෙරෙහි එල්ල විය හැකි ප්‍රජාතාන්ත්‍රවාදයට පටහැනි මූලික හා මිනිස් අයිතිවාසිකම් වලින් ජනතාව මුදා ගත හැකි එකම ආයතනය අධිකරණය වන හෙයින්ය.

ව්‍යවස්ථාදායකයෙක් හෝ විධායකයෙක් වන්නා වූ මූලික හා මානව හිමිකම් කඩවීමකදී ජනතාවට යුක්තිය ඉටු කර ගත හැකි එකම වේදිකාව අධිකරණයයි. අධිකරණයට එවැනි පුරවැසියෙකු හා විධායකය හා / හෝ ව්‍යවස්ථාදායකය අතර ඇති විය හැකි ගැටීමකදී මැදිහත් වී ස්වාධීනව නීතීය ක්‍රියාත්මක කරමින් පුරවැසියෙකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවස්ථාවක් නොලැබේ නම් පුර වැසියන් වහලුන් බවට පත් වේ.

මූලික අයිති වාසිතම් හා මානව හිමිකම් අර්ථවත් වන්නේ පුරවැසියෙකු හා විධායකයෙකු අතර ඇති අර්බුදයකදී නීතිය අර්ථ කථනය කරමින් පුරවැසියන් බලවත් විධායකයෙන් ආරක්ෂා කිරීම පමණකි.

එහෙයින් අධිකරණයේ ස්වාධීනත්වය කඩ කිරීම නඩු විමසීම කඩිනම් කිරීම සඳහා ගන්නා ලද පියවරක් බවට ප්‍රකාශ කිරීම මුසාවකි. එමගින් ස්වාධීන අධිකරණයන් සතුව ප්‍රධාන කාර්යභාරය ඉටු කිරීමට වැළකී යනු ඇත.

එහෙයින් 22 වන සංශෝධනයට විරුද්ධ සටන හුදෙක් ආණ්ඩුව හා පක්ෂයන් අතර හෝ පක්ෂ අතර සටනක් ලෙස ගෙන හැර දැක්වීම ජනතාව නොමඟ යැවීමකි. අධිකරණයේ ස්වාධීනත්වය සඳහා සටන ඊට වඩා පළල් ජනතාව දීර්ඝ කාලීන හා ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ සටන තුළින් දිනා ගත් ශිෂ්ට සම්පන්න සමාජයක ශිෂ්ට සම්පන්න පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ සටනකි.

ජනතාව ඉදිරියේ ඇති විකල්පය වන්නේ පක්ෂයක් ආරක්ෂා කරන්නේ ද යන්න නොව දීර්ඝ කාලීන ඉමහත් කැපවීමකින් සටන් කර ජනතාව දිනා ගත් මෙම ශිෂ්ට සම්පන්න සමාජයක ශිෂ්ට සම්පන්න පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය අප මතු පරම්පරාවට ඉතිරි කර යන්නේ ද යන සටනයි.

මෙයට,
අධිනීතීඥ ලාල් විජේනායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *