ආර්ථිකයේ අවිනිශ්චිතතා ඉහළ මට්ටමක…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, 2026 අගෝස්තු මස මුදල් ප්‍රතිපත්ති වාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා (13දා) ප්‍රකාශයට පත් කළේය. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙසේ 2026 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මෙසේ නිකුත් කර ඇත. මේ වාර්තාව වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරයි.
මෙමගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන්ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම එම පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයන බව මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව පිළිබඳ මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ. මෙම වාර්තාව මගින් මහ බැංකුව, සිය මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති තීරණවලට පාදක වූ මූලික කරුණු සන්නිවේදනය කරමින්, සිය විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දරා ඇත. මෙම වාර්තාව මූලික වශයෙන් මේ වසරේ (2026) ජූලි මාසයේ පැවති මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේ දී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සාර්ව ආර්ථික තත්ත්වය පිළිබඳව සිදුකළ ඇගයීම් මත පදනම් වේ. මේ පසුබිම තුළ මේ වාර්තාවේ දැක්වෙන ලෙස ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්ම ගැන මේ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.
මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සුවිශේෂී කරුණු
● අඩු මට්ටම්වල සිට තීව්‍ර ලෙස ඉහළ ගිය මතුපිට උද්ධමනය, නුදුරු කාලයේ දී තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමෙන් අනතුරුව 5% ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි පුරෝකථනය කෙරේ.
● උද්ධමනකාරී පීඩන පාලනය කිරීම සහ උද්ධමන අපේක්ෂා විතැන් වීම සඳහා පැවතිය හැකි අවදානම අවම කිරීමේ අරමුණින් මහ බැංකුව 2026 වසරේ මැයි මාසයේ දී මුදල් ප්‍රතිපත්තිය දැඩි කළේය.
● මෑතකාලීන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් පෞද්ගලික අංශයේ ණය වර්ධනය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
● මැදපෙරදිග යුද්ධය හේතුවෙන් එල්ල වන බලපෑම් හමුවේ වුව ද විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවතී.
● භූ දේශපාලනික සහ කාලගුණික අවිනිශ්චිතතා හේතුවෙන් අවදානම් මතුවිය හැකි වුව ද ආර්ථික වර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම බොහෝ දුරට ස්ථායීව පවතී.
දේශීය ආර්ථිකයට අහිතකර බලපෑම්
දැනට වාර්තා වන පරිදි ආර්ථික වර්ධන මට්ටමක් පවතී. එසේම අනාගතය ගැන ආර්ථික වර්ධන අපේක්ෂාවන් ද තිබේ. දැනට පවතින ආර්ථික වර්ධන මට්ටම ප්‍රමාණවත් නොවන අතර මේ මන්දගාමී වර්ධන මාවතින් අප වේගවත් ආර්ථික වර්ධන මාවතකට පිවිසිය යුතු වේ. මේ අනුව සැබෑ ආර්ථික වර්ධනය මූලික පුරෝකථනවලින් අපගමනය (වෙනස්) වීමට ඇති අවදානම් ගැන ද මේ වාර්තාවේ විශේෂයෙන් දැක්වේ. මේ අනුව මේ වාර්තාවේ සඳහන් වන ලෙස මූර්ත ආර්ථික වර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම ගැන මුලින්ම අපගේ අවධානය යොමු කරමු. ඒ අනුව මූලික වශයෙන්ම මේ නවතම වාර්තාවේ සඳහන් වන්නේ මැදිකාලීනව ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳ ඉහළ අවිනිශ්චිතතා පවතින බවයි. භූ දේශපාලනික ප්‍රවණතා, වෙනස් වන දේශීය හා විදේශීය තත්ත්ව මෙන්ම දේශගුණික අවදානම් මගින් ඇතිවිය හැකි බලපෑම්, මේ ඉහළ අවිනිශ්චිතතාවට හේතුව බව ද එම මහ බැංකු මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වේ. මැදපෙරදිග කලාපයේ යළිත් වර්ධනය වී ඇති භූ දේශපාලනික අර්බුද, ගෝලීය බලශක්ති වෙළෙඳපොළ, වෙළෙඳ ප්‍රවාහ, සැපයුම් දාම සහ ආයෝජක විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි අතර, එහි වක්‍ර බලපෑම් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ද අහිතකර ලෙස බලපෑ හැකි බව ද එම වාර්තාවේ දැක්වේ.
මහ බැංකුව කියන ලෙස ඉදිරි ආර්ථික දිශානතිය පෙන්වන දර්ශක, සමීක්ෂණ ප්‍රතිඵල සහ කාර්යමණ්ඩල ඇගැයීම් මත පදනම්ව, කර්මාන්ත සහ සේවා අංශවල කාර්යසාධනය පිළිබිඹු කරමින්, මේ වසරේ (2026) දෙවන කාර්තුවේ දී මූර්ත ද.දේ.නි. යේ වර්ධනය එනම් ආර්ථික වර්ධනය ස්ථායීව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික අර්බුදකාරී තත්ත්ව හේතුවෙන් ඇතිවන ආර්ථික බලපෑම්වල තීව්‍ර බව පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා අඩු වී ඇත. මේ නිසා නුදුරු කාලීන ආර්ථික වර්ධන අපේක්ෂා බොහෝ දුරට ධනාත්මකව පවතින බවට මහ බැංකුවේ අපේක්ෂාව වී ඇත. එසේම දේශීය ඉල්ලුම වැඩිදියුණු වීම සහ අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථායීතාව හේතුවෙන්, මැදිකාලීන වර්ධන මාවත එහි විභව නිමැවුම් මට්ටම දක්වා ක්‍රමයෙන් ශක්තිමත් වනු ඇතැයිද මහ බැංකුව අපේක්ෂා කරයි. මේ වන විට රටට මුහුණ දීමට සිදුව ඇත්තේ ලෝක වෙළෙඳ සහ ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතා මධ්‍යයේය. මේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ ප්‍රවණතා ද ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ගමන්මගට බලපෑම් ඇති කරයි. අයහපත් කාලගුණික බලපෑම් ගැන මේ වාර්තාවේ මෙසේ සඳහන් වේ.
‘නිතර ඇති වන අයහපත් කාලගුණික බලපෑම් හේතුවෙන් මැදිකාලීන සිට දිගුකාලීන ආර්ථික වර්ධනය සීමා වීමට ඉඩ ඇති අතර, තිරසාර සහ දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපත්තිමය අවශ්‍යතාව එමගින් අවධාරණය කෙරේ. මෙම පසුබිම තුළ, දැනට පවතින ආර්ථික වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීම, ඉලක්කගත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වර්ධනය ඉහළ නංවන උපායමාර්ග කාලෝචිත සහ ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම මත රඳා පවතී.’
මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව වූයේි‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන්නයි. මේ කියන පොහොසත් රටක් ඇති කර ගැනීම සඳහා නම් මේ යන ලෙස ගිහින් නම් කිසිසේත්ම ළඟා විය නොහැකිය. ඒ සඳහා කවර කාලයක් ගත වනු ඇති ද යන්න ගැනත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. රටේ ජනතාවගෙන් හතරෙන් එකක් පමණ දරිද්‍රතාවට පත්ව සිටින තත්ත්වයක් තුළ ‘පොහොසත් රටක්’ ගැන මෙන්මි‘ලස්සන ජීවිතයක්’ ගැන ද අපට කිසිසේත්ම අපේක්ෂාවක් රඳවාගත නොහැකිය. දැනට තිබෙන අයිඑම්එෆ් වැඩසටහන ලබන වසරේ (2027) මාර්තු මාසයෙන් අවසන් වේ. ඒ නිසා එතැන් සිට අපට සිදු වනුයේ නිසි ලෙස රාජ්‍ය ණය කළමනාකරණය කර ගනිමින් විදේශ ණය ගෙවමින් අපේ ආර්ථිකය මෙහෙයවීමටය. ඒ සඳහා වත්මන් ආණ්ඩුව සූදානම් ද ? මේ බරපතළ ප්‍රශ්නය අප හමුවේ ඇති අතර තවත් මාස කිහිපයක් මේ සඳහා ඉතිරිව ඇත. මෙය ඉතා කෙටි කාලයකි. එබැවින් අප්‍රමාදව අප ඒ සඳහා සූදානම් විය යුතු වේ.
ආර්ථික වර්ධනය නුදුරු කාලීනව මෙන්ම මැදි කාලීනව පුරෝකථනය කළ මට්ටමට වඩා පහළ යෑම සඳහා හේතු විය හැකි සාධක කිහිපයක් ගැන මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ මෙසේ දැක්වේ.

‘මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික අර්බුදකාරී තත්ත්ව තවදුරටත් උග්‍ර වීම සහ ගෝලීය වෙළෙඳ මෙන්ම ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතා ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් දුර්වල විය හැකි අතර එමගින් ශ්‍රී ලංකා අපනයන සඳහා පවතින විදේශීය ඉල්ලුම අඩු වී අපනයන කේන්ද්‍රකර ගත් කර්මාන්තවලට අහිතකර බලපෑම් එල්ල විය හැකිය. එමෙන්ම, ප්‍රධාන සංචාරක මූලාශ්‍ර වෙළෙඳපොළවල පවතින දුර්වල ආර්ථික තත්ත්ව හේතුවෙන් සංචාරක පැමිණීම් සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත වියදම් අඩු වීමට ඉඩ ඇති අතර, එය නවාතැන්, ආහාර සේවා, ප්‍රවාහන සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කරනු ඇත. එල්නිනෝ තත්ත්ව ඇතිවීමේ හැකියාව හේතුවෙන් දිගුකාලීන වියළි කාලගුණික තත්ත්ව සහ අක්‍රමවත් වර්ෂාපතන රටා ඇතුළු අයහපත් කාලගුණ තත්ත්ව ඇති විය හැකි අතර, එමගින් කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඒ ආශ්‍රිත ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර ලෙස බලපෑම් එල්ල විය හැකිය. මීට අමතරව, ජලාශවල ජල මට්ටම පහළ යෑම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වී වැඩි පිරිවැයක් සහිත තාප විදුලි උත්පාදනය මත රඳා පැවතීමට සිදුවිය හැකි අතර, එමගින් බලශක්ති සහ නිෂ්පාදන වියදම් ඉහළ යෑමට ඉඩ ඇත. සමස්තයක් ලෙස ගත් කළ, මෙම ප්‍රවණතා කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා යන අංශයන්වල ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කළ හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වර්ධන ගමන්මග පුරෝකථනය කර ඇති මට්ටමට වඩා අඩු විය හැකිය.’
මේ අතරම ආර්ථික වර්ධනය පුරෝකථනය කර ඇති මට්ටමට වඩා ඉහළ යෑමට ඇති හැකියාව ද මේ වාර්තාවෙන් සලකා බලා ඇත. ඒ අනුව පෞද්ගලික අංශයේ ණය වර්ධනය අඛණ්ඩව ඉහළ යෑම මගින් පරිභෝජන සහ ආයෝජන වැඩිදියුණු වීම හරහා ආර්ථික ක්‍රියාකාරකම් අපේක්ෂා කළ මට්ටමට වඩා ශක්තිමත් වීමට සහායක් ලැබිය හැකිය. එසේම දේශීය ඉල්ලුම ශක්තිමත් වීම මගින් ද වෙළෙඳ, ප්‍රවාහන සහ අනෙකුත් සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙත ධනාත්මක වක්‍ර බලපෑම් ඇති කළ හැකි අතර, එය දැනට පුරෝකථනය කර ඇති මට්ටමට වඩා ඉහළ වර්ධනයකට සහාය වනු ඇතැයි ද අපේක්ෂා කළ හැකිය.
ආර්ථිකය ගැන පෙර පුරෝකථන
මේ වසරේ (2026) පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ ඉදිරිපත් කරන ලද, 2026 වසරේ ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති වාරයේ දී පැවති ආර්ථික පුරෝකථනයට සාපේක්ෂව වත්මන් පුරෝකථනවල වෙනසක් සිදුව ඇත. එයට හේතුව නම් 2026 පෙබරවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ ඉදිරිපත් කරන ලද පුරෝකථන, මැදපෙරදිග යුදමය තත්ත්වය එතරම් වර්ධනය වීමට පෙර සකස් කළ ඒවා වීමයි. එහෙත් වත්මන් පුරෝකථන සැකසීමේ දී මෙම ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන ඇත. ඒ අනුව, මූලික පුරෝකථන සඳහා පාදක වී ඇති ප්‍රධාන උපකල්පන කිහිපයක් සංශෝධනය කර ඇත. මේ අනුව මැදිකාලීන පුරෝකථන සඳහා භාවිත කළ ප්‍රධාන උපකල්පන ගෝලීය පුරෝකථන සමග සසඳන විට, 2026 වසරේ ජූලි මස මුදල් ප්‍රතිපත්ති වාරයේ දී භාවිත කරන ලද ගෝලීය පුරෝකථනවලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ අපනයන අනුව බර තබන ලද විදේශ නිමැවුම් පරතරය පිළිබඳ ඉදිරි දැක්ම දුර්වල වී ඇති බව මේ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වේ. එසේම මැදපෙරදිග කලාපයේ අර්බුදයේ වක්‍ර බලපෑම් හේතුවෙන් යූරෝ කලාපයේ, එක්සත් රාජධානියේ සහ ඇමෙරිකාවේ ආර්ථික වර්ධන අපේක්ෂා දුර්වල වීම ද සිදුව ඇත.
2026 වසරේ ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති වාරයේ පුරෝකථනවලට අනුව, ගෝලීය ආහාර උද්ධමනය ලබන වසරේ (2027) මුල් කාලය දක්වා ඉහළ ගොස්, ඉන් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබිණි. එහෙත් පසුව මැදපෙරදිග අර්බුදය තීව්‍ර විය. ඒ නිසා ප්‍රධාන නැව් මාර්ගවලට බාධා එල්ල වීමෙන් ඒ ආශ්‍රිත අවිනිශ්චිතතා ඉහළ ගියේය. මේ හේතුවෙන් ලෝක තෙල් මිල ගණන් පිළිබඳ ඉදිරි දැක්ම, විශේෂයෙන් නුදුරු කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එහි සඳහන් වේ. එසේම මේ වසරේ (2026) ජනවාරි මස පුරෝකථන සමග සසඳන විට ඇමෙරිකාවේ අපේක්ෂිත මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ වේගය ද මන්දගාමී වී ඇතැයි මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දක්වා ඇත. දේශීය වශයෙන් ගත් විට, 2026 වසරේ ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති වාරයේ දී සිදු කරන ලද පුරෝකථන පදනම් වූයේ මේ වසරේ (2026) පරිපූරක අයවැය ඇස්තමේන්තුව මතයි. එහෙත් නව පුරෝකථනවල දී 2027 වසරේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ තොරතුරු පදනම් කරගෙන ඇත. ඒ අනුව මේ වසරේ (2026) රාජ්‍ය ආදායම් ඉහළ යෑම හේතුවෙන් අඩු අයවැය හිඟයක් පුරෝකථනවල දී සලකා ඇත.
ගිය වසරේ (2025) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. ඉන් පසු මේ වසරේ (2026) පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1 කින් ද වර්ධනය වී ඇත. මෙසේ යම් ධනාත්මක ආර්ථික වර්ධන ප්‍රවණතාවක් තිබේ. එහෙත් 2022 වසරේ ආර්ථිකය වැටීමේ දී සිදු වූ නිෂ්පාදන පරිහානියට සාපේක්ෂව, එම ආර්ථික අර්බුදයට පෙර සහ දැන් මූර්ත නිෂ්පාදනයේ මට්ටම දෙස බලන විට අප සැලකිය යුතු ආර්ථික ප්‍රගතියක් ලබා නැති බව කිව හැකිය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික නිෂ්පාදිත ඇස්තමේන්තුවලට අනුව, මේ වසරේ 2026 පළමුවන කාර්තුවේ දී ආර්ථිකය සියයට 5.1 කින් සිදු වූ වර්ධනය ගිය වසරේ (2025) පළමු කාර්තුවේ වාර්තා වූ සියයට 4.7 ක ආර්ථික වර්ධනයට සාපේක්ෂව නම් වඩා ඉහළ අගයක් බව සැබෑය. එහෙත් 2022 වසරේ ආර්ථික වැටීමට පෙර පැවති මට්ටමට අනුව නම් අපට එසේ කිව හැකි නොවේ. මේ අනුව ආර්ථිකයේ වර්ධනයක් තිබුණත්, එය රට මුහුණ දී සිටින දරිද්‍රතාව ඇතුළු ආර්ථික අභියෝග ජය ගැනීමට නම් ප්‍රමාණවත් නොවන බව කිව යුතුය. එනම් මේ ප්‍රමාණවත භාවය පිළිබඳ ඇගයීමේ දී කිව යුතු වන්නේ පසුගිය දැඩි ආර්ථික අර්බුදයෙන් පසුව සියයට 5 ක පමණ ආර්ථික වර්ධනයක් ලබා ගනිමින් ආර්ථිකය ස්ථාවර වීමේ යහපත් ලක්ෂණයකි. එහෙත් දිගුකාලීන තිරසාර සංවර්ධනයක් උදෙසා සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මෙම වර්ධන මට්ටම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර, පවතින අවදානම් (ගෝලීය බලශක්ති මිල ගණන්, භූ-දේශපාලනික අභියෝග සහ කාලගුණික බලපෑම්) හමුවේ මෙම වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් ද පවතී.
මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මාර්ගගත (ඔන්ලයින්) ප්‍රකාශනයකි. දැන් එය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් ඕනෑම අයෙකුට පරිශීලනය කළ හැකිය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
