ඉන්ධන සහනය ඩීසල්වලට පමණයි! පෙට්‍රල් ගහන අයට අබසරණයි!
රජය විසින් ලබාදීමට සැලසුම් කර ඇති ඉන්ධන මිල සහනය ඩීසල් සඳහා පමණක් ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඒ අනුව ඉදිරි මාස තුනක කාලසීමාව සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල්වල විකුණුම් මිල මත සහනයක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.
මෙම සහනය සඳහා මාස තුන තුළ රුපියල් බිලියන 40.65ක උපරිම ප්‍රතිපාදනයක් වෙන් කිරීමට නියමිතය.
ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15ක් වශයෙන් එම ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇත.
ඒ අනුව මාසයෙන් මාසයට අදාළ සීමාවන්ට යටත්ව මෙම මුදල් යොදාගෙන ඩීසල් විකුණුම් මිල සඳහා සහනය ලබාදීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව රජයේ මෙම මාස තුනක ඉන්ධන සහන වැඩපිළිවෙළ යටතේ පෙට්‍රල් සඳහා සහනයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, සහනය ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා සීමා වේ.
