ජනපතිට උපදෙස් දෙන ජ්‍යේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද?
ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද යැයි දැනගැනීමට කැමති බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (15) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ…
අවදානමක් නෑ අවධානයක් ගන්න ජනාධිපතිවරයා සුදානම් ද…?
”දැන් ජනාධිපතිවරයා පැහැදිලිවම මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන කාරණයක් සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණයක් ගන්නවා. දැන් ජනාධිපතිවරයා කියනවා විෂයපථය පිළිබඳව ජ්‍යේෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තා කියලා. දැන් අපි දැනගන්න කැමතියි මේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද?
දැන් රටේ නීතිඥ සංගමය ඒකට විරුද්ධයි නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නම්, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, UN එක මේ පිළිබඳව තමන්ගේ මතය විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් මේ පිළිබඳව පැහැදිලි දැක්මක් නැති බව අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන්න හැකියි කියන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුවත් කරලා තියෙනවා නම්, ඉතින් මේ ජනාධිපතිවරයා ගන්න අවදානම පිළිබඳව නම් මට හිතාගන්න බෑ. හැබැයි ඉතින් අවදානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා. හැබැයි මේ ජනාධිපතිතුමා මේ වැඩේ කරලා කාගේ අවධානය ද යොමු කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි විමසිල්ලෙන් බලන් ඉන්නවා. මොකද අවදානමක් නම් පේන්න නෑ, හැබැයි අවධානයක් ගන්න නම් ජනාධිපතිවරයා ලෑස්ති වෙන බව පේනවා.
කාලෙ දික් කරා කියලා පුරප්පාඩු පිරෙන්නේ නෑ
ජනාධිපතිතුමා මුහුණ දීලා තියෙන අත්දැකීම් අනුව එතුමාට එහෙම හිතෙනවා ඇති. මොකද 159ක් මල් පැළ ගෙනාවනේ ජ්‍යේෂ්ඨයෝ ඕන නෑයි කියලා. ඒ ගෙනාවට පස්සේ ජනාධිපතිවරයාට හිතෙනවාද දන්නේ නෑ මලකෙළියයි, කරගත්ත වැඩේ අපරාධයක්, ඒ හින්දා අත්දැකීම් තියෙන මිනිස්සු හිටියා නම් හොඳයි කියලා ජනාධිපතිවරයාට හිතෙනවා ද දන්නෙත් නෑ. හැබැයි ඒක එතුමා ගේ දේශපාලන කියවීම. හැබැයි ඉතින් මේ රටේ රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, අධිකරණ පද්ධතිය වෙන්න පුළුවන්, ආයතන වල ක්‍රියාකලාපය සහ ඒ ආයතනවල පැවැත්ම සඳහා නොයෙක් තීන්දු තීරණ ගත යුතුයි. ඉතින් ඒ වගේම තමයි මේ රටේ අධිකරණ ක්ෂේත්‍රය ගත්තම, නීති ක්ෂේත්‍රය ගත්තම, පළපුරුද්දක් තියෙන, දැක්මක් තියෙන සහ විශාල පිරිසක් මේ ක්ෂේත්‍රය ඇතුළෙ ඉන්නවා. තවමත් ජනාධිපතිවරයාට පුරප්පාඩු පුරවගන්න බැරි නම්, ඉතින් කාලෙ දික් කරා කියලා පුරප්පාඩු පිරෙන්නේ නෑනේ. පහළ උසාවි සහ හයිකෝට් නැත්නම් ඉහළ උසාවි ප්‍රමාණය වැඩි කරගන්නේ නැතුව, වයස වැඩි කරා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑනේ. ඉතින් මේ වෙනකොටත් තාම ජනාධිපතිවරයාට කන්ටේනර් 323 පන්නපු කෙනා හොයාගන්න බැරි නම්, අර කුඩු කන්ටේනර් දෙක වරායෙන් පන්නපු එක්කෙනා හොයාගන්න බැරි නම්, තමන් මුදල් ඇමති නේද; ජනාධිපති නේද?
මහනායක හාමුදුරුවන් ගේ ලිපිය කෝ…?
මේ රටේ මුදල් ඇමතිවරයා ඉන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. ඉතින් එයාගේ ගිණුමෙන් හැකර් කෙනෙක් පැනලා සල්ලි හොරකම් කරේ කවුද කියලා හොයාගන්න බැරි නම්, ඉතින් එතනින් එහාට ඉතින් මේ ජනාධිපතිවරයා කාගේ වයස් සීමාව දික් කරත් ප්‍රතිඵලය කොච්චරම තමයි. ඉතින් මේ නිදහසට කරුණු හොයන්නේ. ඉතින් ඒ හින්දා ඒක තමයි මං කිව්වේ පැහැදිලිවම අපි, අපි අවධානයෙන් ඉන්නවා ජනාධිපතිතුමා කාගේ අවධානය දිනාගන්නද දඟලන්නේ කියලා.
ජනාධිපතිවරයා හොඳට කතා කරනවා. අපි දැක්කනේ ඉතින් එතුමාගේ දේශපාලන ඉතිහාසයේ ඉඳන් හොඳට කතා කරනවා. අර ලැම්බෝගිනි ගැන කිව්වා, රත්තරන් අස්සයෝ ගැන කිව්වා, ඉතින් එතුමා හොඳ කථිකයෙක්. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් එතුමා අද වෙනකම් මල්වත්තේ අස්ගිරිය මහනායක හාමුදුරුවන්ගේ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරක් දුන්නද නැද්ද කියන ප්‍රශ්නාර්ථයත් තියෙනවා. ඉතින් මහනායක හාමුදුරුවෝ යම්කිසි කාරණයක් මතු කරාම ජනාධිපතිවරයාට යුතුකමක් තියෙනවා ඒ පිළිබඳව උත්තරයක් දෙන්න. දුන්නාද නැද්ද කියලා, නැත්නම් දුන්නා නම් එතුමා කියන්න ඕනේ දුන්නා කියලා, නැත්නම් ඉතින් නෑ.
තනියම සාකච්ඡා කරපු ජනාධිපති
අනිත් පැත්තෙන් ඉතින් දැන් ජනාධිපතිවරයා බලනකොට තනියමනේ සාකච්ඡා කරලා තියෙන්නේ. මාධ්‍ය බැලුවාම ජනාධිපතිතුමා තනියම සාකච්ඡා කරලා තියෙන්නේ. නීතිඥ සංගමය අහපු ප්‍රශ්නයක්වත්, තමන් ඉදිරිපත් කරපු කාරණයක්වත් මාධ්‍යයට නිදහස් කරලා, මාධ්‍යයට රිලීස් කරලා නෑනේ. එතකොට දැන් මේ ජනාධිපතිතුමා තනියම සාකච්ඡා කරපු කාරණයක ප්‍රකාශයක් තමයි මාධ්‍යයට දාලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිවරයා ඔය කියන තරම් අවංක නම් අඩුම ගානේ නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරපු කාරණාවත්, අඩු ගානේ ආණ්ඩුවට වාසි කාරණා කෑල්ලවත් මාධ්‍යයට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් එහෙමවත් ඉදිරිපත් නොකර ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පමණක් ඉදිරිපත් කෙරුවා නම්, ඉතින් ඒකෙත් මං දැක්කා දැන් ජනාධිපතිවරයා කියනවා මේ ඕන වෙලාවක යන්න ලෑස්තියි කියලා. හැබැයි ඉතින් ජනාධිපතිතුමාගේ ගෝලයෝ බලන් ඉන්නවා පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් ඉන්න. එයාලා අවුරුදු 20ක් ඉන්න බලන් ඉන්නකොට මෙන්න මෙහෙ යන්න ලෑස්ති වෙලා. ඉතින් පැහැදිලිවම ආණ්ඩුව තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න, ආණ්ඩුවේ පැවැත්ම සඳහා මේ රටේ අධිකරණ පද්ධතියත් ජනතාවත් පාවලා දෙන තැනට අද පත් වෙලා තියෙනවා.
