August 11, 2026

නලින්ද, අනුරගේ රෙද්ද කඩයි! ඩෝබි බලකායට අබසරණයි!

0
AKD_ND

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පිළිගත්තා.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ලිපියේ අඩංගු කරුණු අනුව තමා සහ අධිකරණ අමාත්‍යවරයා මහනාහිමිවරු බැහැදැක කරුණු පැහැදිලි කළ බවය.

“මහානාහිමිවරුන් විසින් ඉදිරිපත් කළ ලිපිය… මහානාහිමිවරුන් මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපතිට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ තිබෙන කරුණු සැලකිල්ලට අරගෙන 22වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධනය කැබිනට් එකට ඉදිරිපත් කරන්න කලින් මමත් අධිකරණ ඇමතිතුමත් කරුණු පැහැදිලි කිරීමක් කළා. අපේ පැත්තෙන් අපි අදහස් දැක්වුවා. අපි බලාපොරොත්තු වුණේ කැබිනට් මණ්ඩලයට මේ ව්‍යවස්ථා සංශෝධනය සහ පනත් සංශෝධනය ගෙන එන්න කලින් මේ කරණු ඉදිරිපත් කරන්න. ඒ අනුව අපි මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ මහා නිකායන්වල ස්වාමීන්වහන්සේලාට අපි කරුණු ඉදිරිපත්කළා “

කෙසේවෙතත් පසුගිය 04 වනදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ත්‍රෛිනාකයික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්බන්ධව තමන් මෙතෙක් දැනුවත් නොමැති බවය.

ඊට පෙර දින එනම් අගෝස්තු 03 දිනයේදී තමන් සහ අධිකරණ අමාත්‍යවරයා මල්වතු, අස්ගිරි, සහ රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් මුණ ගැසුණු බවත් එහිදී 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කළ බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී පවසා සිටියේය.

මේ අතර දිනන දකුණ සාමූහිකය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ නිරුවත ඇමති නලින්දගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වු බවයි.

ආණ්ඩුවේ නිරුවත ඇමති නලින්දගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙයි.

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සතියක් තුළ පරස්පර ප්‍රකාශයන් සිදු කිරීම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෙළිදරව් වීම පිළිබඳව දිනන දකුණ සාමූහිකය අතිශය සතුටට පත් වන්නෙමු.

පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසූ විට කැබිනට් ප්‍රකාශකවරයා පවසා සිටියේ එවැනි ලිපියක් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි. ඊට පෙර දින මහානායක ස්වාමීන් වහන්සේ හමුවීම පිළිබඳව තොරතුරු ද ඉදිරිපත් කරන ලදී.

එම ප්‍රකාශයට හාත්පසින් ම පරස්පර ප්‍රකාශයක් අද දිනයේ ඉදිරිපත් කරමින් පැවසුවේ,
මහනාහිමිවරුන් ජනපතිට ලිපියක් යොමුකර ඇති බවත් එම ලිපිය කෙරෙහි අවධානය යොමු කර උන්වහන්සේලා හමු වී රජයේ පාර්ශවයේ අදහස් දැක්වීම් සිදුකළ බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මහනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව සිදුකළ ප්‍රකාශය සත්‍ය බවත්, පසුගියදා අප සාමූහිකය මහානායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ සිදු කළ ප්‍රකාශය නිවැරදි බවත් අද දිනයේ තහවුරු වීම හරහා ගම්‍ය වන්නේ ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තියයි. ඒ පිළිබඳව අප සාමූහිකයේ දැඩි විරෝධය පළකරන්නෙමු.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව ආරම්භයේ සිටම එකිනෙකට පරස්පර අදහස් මතුවිය.
එහි උච්චතම අවස්ථාව අද දිනයේ කැබිනට් ප්‍රකාශක වරයා විසින්ම සමාජය හමුවේ අනාවරණය කිරීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන් ලද ජයග්‍රහණයකි.

රජය 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සද්භාවයෙන් සිදුනොකරන්නක් බවත්, ගෞරවණීය මහා සංඝරත්නය සහ මහජනතාව අතර අවිශ්වාසයක් ඇතිකිරීමටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් අප සාමූහිකය බලවත් කණස්සල්ලට පත්වන්නෙමු.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,

නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *