කුරුවිට බන්ධනාගාරයේ ඊයේ රාත්රියේ ආරම්භ වූ නොසන්සුන්තාව අද උදෑසන යළිත් උත්සන්න වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
තත්ත්වය පාලනය කිරීමේදී වෙඩි තැබීමටද සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර තිබේ.මේ වනවිට මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ප්රතිකාර ලබමින් සිටි.
මේ අතර, කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ඊයේ රාත්රියේ නොසන්සුන්තාවක් වාර්තා වූ අතර, පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ STF මැදිහත්වීමෙන් එම තත්ත්වය පාලනය කර ඇත.
ජූලි 6 වන දින මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් හත් දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් මාසයකට පසු තවත් මරණ තුනක් වාර්තා විම වත්මන් ආණ්ඩුවේ අසාර්ථක පාලනය මැනවින් නිරූපණය වේ.
“අද ශ්රී ලංකාවේ සිරකරුවන්ගේ සංඛ්යාව ධාරිතාව මෙන් හතර ගුණයකි,” සිරකරුවන්ගේ අයිතිවාසිකම් කමිටුවේ සභාපති සේනක පෙරේරා පැවසීය. “ඇත්ත වශයෙන්ම ඔවුන් මෙතරම් කාලයක් ඉවසිලිවන්තව සිට ඇත.”
බන්ධනාගාර රැඳවියන් විශාල සංඛ්යාවක් මත්ද්රව්ය සම්බන්ධ වැරදි සඳහා නඩු විභාග බලාපොරොත්තුවෙන් සිටින සැකකරුවන් වේ. ඇප කොන්දේසි දැඩි කරන මෑත කාලීන නීති හේතුවෙන් බන්ධනාගාර තදබදයක් ඇති වී ඇති බව පෙරේරා පැවසීය.
