November 18, 2026

පොලිසිය නැතුව හමුදාවට අත්අඩංගුවට ගැනීමේ බලතල දීමෙන් රාජ්‍ය ත්‍රස්තවාදයක් මතුවේ!ඥානසාර හිමියන් බන්ධනාගාරයේ රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධියි!

0
Sinhala press conference headline statements

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

කොළඹ (විශේෂ වාර්තාකරුවකු විසිනි)|2026 නොවැම්බර් 04

ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” (Anti-Terrorism Bill) මගින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජාත්‍යන්තර සම්මුතීන් සහ ජනතාවගේ මූලික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමා පෙන්වා දුන්නේ, “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම” ලෙස උඩින් ලේබල් ගසා තිබුණද, මෙම පනත යටතේ ආණ්ඩුවට එරෙහි ඕනෑම දේශපාලන හෝ මතවාදී ක්‍රියාවක් ත්‍රස්තවාදය ලෙස හමුදාවට සහ ආණ්ඩුවට අර්ථකථනය කිරීමට ඉඩකඩ සලසා ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට කිසිසේත් බලපෑමක් නොවන පරිදි තමන් මෙම කරුණු ඉදිරිපත් කරන බවද එතුමා මෙහිදී සඳහන් කළේය.

“යම්” යන වචනයෙන් කැරෙන මහා ඇස්බැන්දුම

පනතේ අඩංගු කරුණු පිළිබඳව දීර්ඝ නීතිමය විග්‍රහයක යෙදුණු හිටපු අගවිනිසුරුවරයා, පිටු 83කින් සමන්විත මෙම පනත් කෙටුම්පතේ නූල් බෝලයක් මෙන් පැටලී ඇති වගන්ති රැසක් පවතින බව ප්‍රකාශ කළේය.

“මේ මුළු පනතම සකස් වෙලා තියෙන්නේ එකම එක වගන්තියක් වටායි. ඒ 3 වැනි වගන්තියයි. එහි 3(1) කොටස ආරම්භ වන්නේ ‘දේශපාලන හෝ මතවාදී අරමුණක් ප්‍රවර්ධනය කිරීම සඳහා’ යනුවෙනි. එතැන ‘ත්‍රස්තවාදී’ කියන වචනය නෑ. ‘යම්’ කියන වචනය බහුලව යොදාගනිමින්, ආණ්ඩුවට විරුද්ධව යම් මතවාදී ක්‍රියාවක යෙදුණොත් එය ත්‍රස්තවාදයක් ලෙස ගලපා ගැනීමට මෙහි ඉඩ සලසා තිබෙනවා. මෙය පැහැදිලිවම ICCPR (සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ) 19 වැනි වගන්තියෙන් සුරක්ෂිත කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පටහැනියි.”

එසේම, පනතේ 59(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පවතින “සාධාරණ සැකය” මත පමණක් ඕනෑම සංවිධානයක් තහනම් කිරීමට බලය ලැබෙන බවත්, පොලිසියේ මැදිහත්වීමකින් තොරව හමුදාවට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දින 3ක් (පැය 72ක්) රඳවා තබා ගැනීමට බලතල පැවරීම හරහා රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවත් එතුමා වැඩිදුරටත් චෝදනා කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රඳවා ගැනීමත් නීති විරෝධීයි

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත සිරගත කිරීම සම්බන්ධයෙන්ද හිටපු අගවිනිසුරුවරයා සිය අදහස් පළ කළේය.

2016 වසරේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ සිදුවීමට අදාළව ඥානසාර හිමියන්ට ලබාදුන් දඬුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියට පටහැනි බව සඳහන් කළ එතුමා, උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදීමේ පටිපාටිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළද, උන්වහන්සේව නැවත අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර නොමැති බව පෙන්වා දුන්නේය.

“අභියාචනාධිකරණය හරහා නිකුත් කළ වරෙන්තුව සහ බන්ධනාගාර අධිකාරී පත්‍රය (Warrant of Committal) නීත්‍යානුකූල නැහැ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව එහි අදාළ වරද, දිනය සහ කාලසීමාව නිසි ලෙස සඳහන් විය යුතුයි. මම බන්ධනාගාර කොමසාරිස්වරයාට අභියෝග කරනවා ඒ වරෙන්තුව ප්‍රසිද්ධ කරන්න කියලා. දැනට ඥානසාර හිමියන්ව රඳවාගෙන සිටින්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආකාරයටයි.”

ආණ්ඩුව තමන් මුහුණ දී සිටින දේශපාලන අවදානමින් මිදී බලය රැකගැනීම සඳහා මෙවැනි මර්දනකාරී පනත් සහ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන එන බවටද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *