November 18, 2026

සාමාන්‍ය ව්‍යාපාරිකයන් අපරාධකරුවන් කරන “සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට” එරෙහිව මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය අධිකරණයට!

0
OCD_AG

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

“සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට” එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්: මත්පැන් බලපත්‍රධාරීන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි වගන්ති රැසකට අභියෝග

කොළඹ|අධිකරණ|සංවිධානාත්මක අපරාධ වැළැක්වීමෙ පනත| 2026 නොවැම්බර් 04 දින

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ” (Prevention of Organised Crimes) පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙසත්, ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවට තීන්දු කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම 2026 නොවැම්බර් 01 වන දින පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ලියාපදිංචි නීතිඥ එස්.ඩබ්ලිව්. අමිල කුමාර මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන්

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය (1 වන පෙත්සම්කරු), එහි සභාපති දොන් ග්‍රෙගරි අජිත් උඩුගම මහතා (2 වන පෙත්සම්කරු) සහ එහි වැඩබලන ලේකම් තංගවේලු ධර්මේන්ද්‍රරාජ් මහතා (3 වන පෙත්සම්කරු) විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 134(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත.

පෙත්සමේ ප්‍රධාන කරුණු සහ අභියෝගයට ලක්වූ වගන්ති

2026 ඔක්තෝබර් 06 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඔක්තෝබර් 20 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද මෙම පනත් කෙටුම්පත, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UN Convention against Transnational Organised Crime) ක්‍රියාත්මක කිරීමට යැයි පවසමින් ඉදිරිපත් කර තිබුණද, එහි අඩංගු ඇතැම් දැඩි (draconian) වගන්ති අදාළ සම්මුතියේ අරමුණුවලට පවා පටහැණි බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

පෙත්සම මගින් පෙන්වා දෙන ප්‍රධාන නීතිමය සහ ව්‍යවස්ථාපිත ගැටලු කිහිපයක් මෙසේය:

  • සුරාබදු නියෝග සහ සාමාන්‍ය ව්‍යාපාරික වරදවල් සංවිධානාත්මක අපරාධ ලෙස වර්ගීකරණය කිරීම (3 වන වගන්තිය සහ 1 වන උපලේඛනය): සුරාබදු ආඥාපනතේ 46, 47 සහ 48 වගන්ති යටතේ එන ව්‍යාපාරික සුළු වැරදි හෝ බලපත්‍ර කොන්දේසි කඩකිරීම් ද මෙම පනත යටතේ සංවිධානාත්මක අපරාධ ලෙස සැලකීමට ඉඩ සැලසීම තුළින් සාමාන්‍ය ව්‍යාපාරිකයන් හා බලපත්‍රධාරීන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සහ නඩු පැවරීමට ඉඩ සැලසෙන බව පෙන්වා දෙයි.
  • පුළුල් හා අපැහැදිලි අර්ථ නිරූපණයන් (4(2), 5, 10, 11 සහ 66 වගන්ති): සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස හඳුනා ගැනීමට ඇඳුම් පැළඳුම්, සාමාන්‍ය හමුවීම්, ව්‍යාපාරික සබඳතා වැනි කරුණු පවා යොදා ගැනීමට ඉඩ තැබීම නිසා නීත්‍යනුකූල ව්‍යාපාර පවත්වාගෙන යන අධ්‍යක්ෂවරුන් හා සේවකයන් දැඩි අවදානමකට ලක්වේ.
  • ආයතනික සහ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම (15 සහ 16 වගන්ති): සමාගමක් මගින් යම් වරදක් සිදුවූ විට එහි අධ්‍යක්ෂවරුන්ට පෞද්ගලිකව වගකීම පැවරීම සහ තමන් නිවැරදිකරුවන් බව ඔප්පු කිරීමේ බර අධ්‍යක්ෂවරුන් පිට පැටවීම මූලික අයිතිවාසිකම් සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය කිරීමකි.
  • අධික පොලිස් බලතල සහ ත්‍රිවිධ හමුදා මැදිහත්වීම (17, 18(2), 20 සහ 21 වගන්ති): වරෙන්තුවක් නොමැතිව පරීක්ෂා කිරීම, පැය 72 ක් දක්වා පොලිස් අත්අඩංගුවේ තබා ගැනීම, සහ විධායකයේ ලේකම්වරයාගේ නියෝග මත වසරක් දක්වා රැඳවුම් නියෝග (Detention Orders) ලබා දීම මෙන්ම සුළු වැරදි සඳහා පවා හමුදා සහාය ලබා ගැනීමට ඉඩ තැබීම මගින් පුද්ගල නිදහස දැඩි ලෙස බිඳවැටේ.
  • පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම (46 සහ 47 වගන්ති): සාක්ෂි ආඥාපනතේ 25 සහ 26 වගන්ති අත්හැර දමමින්, පොලිස් අත්අඩංගුවේ සිටියදී ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සැලසීම මගින් වධහිංසාවලට (Article 11) මගපෑදෙන බව පෙත්සමේ සඳහන් වේ.
  • අධිකරණ තොරතුරු වාර්තා කිරීම තහනම් කිරීම (14(3) වගන්තිය): පූර්ව අවසරයකින් තොරව නඩු කටයුතු මාධ්‍ය මගින් වාර්තා කිරීම තහනම් කිරීම මගින් ප්‍රකාශනයේ නිදහස සහ මාධ්‍ය නිදහස උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පවසයි.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සෙතය

මෙම පනත් කෙටුම්පතේ අඩංගු අදාළ වගන්ති මෙන්ම මුළු පනත් කෙටුම්පතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1-6), 14(1)(a), 14(1)(g) සහ 106 යන ව්‍යවස්ථාවලට මෙන්ම 3 වන ව්‍යවස්ථාව සමග කියැවෙන 4(c) සහ 4(d) ව්‍යවස්ථාවලට පටහැණි වන බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

එබැවින්, මෙම පනත් කෙටුම්පත හෝ එහි අදාළ වගන්ති නීතියක් ලෙස සම්මත කිරීමට අවශ්‍ය නම්, 83(a) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර මන්ත්‍රී ඡන්දයෙන් සහ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියෙන් පමණක් සිදු කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *