September 24, 2026

අනුර නටන්නේ ඉන්දියානු සහ IMF න්‍යාය පත්‍රයට! පනත හරහා ජනාධිපතිවරයාට ලැබෙන භයානක බලය!

0
INDIA_IMF

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නවත් සුදුසු නැති බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පෙන්වා දෙනවා. ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය අද නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහිදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ ආණ්ඩුව වැඩ කරන්නේ ඉන්දියානු සහ IMF න්‍යාය පත්‍රයට බවයි.

” ජාතික ජනබලවේග ආණ්ඩුව ඊයේ දිනයේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කළා. අපි දන්නවා දැනටත් මේ රටේ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත කියලා අතිෂයින් මෙලෙච්ඡ මර්දන පනතක් ක්‍රියාත්මක වෙනවා. එක වෙලාවකදි ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු දහස් ගණනක් ඝාතනය කරන්න, අතුරදන් කරන්න, පැහැරගන්න පාවිච්චි වුණේ මේ මර්දන පනත. උතුරේ යුද්ධය පවතින කාලේ රාජ්‍ය බලය යොදාගෙන අහිංසක සිවිල් දමිළ ජනතාව පැහැරගන්න ඝාතනය කරන්න පාවිච්චි වුණේ මේ පනත. ඒ නිසා තමයි ආරම්භක මොහොතේ ඉඳලම ත්‍රස්වාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අහෝසි කළ යුතුයි කියලා සමාජය තුළ බරපතළ කතාබහක් තිබුණේ.

මේ ත්‍රස්ත පනත අහෝසි කරන්න ඕන කියන සටනේ ඉදිරියෙන්ම හිටපු ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණ තමයි අද ආණ්ඩු බලය හොබවන්නේ. ඔවුන් තමන්ගේ මැතිවරණ වේදිකාවල පොරොන්දු වුණා ත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දන පනත් අහෝසි කරනවා කියලා. හැබැයි ඒ පොරොන්දු අමතක කරලා තමයි NPP ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියලා නව පනතක් සම්මත කරන්න. ආණ්ඩුව කියන්නේ මේ පනත ගේන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න කියලා. නමුත් මේ නව පනත අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ වගන්ති තවත් බරපතළ කරලා අතිෂයින් මෙලෙච්ඡ විදිහට ජනතාව මර්දනය කරන්න තමයි සූදානම් වෙන්නේ.

IMF එකට විරුද්ධව මොනවහරි කිව්වොත් කළොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා

මේ පනතේ ත්‍රස්තවාදී ක්‍රියා නිර්වචනය කරලා තියෙන්නේ ලංකාවේ රජයට හෝ ජාත්‍යන්තර සංවිධානයකට යම් දෙයක් කිරීමට හෝ නොකර සිටීමට බලපෑම් කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා. මෙහෙම බැලුවම කවුරුහරි රජයට කිව්වොත් බදු අඩු කරන්න කියලා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. අපි IMF එකට විරුද්ධව මොනවහරි කිව්වොත් කළොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. එතකොට මේ පනත අනුව ජනතාවට වෙන්නේ ආණ්ඩු අත්තනෝමතික විදිහට මොනවා කළත් ඒක දිහා නිහඬව බලාගෙන ඉන්න. ඊලගට අපි දන්නවා දැනටත් මේ රටේ පොදු දේපළ පනතක් ක්‍රියාත්මක වෙනවා. ඒ පොදු දේපළ පනතෙන් තමයි උද්ඝෝෂණ කරද්දි අපිව හිරේ දැම්මේ. පාරක් අවහිර කළොත්, රාජ්‍ය ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළ් වුණොත් අපිව හිරේ දාලා ඇප නොදී තියාගෙන හිටියේ ඒ පොදු දේපළ පනත පාවිච්චි කරලා. හැබැයි ඒ පනතේ සඳහන් දේවල් ත්‍රස්තවාදී ක්‍රියා බවට පත් කරලා මේ නව පනතට ඇතුලත් කරලා තියනවා. අපි අහන්නේ පොදු දේපළ සම්බන්ධයෙන් නීතියක් ලංකාවේ දැනටත් තියනවනං ඇයි ඒවා ත්‍රස්තවාදී ක්‍රියා විදිහට නම් කරලා අලුතෙන් නීතියක් හදන්නේ ?

පොලීසිට හමුදාවට සහ වෙරළාරක්ෂකයට පුලුවන් ඕනෑම මොහොතක සෝදිසි කිරීමේ බලය

මේ නව පනතේ ඉතාම භයානක කරුණු ප්‍රමාණයක් අපි දැක්කා. අපි දන්නෑ පහුගිය කාලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරපු ආණ්ඩුවට සම්බන්ධ මහත්වරුන්ට මේවා පෙනුනේ නැද්ද කියලා. මේ පනත අනුව රැඳවුම් නියෝගවලට අත්සන් කිරීමේ බලය හිමි වෙනවා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට. ඉස්සර මේ බලය තිබුණා ජනාධිපතිට. දැන් ඒ බලය නිළධාරීන්ගේ අතටත් යන්න නියමිතයි. ඊලගට යම් උද්ඝෝෂණයක් පොලීසිය හිතනව නම් සීමාව ඉක්මවා යයි කියලා මේ නව පනත පාවිච්චි කරලා ඒ උද්ඝෝෂණය තහනම් කිරීමේ නියෝගයක් ගන්න මේ පනතේ 51වන වගන්තියෙන් පොලීසියට පුලුවන් කම ලැබෙනවා. අපි දන්නවා මීට කලිනුත් උද්ඝෝෂණ නවත්වන්න පොලීසිය නොයෝග ගන්න උත්සහ කළා. හැබැයි විරෝධය දැක්වීම මූලික අයිතිවාසිකමක් නිසා ඒක හරිආකාරව කරන්න පොලීසියට බැරි වුණා. දැන් ආණ්ඩුව නීතිය හදන්න යන්නේ ඒ මූලික අයිතිවාසිකම පවා යටපත් වෙන විදිහට. මෙහෙම බැලුවම මිනිස්සුන්ට වෙන්නේ පූස් පැටව් වගේ පාර අයිනට වෙලා පොලීසිය කියන විදිහට උද්ඝෝෂණ කරන්න. මීට කලින් පොලීසියට තමයි යම් පුද්ගලයෙක් ස්ථානයක් සෝදිසි කිරීමේ බලය තිබුණේ. යම් විශේෂ අවස්ථාවලදී තමයි ඒ බලය හමුදාවට හිමිවෙන්නේ. හැබැයි මේ නව නීතිය අනුව පොලීසිට හමුදාවට සහ වෙරළාරක්ෂකයට පුලුවන් ඕනෑම මොහොතක සෝදිසි කිරීම් කරන්න. මෙතන තියන භයානකම දේ තමයි මේ පනතේ 66වෙනි වගන්තියට අනුව ඒ කරන සෝදිසි කිරීම් සහ නඩු දැමීම් සලකන්නේ සද්භාවයෙන් කරන ක්‍රියා හැටියට. ඒ නිසා ඔවුන් කරන අකටයුතුකම් වලට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්වත් දාන්න ජනතාවට පුලුවන් කමක් නැහැ.

ජනාධිපතිවරයාට ලැබෙන භයානක බලය

ඊලගට මේ පනතට අනුව යම් පුද්ගලයෙක් අධිකරණයෙන් වැරදිකරුවෙක් කරනවා වෙනුවට ඔහු තමන්ගේ වරද පිළිගත්තොත් නීතිපතිට පුලුවන් කම ලැබෙනවා ඔහුව පුනරුත්ථාපනයට යොමු කරල නඩුවෙන් නිදහස් කරන්න. මේක එක්තරා විදිහකට අල්ලසක්. අනිත් බරපතළම කාරණය තමයි මේ පනතෙන් ජනාධිපතිවරයාට බලය ලැබෙනවා තහනම් සංවිධාන නම් කරන්න. යම් සංවිධානයක් ජනාධිපතිවරයා තහනම් කළොත් ඒ සංවිධානයට සහය දක්වලා කිසිම ක්‍රියාවක් කළොත් ඒ සියල්ල වැටෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ගොඩට.

තමන්ගේ මතයට නටන අධිකරණයක්!

අපි දන්නවා NPP ආණ්ඩුවට මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ මීට පෙර තිබුණු මර්දනකාරී දූෂිත පාලන ක්‍රමය අහෝසි කරයි කියන බලාපොරොත්තුව ඇතුව. නමුත් දැන් ආණ්ඩුව සූදානම් වෙන්නේ අතිෂයින් මර්දනකාරී ප්‍රජාතන්ත්‍රවිරෝධී අනපනත් සම්මත කරගෙන තමන්ගේ මතයට නටන අධිකරණයක් තියාගෙන ඒකාධිපති ගමනක යන්න. මේ ආණ්ඩුව වැඩ කරන්නේ ඉන්දියානු සහ IMF න්‍යාය පත්‍රයට අනුව. ඒ න්‍යායපත්‍රය කියන්නේ ධනකුවේරයන් සනසන සහ ජනතාවට තව තවත් බදුබර සහ ආර්ථික පීඩනය පැටවෙන වැඩපිළිවෙළක්. අන්න ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න නම් අතිෂයින් භයානක මර්දන නීති අවශ්‍ය වෙනවා. මොකද එහෙම නැත්නම් ඒවට විරුද්ධ වෙන ජනතාවගේ කටවහන්න පුලුවන් කම ලැබෙන්නේ නැහැ.

ඒ නිසා තමයි අපි රටේ ජනතාවට කියන්නේ ඔබේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙන පනතක් තමයි මේ ගේන්න සූදානම් වෙන්නේ. මේ පනත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නවත් සුදුසු නැහැ. අද පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත තක්කඩි විපක්ෂය පවා ඉන්නේ මේ පනතට සහයෝගය දක්වන ස්ථාවරයක. ඒ නිසා මේ මර්දනකාරී පනත පරාජය කිරීමේ වගකීම පැවරෙන්නේ මේ රටේ ජනතාවට.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed