“මෙය පුරවැසියාගේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයකි”22ට පෙර වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පුරවන්න!
22 ගැන තීන්දුවට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වහාම පිරවිමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට ඉල්ලිමක් ඉදිරිපත් වි තිබේ. දිනන දකුණ සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව ජනාධිපතිවරයාට අවධාරණයකර ඇත්තේ “මෙය විනිසුරුවරුන්ගේ ප්‍රශ්නයක් නොවේ. මෙය පුරවැසියාගේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයකි.” යනුවෙනි.
අධිකරණයට නිදහසේ තීරණය කිරීමට ඉඩ දෙන්න. නමුත් එම තීරණය ගන්නා අධිකරණය සම්පූර්ණ කරන්න.මන්ද, විනිසුරුවරයෙකු පත් කරන්නේ විනිසුරුවරයා වෙනුවෙන් නොවේ. අධිකරණය සම්පූර්ණ කරන්නේ පුරවැසියාගේ යුක්තිය වෙනුවෙනි.
මාධ්‍ය නිවේදනය.
2026-08-23
22 ගැන තීන්දුවට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පුරවන්න
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය පරීක්ෂාව සිදුකිරීමට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු වහාම පුරවා එහි සම්පූර්ණ සංයුතිය තහවුරු කරන ලෙස දිනන දකුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
“මෙය විනිසුරුවරුන්ගේ ප්‍රශ්නයක් නොවේ. මෙය පුරවැසියාගේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයකි.” යනුවෙන් අපි දිනන දකුණ ලෙස අවධාරණය කරමු.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 වන ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වේ. එබැවින් 22 වන සංශෝධනය වැනි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ව්‍යුහයට සෘජුව බලපාන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් තීරණය කරන අධිකරණය හැකි තරම් සම්පූර්ණ සංයුතියකින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව අපගේ අදහසයි.
22 වන සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බැවින්, දැනට සේවයේ සිටින විනිසුරුවරුන්ට තමන්ගේම විශ්‍රාම වයසට සෘජුව සම්බන්ධ වන ව්‍යවස්ථාමය කරුණක් විභාග කිරීමට සිදුවිය හැකිය.
එවැනි තත්ත්වයකදී nemo judex in causa sua, එනම් කිසිවෙකු තමන්ගේම කරුණක විනිසුරුවරයෙකු නොවිය යුතුය යන ස්වභාවික යුක්ති මූලධර්මය පිළිබඳ සාධාරණ ප්‍රශ්නයක් මතුවිය හැකිය.
එම අවස්ථාවේදී වෙනත් විකල්ප අධිකරණයක් නොමැති බැවින් Doctrine of Necessity හෙවත් අවශ්‍යතාව පිළිබඳ න්‍යාය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවීම ස්වාභාවිකය.
නමුත් මෙහිදී රට අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ.
“අවශ්‍යතාවය” සැබවින්ම නොවැළැක්විය හැකි තත්ත්වයක්ද, නැතහොත් සාමාන්‍ය ව්‍යවස්ථාපිත ක්‍රමවේදය ක්‍රියාත්මක නොකිරීමෙන් නිර්මාණය වූ තත්ත්වයක්ද?
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් පවතින අවස්ථාවක, එම පුරප්පාඩු පුරවා අධිකරණයේ සංයුතිය සම්පූර්ණ කළ හැකිව තිබියදී එසේ නොකර, පසුව ඇතිවන විනිසුරු හිඟය “අවශ්‍යතාවයක්” ලෙස භාවිත කිරීම පිළිබඳව බරපතළ ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් මතුවේ.
Doctrine of Necessity යනු සාමාන්‍ය ව්‍යවස්ථාපිත ක්‍රමවේදයන් මඟහැරීමට භාවිත කළ හැකි බලපත්‍රයක් නොවේ.
එබැවින් දිනන දකුණ සාමූහිකය අවධාරණය කරන්නේ, 22 සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය පරීක්ෂාව සිදු කිරීමට පෙර අධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ජනාධිපතිවරයා තමන් සතු ව්‍යවස්ථාපිත වගකීම කඩිනමින් ඉටු කළ යුතු බවයි.
පූර්ණ විනිසුරු මඩුල්ලක් සඳහා අවශ්‍ය සංයුතිය තහවුරු කළ යුතුයි
22 වන සංශෝධනය සම්බන්ධයෙන් මතුවිය හැකි පෞද්ගලික ලැදියාවන් සහ ස්වභාවික යුක්තිය පිළිබඳ ප්‍රශ්න සැලකිල්ලට ගත් විට, එවැනි තීරණාත්මක ව්‍යවස්ථාමය කරුණක් සම්බන්ධයෙන් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයක් පැවැත්වීම මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා වැදගත් වේ.
එය විනිසුරුවරුන්ට ලබාදෙන වරප්‍රසාදයක් නොවේ.
එය පුරවැසියාට ලබාදෙන ආරක්ෂාවකි.
පුරවැසියාගේ පරමාධිපත්‍යය අධිකරණය හරහා ක්‍රියාත්මක වන විට, පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සහ ව්‍යවස්ථාමය අයිතිවාසිකම් පිළිබඳ තීරණ ගන්නා අධිකරණය පිළිබඳ සාධාරණ සැකයක් ඇති නොවන පරිදි එය සම්පූර්ණ හා ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතුය.
ඒ අනුව දිනන දකුණ සාමූහිකය ජනාධිපතිවරයාගෙන් පහත ඉල්ලීම් සිදුකරයි:
- ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු වහාම පුරවන්න.
- 22 වන සංශෝධනය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය පරීක්ෂාව සිදුකරන අවස්ථාවේ පූර්ණ විනිසුරු මඩුල්ලක් (Full Bench) සඳහා අවශ්‍ය සංයුතිය තහවුරු කරන්න.
- විධායකයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඇති වූ බවට සැකයක් ඇති කළ හැකි කිසිදු කෘත්‍රිම තත්ත්වයක් පසුව “Doctrine of Necessity” සඳහා පදනමක් බවට පත් නොකරන්න.
අපි 22 වන සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කිරීමට නොයන්නෙමු. අපගේ ඉල්ලීම ඊට පෙර තිබිය යුතු මූලික ඉල්ලීමකි.
අධිකරණයට නිදහසේ තීරණය කිරීමට ඉඩ දෙන්න. නමුත් එම තීරණය ගන්නා අධිකරණය සම්පූර්ණ කරන්න.මන්ද, විනිසුරුවරයෙකු පත් කරන්නේ විනිසුරුවරයා වෙනුවෙන් නොවේ. අධිකරණය සම්පූර්ණ කරන්නේ පුරවැසියාගේ යුක්තිය වෙනුවෙනි.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව
